කැලණි විශ්වවිද්‍යාලයේ දරුණු ගැටුමක් ඇතිවූ බව සවන් වැකීමත් සමගම මගේ මතකය වසරකට පමණ පෙර සිදුවූ සිද්ධියක් වෙත දිවගියා. එනම් 2008 ජනවාරි 23වෙනි දින විශ්වවිද්‍යාල භූමියේදී මම දරුණු මැර ප්‍රහාරයකට ලක් වීම. එසේ පහරකෑමට ලක් වීමට මා කල වරද වූයේ කෲර නවක වදයට විරුද්ධ වීමයි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කී පමණින් සියලු දෙනාගේ මතකයට නැගෙන්නේ දරුණු නවක වධයක් දෙන වධකාගාරයක් ලෙසයි. මමත් 2007 අප්‍රේල් මාසයේදී විශ්වවිද්‍යාල ගේට්ටුවෙන් පලමු වරට ඇතුල්වුනේ මහත් බියකින් හා චකිතයකින්. නමුත් පලමු දිනයේම අපට දැනගත හැකිවූයේ අනෙක් පීඨ වල එසේ දරුණු නවක වධය දෙද්දී ව්‍යවහාරික විද්‍යා පීඨයේ නවක වධය සහමුලින්ම තුරන් කර ඇති බවයි. ජවිපෙ හිතවාදී මහා ශිෂ්‍යය සංගමය ශාස්ත්‍ර හා කළමනාකරන පීඨ වල සිය පාලනය පතුරුවාගෙන සිටියදී නවක වධ විරෝධී (සමස්ත විශ්වවිද්‍යාල භාෂාවෙන් නම් ‘අල’, ජපුරේ භාෂාවෙන් නම් ‘බොග’) කණ්ඩායමක් විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමයේ පාලනය ලබාගෙන තිබුනා.
ඉතින් කොහොමත් තවත් කෙනෙකුගෙන් පෑගීම ප්‍රතික්ෂෙප කරන මගේ සහය ලැබුනේත් නවක වධ විරෝධී කණ්ඩායමට. මුල් දිනයේ පටන්ම ජවිපෙ හිතවාදී මහා ශිෂ්‍ය සංගම් කණ්ඩායමෙන් (ජපුරේ භාෂාවෙන් ‘රැල්ලන්’) අපට ඔවුන්ට එක් වන ලෙස විවිධාකාර බලපෑම් එල්ල වුනා. ඒවා බටර් ගැමේ සිට මරණ තර්ජනය කිරීම දක්වා විවිධාකාරයි.
එදා පටන් සුපුරුදු කෝලාහල ජීවිතේට අපි පුරුදු වුනා. කණ්ඩායම් දෙක අතර ගැටුම් – තුවාල – පන්ති තහනම් – පිඨය වසා තැබීම් – ආපසු ගැටුම්. වරදවා වටහා ගන්න එපා, නවක වධ විරෝධී අදහස් දැරුවත් මම කිසි දිනක මෙම ගැටුමකදී විරුද්ධ පාර්ශ්වයට එරෙහිව ගලක් වත් විසි කොට නැහැ. කෝලාහල වලට මම එදත් අදත් විරුද්ධයි. නවක වධය නිමාකිරීමට මතවාදී යුද්ධයක් කල යුතු බවයි මගේ හැඟීම. මෙම දිනයට කලින් දින රාත්‍රියේ අපේ මිතුරන් නේවාසිකාගාරයට (නේවාසිකාගාර වල පාලනය ඇත්තේ මහා ශිෂ්‍ය සංගමයට බව අමුතුවෙන් කිව යුතු නැහැ) ගල් ගසා වැඩක් දෙල් කරගෙන තිබුනා. කලින් දින රාත්‍රියේ සිදුවූ මේ සිදුවීම නොදත් මමත් අනුෂ්කාත් උදේ පාන්දරින්ම පීඨයට ගියා. එපමනක් නොව අපේ ශීෂ්‍ය සංගමය මගින් මුද්‍රනය කල ටී ෂර්ටයක් ද ඇඳගෙන ! මට දහදෙනෙකුගෙන් පමණ මැර ප්‍රහාරයකට මුහුණ දී රෝහල්ගත වන්නට සිදු වූයේ ඒ ආකාරයටයි.
