.ලිනක්ස් වලදි ඊමේල් කියවන්න Thunderbird පාවිච්චි කරන්න ගත්ත මුල් කාලේ මට ඇතිවෙච්ච ප්‍රශ්නයක් තමයි මේ Thunderbird ඇප්ලිකේෂන් එක සිස්ටම් ට්‍රේ එකට යැවීම සහ අලුත් මේල් එකක් ආ විට Notification එකක් පෙන්වීම වගේ දේවල් කරගන්න බැරිවීම. (වින්ඩෝස් වලදී නම් මේ සඳහා Minimize to tray නමින් ඇඩොනයක් තිබුනා. එය ලිනක්ස් සඳහා වැඩ කරන්නේ නැහැ.)

ලිනක්ස්හිදී AllTray මගින් Thunderbird ට්‍රේ එක වෙත යැවිය හැකි වුවත් එය හරිගියේ නෑ ප්‍රධාන හේතු දෙකක් නිසා. 1. මෙය සෑම විටම කරන්නට සිදුවීම හා වැරදීමකින් ක්ලෝස් බටනය එබූ විට එය ක්ලෝස්ම වී යාම 2. මෙසේ ට්‍රේ එකට යැවූවත් New Mail Notification එකක් නොපෙන්වීම.

ඔන්න අද පොඩ්ඩක් නෙට් එක පීරනකොට මේ වැඩ දෙක කරගන්න පුලුවන්, උබුන්ටු සඳහා ගැලපෙන ඇඩොන් 2ක් හම්බුනා.

Ubuntu Notify

Ubuntu Jaunty Jackalope පාවිච්චි කරන අය දකින්න ඇති උබුන්ටු පරණ වර්ෂන් වලට වඩා වෙනස් notification system එකක් මෙහි හඳුන්වාදී තියෙනවා. Pidgin මැසෙන්ජරය පාවිච්චි කරනවනම් එහි notification පෙන්වන්නෙත් මේ notification system එකෙන්. මේ ඇඩොනය භාවිතයෙන් පුලුවන් අලුත් මේල් එකක් ලැබුනාම notification එකකුත් එතැනින්ම බලාගන්න.

Ubuntu Notify ඇඩොනය මෙතැනින් බාගන්න

පොඩි අලයක් නං තියෙනවා. ඒ තමා notification එකේ සිංහල හරියට දිස් නොවීම :(

FireTray

ඉතිං කලින් ඇඩොනයෙන් notification බලාගන්න නම් Thunderbird රන් වෙන්නත් එපායැ. ඕක මිනිමයිස් කරලා තියනවට වඩා ලේසියිනේ ට්‍රේ එකට යවන්න පුලුවන් නම්. මෙන්න මේ ඇඩෝනය ඒකට තමා. මේකේ වාසියක් තමයි ක්ලෝස් බටනය ක්ලික් කලවිට පවා ට්‍රේ එකට යාම (Pidgin වල විදියට)

FireTray ඇඩෝනය මෙතනින් බාගන්න

මේ FireTray අඩොනය Thunderbird විතරක් නෙමේ, Firefox, Sunbird සඳහාත් ඔට්ටුයි.


ඔන්න දැං කට්ටිය අහයි ඇයි New Mail Icon ඇඩොනය හොඳ නැද්ද කියලා. ඔව් ඒකත් හොඳයි, හැබැයි මෙන්න මේ අවුල් තියෙනවා. ක්ලෝස් බට්න් එකෙන් ට්‍රේ එකට යවන්න බෑ. Notification එක ඇහැට පේන්නෙත් නැති තරම්, අවධානය යොමු වෙන්නෙ නෑ. කැමති අය මේ ඇඩෝන උත්සාහ කරලා බලන්න.

Tagged with:  

Appnr – APT සඳහා වෙබ් අතුරුමුහුණතක්

On 2009 ජූලි 19, in අන්තර්ජාලය, තාක්ෂණික, by ප්‍රවීන් ඉන්ද්‍රනාම

උබුන්ටු පාවිච්චි කරන ගොඩක් දෙනා අලුත් ඇප්ලිකේෂන් එකක් ඉන්ස්ටෝල් කරගන්න ඕනේ උනාම මොකක්ද කරන්නේ (හරියටම නම දන්නෙ නැත්නම්)? System > Administration > Synaptic Package Manager එකට ගිහින් තමන්ට අවශ්‍ය ඇප්ලිකේෂන් එක ඒකේ තියෙනවාද බලලා ඉන්ස්ටෝල් කරගන්නවා. මේ Synaptic කියන්නේ උබුන්ටු වල package managerය වල apt සඳහා GUI එකක්. අද පොඩ්ඩක් උබුන්ටු ආටිකල් කියවනකොට මට හම්බුනා මේ apt සඳහා වෙබ් අතුරුමුහුණතක්.