ලංකාවේ බොහෝ විශ්වවිද්‍යාල අද මෙවන් තත්ත්වයකට මුහුණදී තිබීම ශෝචනීය කරුණක්. යහපත් දේ සඳහා සිසු අරගල සිදුවිය යුතුයි. විශ්වවිද්‍යාල සිසුන් බොහෝ කැපකිරීම් කර සිදුකල අරගල නිසා අද අපේ අධ්‍යාපනය තවමත් නිදහස් තත්ත්වයෙන් පවතිනවා. (ධවල පත්‍රිකාවට එරෙහිව අරගලය) එහෙත් ජවිපෙ වැනි දේශපාලන පක්ෂ වල ඕනෑඑපාකම් සඳහා විශ්වවිද්‍යාල සිසුන් අනවශ්‍ය දේ කිරීමට යාමත්, එම පක්ෂ වල ම මෙහෙයවීම මත ඔවුන්ගේ මතය නොදරන සිසුන්ට පහරදීමත් අනුමත කරන්න බැහැ. ජවිපෙ හිතවාදී සිසුන් ඒවාද සිසු අරගල ලෙස නම් කලත් ඒවා සිසු කෝලාහල මිස අරගල විය නොහැකියි.
(… මෙම ලිපිය මීට වඩා දීර්ඝ නොකිරීමට මම තීරණය කල නිසා මනෝජ් සොයුරා මතක් කල දේ මෙයටම ඇතුලත් කරන්නම්. එය මතක් කිරීම ගැන ඔහුට මගේ ස්තුතිය. මා මෙය ඇතුලත් කරන්නට හිටියේ දෙවන කොටසට …….)
මා ඒ පහර කෑමට ලක්වු ගැටුමින් පසු ජපුරට නිහඬ සමයක් උදාවුනා. ඒ ගැන සාමකාමී පුද්ගලයෙක් වශයෙන් මට ගොඩක් සතුටුයි. මා දකින ආකාරයට මෙම සාමකාමී බව ඇතිවීමට හේතු මේවායි,
- ස්වර්ණ ජයන්ති උත්සව මාලාව වෙනුවෙන් සියලු දෙනා වෙහෙස වීම
- ජවිපෙ දේශපාලන වශයෙන් අස්ථාවර වීම
- විශ්වවිද්‍යාලයේ ජවිපෙට සහය පලකල සිසුන් විශාල පිරිසක් ක්‍රමක්‍රමයෙන් නාමල් රාජපක්ෂ ගේ ව්‍යාපාරය වෙත එක් වීම
විද්‍යා පීඨය වෙත අලුතින් බඳවා ගත් ශිෂ්‍ය
කණ්ඩායම සඳහා සති 2ක නම්නීකරණ පාඨමාලාවක් පැවැත්වූ බලධාරීන් මෙහි ඇති දෙපාර්ශ්වයටම සම්බන්ධ නොවන ලෙස ඔවුන්ට ඉගැන්වූයේ එමගින් නිවහල් බැච් එකක් බිහිකොට මෙම භේදය නැති කිරීමට විය යුතුය. බලධාරීන්ගේ අභිප්‍රාය සාර්ථක වුනත් එහි ප්‍රතිඵලය වූයේ විශ්වවිද්‍යාලයේ කිසිදු කටයුත්තකට (අඩු ගණනේ ස්වර්ණ ජයන්ති උත්සව වලටවත්) සහභාගී නොවන, ඉහල බැච් වල සිසුන්ගේ මුහුණවත් නොබලන හා ආචාර්යවරුන් ද ගණන් නොගන්නා අල බැච් එකක් බිහිවීමයි.
මෙම අර්බුදය විසඳීමට නිසි පියවර නොගෙන බලධාරීන් විසින් මෙබඳු ගොඩ වෙදකම් කරන තාක් කල් මෙම ප්‍රශ්නය නොවිසඳෙනු ඇති.
කාර්යබහුල සතියක් අවසාන වුනා. (ඒත් මේ කාර්යබහුල සමයක ආරම්භය විතරයි) කාර්යබහුල වෙන්න හේතුව විශ්වවිද්‍යාලයේ ස්වර්ණ ජයන්ති ප්‍රදර්ශනය. ව්‍යවහාරික විද්‍යා, කළමනාකරන හා ශාස්ත්‍ර පීඨ වල සහභාගීත්වයෙන් මෙය පෙබරවාරි මස 18 වෙනි දින ආරම්භ වනු ඇති.
ප්‍රදර්ශනය ගැන අපේ කට්ටිය ලොකු අර්බුදයකට මුහුණපාලයි ඉන්නේ. වෙන මොකවත් නෙමෙයි, සල්ලි තමයි. ආණ්ඩුව අය-වැය යෝජනා වලින් පවා පොරොන්දු වී තිබුනා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සංවත්සර වැඩසටහන් සඳහා රුපියල් මිලියන 50ක් වෙන් කරන බවට. ඒත් දැන් ආණ්ඩුව සල්ලි දෙන්න අදිමදි කරන බවයි ආරංචි. ඇතිවෙන්න සල්ලි ලැබෙයි කියලා හිතාගෙන ප්‍රදර්ශනය ලොකුවට සංවිධානය කරපු නිසා දැන් මුලු විශ්වවිද්‍යාලයම ලොකු අමාරුවක වැටිලයි ඉන්නේ. fund raising කියලා ඉතින් කොච්චර කියලා කරන්නද? මම වැඩකටයුතු වල නිරතවෙලා ඉන්න සංඛ්‍යාන හා පරිගණක විද්‍යා අධ්‍යනාංශයට අනුමත වී ඇත්තේ රුපියල් ලක්ෂයයි. ඒක මොනවා කරන්නද? දැන් අපිට අතින් සල්ලි දාලා වැඩේ කරන්නයි සිද්ධ වෙලා තියෙන්නේ. කොහොම උනත් ආණ්ඩුව කරපු වැඩේ කැතයි. සල්ලි දෙන්නබැරි නං බොරු පොරොන්දු නොදී ඉන්න තිබුනා.
ඒ කොහොම උනත් ජ’පුරේ ඇත්තෝ සැලෙන්නේ නෑ. කොහොමහරි පටන්ගත්ත වැඩේ අවසානයක් දකිනවා.
2009 වසර මගේ විශ්වවිද්‍යාලයේ ස්වර්ණ ජයන්ති වර්ෂයයි. ඒ වෙනුවෙන් මගේ විශ්වවිද්‍යාලයේ ඉතිහාසය ගැන කෙටි සටහනක් කරන්නම්. මේක මම උපුටා ගත්තේ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය අත්පොතින්.
(1959 දී විද්‍යෝදය විශ්වවිද්‍යාලය ලෙස එවකට අග්‍රාමාත්‍ය ඇස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමා අතින් විවෘත වූ අයුරු)
වර්ෂ 1883 දී පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමිපාණන් විසින් ආරම්භ කරන ලද, එවකට දේශීය අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් වූ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙන වත්මන් විශ්වවිද්‍යාලයේ ආරම්භක අවස්ථාව විය.
පසුව වර්ෂ 1958 අංක 45 දරන විශ්වවිද්‍යාල පනත යටතේ විශ්වවිද්‍යාල තත්ත්වයට උසස් කරන ලද එකී ආයතනය ශ්‍රී ලංකා විද්‍යෝදය විශ්වවිද්‍යාලය වශයෙන් 1959 ජනවාරි 01 වැනි දින සිට නම් කරන ලදී. අනතුරුව මාලිගාකන්දේ සිට ගංගොඩවිල පිහිටි වත්මන් විශ්වවිද්‍යාල පරිශ්‍රය වෙත එය ගෙන එන ලද අතර එහි ප්‍රථම විශ්වවිද්‍යාලයාධිපතිවරයා වශයෙන් පූජ්‍ය වැලිවිටියේ සෝරත නාහිමිපාණෝ පත්වීම් ලැබූහ.
ඉන් අනතුරුව 1972 අංක 1 දරන විශ්වවිද්‍යාල පනත මගින් ශ්‍රී ලංකාවේ සියලුම විශ්වවිද්‍යාල ඒකාබද්ධ කරන ලද අතර ඒ අනුව එය ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ විද්‍යෝදය මණ්ඩපය වශයෙන් නම් කෙරිණි. එය නැවතත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලෙස නම් කරන ලද්දේ පෙර කී 1978 අංක 16 දරන පනත මගිනි.
දැනට විශ්වවිද්‍යාලයේ ස්ථීර ආචාර්ය මණ්ඩලය 350ක් පමණ වන අතර මුලු උපාධි අපේක්ෂක සංඛ්‍යාව 9000ක් පමණ වේ. සෙසු කාර්ය මණ්ඩලය 770කට ආසන්නය.

සැලකිය යුතුයි