http://appnr.com/

මේක නමින් Appnr. මෙය වෙබ් අඩවියක්.  මෙහි වර්ගීකරණය කර තියෙනවා උබුන්ටු (හා උබුන්ටු පවුලේ සැම, Gnome, KDE හා Xfce ඩෙස්ක්ටොප් සඳහා) සඳහා ප්‍රසිද්ධ සියලු ඇප්ලිකේෂන්. අවශ්‍ය ඇප්ලිකේෂනය තෝරා ඒ ඉදිරියෙන් ඇති Install ක්ලික් කිරීමෙන් අදාල ගොනු පරිගණකයට බාගත් වෙලා ඉන්ස්ටෝල් වෙනවා.

මෙන්න මේ Appnr හි වාසි:

  • පරිගණකයේ ඇති Synaptic ට වඩා මෙහි සෙවුම් පහසුකම් හොඳයි.
  • අදාල ඇප්ලිකේෂනයේ screenshot බලාගන්නත් පුලුවන්.
  • ඒ ඇප්ලිකේෂන් එක ගැන අනිත් පරිශීලකයන්ගේ ratings, reviews බලන්න පුලුවන්.
  • ඇප්ලිකේෂන් එකේ අයිකන් එකක් සමගම තියෙන නිසා පරිශීලකයාට හිතට අල්ලන විදියට හදලා තියෙනවා.
  • අලුතින් ලිනක්ස් වලට ආපු පරිශීලකයන්ට මේක ගොඩක් ලේසි වෙයි.

මෙන්න තියෙන අවාසි

  • ඇප්ලිකේෂනයේ ප්‍රමාණය බලාගන්න විදියක් නෑ.

එය ඉක්මනින් නිවැරදි වේ යයි සිතනවා.

මේ අඩවිය හරහා ඇප්ලිකේෂන් ඉන්ස්ටෝල් කරන්න  නම් aptURL නම් program එක බ්‍රවුසරය සමග ක්‍රියා කල යුතුයි. නමුත් බය වෙන්න දෙයක් නෑ, Ubuntu 7.10 න් පසුව එන සියලුම Firefox වර්ෂන සමග මෙය පෙරනිමියෙන් එනවා. අනිත් බ්‍රවුසර සමග මෙය වැඩකරවාගන්නා හැටි මෙතන තියෙනවා.

Tagged with:  

නිකං දෙන Ubuntu CD !

On 2009 ජූලි 18, in කාලීන, තාක්ෂණික, by ප්‍රවීන් ඉන්ද්‍රනාම

ubuntu_reqමේ පෝස්ට් එක ලියන්න හිතුනේ මම මොඩරේට් කරන ෆෝරමයේ පසුගිය සතිය තුල පලවුන ත්‍රෙඩ් දෙකක් දුටු නිසා. ඉන් පලමු ත්‍රෙඩ් එකේ කියවුනේ “ඔබ තවමත් උබුන්ටු සීඩී නොමිලේ ගෙන්වා ගත්තේ නැද්ද? එහෙනම් දැන්ම ඕඩර් කරන්න, මෙන්න ලින්ක් එක” වගේ දෙයක්, දෙවැන්නෙන් කියවුනේ “මම උබුන්ටු සීඩී 20ක් ගෙන්වා ගත්තා, මෙන්න මම ඕඩර් කරපු විදිය, ඔයාලාත් ඕඩර් කරන්න” වගේ දෙයක්.
මම ඒ ත්‍රෙඩ් දෙකටම රිප්ලයි කලා මෙහෙම.

ඕක පොඩ්ඩක් මේ විදියට වෙනස් උනොත් හොඳයි නේද මල්ලී??
” උබුන්ටු අවශ්‍යය අය ඉන්නවනම්, ඩවුන්ලෝඩ් කරන්න විදියක් නැත්තම් විතරක් මේකෙන් සීඩී ඉල්ලන්න. “
මොකද ලංකාවේ අය ආතල් එකට උබුන්ටු සීඩී ඕඩර් කරනවා. ගෙනත් පාවිච්චි කරනවනම් තව කමක් නෑ. නිකං ආසාවට ගෙනත් පැත්තකට දාලා තියනවා.
Canonical සමාගම ලොකු මුදලක් වැය කරලයි මේ සේවය කරන්නේ. ඉතිං එහෙම එකේ අපි ඒවා නිකං දුන්න පලියට නැති නාස්ති කරන්න හොඳ නෑ නේද?

මම හිතන්නේ මම කියන්න හදන්නේ මොකක්ද කියලා ඉහත රිප්ලයි එකෙන් තේරෙන්නැති.

ඔව්.. මේ දැන්  බණ කිව්වට අපිත් ඉස්සර ඒ වගේ තමා. මට මතක හැටියට 2004දී මුලින්ම උබුන්ටු ගැන දැනගන්නකොට තිබුනේ Ubuntu 4.10 (Warty Warthog). මගේ යාලුවො කීපදෙනෙක් සීඩී 50 බැගින් ඕඩර් කලා ! ඒවායින් කීපයක් මටත් ලැබුන නිසා 5.04 ආපු වෙලාවේ මමත් ඕඩර් කලා 20ක්. ඒ පාර එක යාලුවෙක් සීඩී 200ක් ඕඩර් කරලා ඒක තැපැල් කන්කෝරුවෙන් ටැක්ස් ගෙවන්න කිව්වා රිලීස් කරන්න, මොකද ලොකු පාර්සලයක් නිසා. ඒ යකා ඒක ගන්නෙ නැතුව එහෙමම තියෙන්න ඇරියා ! ඊට පස්සෙ මම පරිගණකයක් ගත්තට පස්සේ 6.06 LTS (Dapper Drake) ඉඳන් ආපහු සීඩී ඕඩර් කලා. හැබැයි එක බැගින්, ජාති 3න්ම (Ubuntu, Kubuntu, Edubuntu). ඉන්ස්ටෝල් කලේ නැතත් Live CD එක රන් කරලා බැලුවා. අද මම 9.04 ඉන්ස්ටෝල් කරගෙන පාවිච්චි කරන්නෙක්. සීඩී එක ඕඩර් කලේ නැහැ. මට අන්තර්ජාල පහසුකම් තියෙන නිසා මම ඒක ඩවුන්ලෝඩ් කරගත්තා.

දැන් තමයි මට තේරෙන්නේ අපි ඒ කාලෙ ආතල් එකට මොන තරම් අපරාදයක්ද කලේ කියලා. ඒ කාලෙ අපි මේ Free and Open Source වගේ සංකල්ප ගැනත්, මේවා සුවහසක් ලෝක ජනතාවගේ පාවිච්චිය වෙනුවෙන් එක්තරා පිරිසක් නිර්මාණය කරන්නේ කිසිදු මූල්‍යමය වාසියක් නැතුව බවත් අපි දැනගෙන සිටියේ නැහැ. ඒ කාලෙ නොදන්නකමට කරපු වැරදි ගැන දැන් මම පසුතැවෙනවා.

මම හිතන්නෙ මේ ගැන පුලු පුලුවන් විදියට අනිත් අය දැනුවත් කරන්න පුලුවන් නම් හොඳයි. සීඩී ගෙන්නවගත්තට කමක් නෑ, අඩුගානෙ ටෙස්ට් කරලවත් බලනවනම්, තමන්ට අවශ්‍ය ප්‍රමාණය විතරක් ගෙන්නවා ගන්නවනම්. නැතුව ඕවා තොග පිටින් ගෙනල්ලා අන්තිමේ වාහන වල එල්ලන්නයි, ටේබල් මැට් විදියටයි පාවිච්චි කරනවනම් ඒක කොයි තරම් අපරාදයක්ද? අනිත් අතට ඔය වගේ තොග පිටින් ඉල්ලන නිසා අන්තිමට Canonical එකෙන් ලංකාවට සීඩී ඩිලිවර් කරන එක නැවැත්තුවොත් , පාඩුව හැමෝටමයි.

මෙන්න මගේ අතීතයෙන් ඡායාරූප ටිකක්.

මේ Ubuntu 5.04 (Hoary Hedgehog). බලන්න ඒ කාලෙ Install කරන්න වෙනම සීඩී එකකුයි, Live run කරන්න වෙනම සීඩී එකකුයි ආවෙ. දැන් වගේ තනි සීඩී එකෙන් වැඩ 2ම කරන්න බෑ ඒ කාලෙ.

මෙන්න ඒ සීඩී දෙක.

මෙන්න තවත් වර්ෂන් දෙකක් 5.10 හා 6.06 LTS.

Tagged with:  

Ubuntu දී පහසුවෙන් ISO ඉමේජ mount කර ගනිමු

On 2009 මැයි 30, in වර්ගීකරණය නොකළ, by ප්‍රවීන් ඉන්ද්‍රනාම

CD එකක හරි DVD එකක හරි ඉමේජ් එකක් පාවිච්චි කරන්න නම් එක්කො ඒක ඩිස්ක් එකකට write කර ගන්න ඕනෙ, එහෙමත් නැත්තම් virtual drive එකකට දාගන්න ඕනෙ. සාමාන්‍යයෙන් වැඩිපුරම භාවිතා වෙන්නෙ මේ virtual drive එකකට දාගැනීමේ ක්‍රමය තමා, OS එකක ඉමේජ් එකක් නොවේ නම්.

Ubuntu වලදී වෙනම virtual drive එකක් අවශ්‍ය නෑ, ඉමේජ් මවුන්ට් කිරීමේ පහසුකම ලිනක්ස් වල පෙරනිමියෙන් ම එනවා. පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ Ubuntu වල ඉමේජයක් මවුන්ට් කිරීමේ මූලික ක්‍රමය terminal එකේ command ලිවීමක්, kernel loop module භාවිතයෙන්. ඒත් මම මවුසයෙන් වැඩ කරගන්න ගොඩක් කැමති නිසා ටයිප් කරන්නෙ නැතුව ඉමේජ මවුන්ට් කරන ක්‍රමයක් හොයනකොටයි මේක ලැබුනෙ. මෙහි විශේෂ වාසිය තමයි තවත් application එකක් ඉන්ස්ටෝල් කරන්න අවශ්‍ය නෑ. පොඩි script දෙකක් දාන්න විතරයි තියෙන්නෙ. හැබැයි මේක වැඩ කරන්නෙ Nautilus ෆයිල් මැනේජරය සඳහා පමණයි. එය Ubuntu හි default ෆයිල් බ්‍රවුසරය.

මුලින්ම මේ script දෙක ඩවුන්ලෝඩ් කරගන්න, mount.sh [610 bytes] හා unmount.sh [253 bytes],සහ ඒවා ඔබේ Home Folder එකට දමාගන්න. (ඉදිරි පියවර වලදී ඒවා එහි හි ඇතැයි මම උපකල්පනය කරනවා)

දැන් කල යුත්තේ ඒවා executable තත්ත්වයට පත්කරගැනීම. ඒ සඳහා මෙම කේත දෙක terminal එකක් ඕපන් කර ලබාදෙන්න. මෙහි username යන්න User Name එකෙන් replace කරගන්න මතක ඇතුව.

sudo chmod +x /home/username/mount.sh

sudo chmod +x /home/username/unmount.sh

දැන් කල යුත්තේ ඒවා අදාල සිස්ටම් ෆෝල්ඩරය තුලට කොපි කර ගැනීමයි.

sudo mv /home/username/mount.sh ~/.gnome2/nautilus-scripts/

sudo mv /home/username/unmount.sh ~/.gnome2/nautilus-scripts/

දැන් වැඩේ අහවරයි. දැන් Nautilus ඕපන් කරගෙන අවශ්‍ය ISO ඉමේජය ඇති තැනට යන්න. ඉමේජය රයිට් ක්ලික් කල විට ලැබෙන මෙනුවේ Scripts සබ්මෙනුව තුල අවශ්‍ය දේ තියෙනවා.

mount

  • ඉමේජය මවුන්ට් කර ගැනීමට නම් mount.sh තෝරන්න
  • දැනට ඉමේජය මවුන්ට් වී ඇත්නම්, එය අන්මවුන්ට් කරන්න ඕනෙනම් unmount.sh තෝරන්න.
Tagged with:  

බඳින තරම් ලේසි නෑ දික්කසාද කරන එක !

On 2009 මැයි 10, in වර්ගීකරණය නොකළ, by ප්‍රවීන් ඉන්ද්‍රනාම
Linux Mint GRUP Menu

පහුගිය කාලෙ මගේ desktop කොම්පුටරේ හාඩ් ඩිස්ක් එකේ ලෙඩ දෙන්න ගත්ත නිසා ඒක ලඟදිම අවසන් ගමන් යයි කියල බයට තාත්තා තව හාඩ් ඩිස්ක් එකක් ගෙනාවා. ඉතිං මම අලුත් හාඩ් එකට වින්ඩෝස් දාලා පරණ එක ෆුල් ෆෝමැට් කරලා ආපහු පාටිෂන් හැදුවා. මම හිතන්නෙ එතකොට ඒකෙ අවුල හරිගියා ද කොහෙද. ඉතින් මම ඒකට ඉන්ස්ටෝල් කලා Mint Linux ටෙස්ට් කරල බලන්නත් එක්ක. සරලයි, පහසුයි, කරදරයක් නැතුව ඉන්ස්ටෝල් උනා.

ගෙදර කොම්පුටරේට ලිනක්ස් දැම්මා කියල වැඩක් තියේයැ. මම සතියට දවස් එකහමාරක් විතර තමා ගෙදර ඉන්නේ. ඒ ටිකෙත් ලැප්ටොප් එක බදාගෙන ඉන්නවා මිසක් අරක අල්ලන්නෙත් නෑ. ඉතිං මට හිතුනා අපරාදෙ අර හාඩ් ඩිස්ක් එක වේලි වේලි තියෙන නිසා (ගිගාබයිට් 160ක්ම) ඒක මගේ ලැප් එකටම සවිකරන්න ගැජට් එකක් මිලදීගෙන පාවිච්චි කරන්න.

ඔන්න දැං තමා අවුල. MBR එක තියෙන්නෙ වින්ඩෝස් තියෙන ප්‍රධාන හාඩ් ඩිස්ක් එකේ. ඒත් GRUB එක තියෙන්නෙ මින්ට් තියෙන දෙවන හාඩ් ඩිස්ක් එකේ. නිකංම ඒ හාඩ් ඩිස්ක් එක ගැලෙව්වොත්

GRUB Loading . . . . . . . . . .
Error 17

කියල ඇවිත් නතර වෙනවා.

හොයල බලපු හැම තැනම තිබුණ විකල්පය තමා නැවත Windows cd එක දාලා Recovery Console ගිහින් fixmbr, fixboot විධාන දීලා Windows Lootloader එක නැවත පිහිටුවන එක. ඉතිං මමත් දැම්මා Windows cd එක. රිකවරි එකට ගියාම එතන මොන කමාන්ඩ් එකක් වත් දෙන්න ඉඩ දෙන්නෙ නෑ, වින්ඩෝස් වලට යන්න එන්ටර් ඔබන්න කියල කියනවා. එබුවාම වින්‍ඩෝස් වලට යනවා.

දැං ඔන්න හීන් දාඩිය දැම්මා. ubuntu forums වල දැක්කා Ubuntu LiveCD එක දාලා ms-sys පැකේජය දාලා ඒකෙන් වින්ඩෝස් බූට්ලෝඩරය දාන ක්‍රමයක්. ඒක උත්සාහ කලා, ඒ පාර ms-sys පැකේජය ඉන්ස්ටෝල් වෙන්නෙ නෑ. එහෙම පැකේජයක් නැතිලු. (සමහරු ප්‍රතිචාර දත්වලා තිබුනා ඒ පැකේජය සඳහා Interpid වලදී සහය දක්වන්නේ නැති බවක්)

කොහොමහරි තවටිකක් හොයනකොට වෙත් ක්‍රමයක් හම්බුනා. ඒක උත්සාහ කරල බැලුවාම යන්තං ගොඩගියා.
මෙන්න මේකයි ක්‍රමය

1. Ubuntu LiveCD එකෙන් බූට් කරලා ඉන්පසුව ඒකෙ Terminal එකට ගියා
2. sudo apt-get install mbr
ගහලා mbr කියන පැකේජය දාගත්තා
3. sudo install-mbr -i n -p D -t 0 /dev/sda
ගහලා වින්ඩෝස් බූට්ලෝඩරය දාගත්තා.

හොද වෙලාවට Mint කියන්නේ Ubuntu ගේ නිවුන් සහෝදරයෙක් උනේ. මොකද මගේ Mint cd එක යාලුවෙක් ලඟ. ubuntu එකක් විතරයි ලඟ තිබුනේ.

ඔන්න ඔහොමයි දික්කසාද කරන්න ගියාම තියෙන කරදරේ ! :D

Tagged with:  

Windows/Ubuntu font වෙනස

On 2009 මාර්තු 2, in ඇසි-දිසි, තාක්ෂණික, by ප්‍රවීන් ඉන්ද්‍රනාම

පෝස්ට් ලියන්න මම වැඩියෙන්ම භාවිත කරන්නේ මලිති වෙබ් අකුර. මොකද ඒකෙ හරි රවුම් හැඩය නිසා බලන්න ආස හිතෙනවා (default ඉස්කෝලෙ පොතට සාපේක්ෂව, වින්ඩෝස් වලදි). මං ඉතින් මේ ලඟදි Ubuntu වලට බැහැපු නිසා දැං වැඩි හරියක් ඉන්නේ ඒකෙ. කාලිංග අයියගේ පෝස්ට් එකක් කියවලා මං ඒකට මලිති අකුර දාගත්තා. ඊට පස්සෙ මගේ බ්ලොග් එකට ගියාට පස්සෙයි මට මේක ලියන්න හිතුනේ.

මට පෙනුන හැටියට Ubuntu වලට එන default සිංහල අකුර (ඒකෙ නම නම් දන්නෙ නෑ) ඉස්කෝලෙ පොතට වඩා හොඳයි වගේ. මේ රූප බලන්න. (ශාකුන්තල සහෝදරයාගේ අවසරය මත පලකරමි) :)

Ubuntu වල සිංහල අකුර හොඳින් render වෙනවා වගේ නේද?

මේ රූප බලන්න.

මලිති නම් සෑහෙන්න දුරට දෙකේම එක වගේ. Ubuntu දී ඉංග්‍රීසි අකුරු නම් ගොඩක් පැහැදිලියි. ඒත් මට හිතෙන්නේ මලිති වින්ඩෝස් පරිසරයේදී නම් වඩා හොඳයි වගේ. Ubuntu වලදී අකුරු වල පොඩි ඇද ගතියක් තියෙනවා වගේ.

කියන්න අමතක උනා. මේ OS දෙකේදීම මම භාවිත කලේ Firefox 3.0.6

Ubuntu වල default සිංහල අකුරේ නම මොකක්ද? අපිට ඒක Windows වලට ගන්න බැරිද කියලා දන්න කවුරුහරි කිව්වොත් ලොකු උදව්වක්.

Tagged with:  

මම Ubuntu වලට මාරු උනා

On 2009 පෙබරවාරි 25, in තාක්ෂණික, මට වෙච්ච දේවල්, by ප්‍රවීන් ඉන්ද්‍රනාම

මම කලින් පාවිච්චි කර කර හිටියේ Mandriva Linux PowerPack 2009. ඒකෙ interface එක නම් නියමයි. පාවිච්චි කරන්න ආස හිතෙනවා. ඒත් පොඩි කොස්සකට තියෙන්නේ User Support අන්තිමයි. කොහේවත් තැනක් නෑ සපෝට් එකක් ගන්න. මට ඒකට සිංහල දාගන්න ඕනෙ වෙලා මාර කට්ටක් කෑවෙ. ටෙක්කතා එකට කිව්වත් කාලිංග අයියලාටත් වැඩේ මිටර් වෙලා නෑ වගේ (එහෙම හරි සපෝට් එකක් දීපු එක ගැන ටෙක්කතා කණ්ඩායමට මගේ ස්තූතිය.)

අන්තිමට අද උදේ කොම්පියුටරේ දානකොට grub එකේ ලෙඩක් එනවා. Mandriva තියා Windows වත් යන්න බෑ. මං ගත්තා Mandriva dvd එක, grub එක uninstall කරා ඒකෙ තියෙන tool එකෙන්. ඊලඟට ගත්තා Ubuntu 8.10 cd එක, දැම්මා Ubuntu.

Ubuntu වල සිංහල දාන හැටි මං දන්නෙත් නෑ. හොඳ වෙලාවට චමිල සහෝදරයා online හිටියා. (මිනිහත් Fedora අතෑරලා Ubuntu ආපු පොර නේ) ඉතිං චමිලට වාතෙ වෙලා අහගත්තා සිංහල දාන හැටි. දැං හරි. (බොහෝම ස්තූතියි චමිල.) මේ ලියන්නේ Ubuntu වල ඉඳන්.

හැබැයි එක දෙයක් කියන්න ඕනෙ. මට පේන හැටියට Mandriva වල සිංහල අකුරු render වෙනවා හොඳයි මීට වඩා. ලස්සනට පෙනෙනවා. මට ඒකෙ අවුල උනේ විජේසේකර කිබෝඩ් එක ගන්න බැරි උන එක. (එන්නෙ phonetic එක.) ඒකත් ගන්න පුලුවන් ඇති, මං එච්චර ලිනක්ස් දන්නෙ නෑ එච්චර ගේම් දෙන්න තරම්.

Tagged with: