ඔබේ ඊමේල් ඇඩ්රසය දීලා සයිට් එකregister වෙනකොට ඔබට ෂුවර් නැද්ද ඔබේ ඇඩ්රසයට ඔවුන් SPAM mail එවාවි කියලා? අර පහුගිය කාලෙ සංවාදයක් ගියේ මේ සින්ඩිකේටරයෙ තියෙන බ්ලොග් එකකුත් කමෙන්ට් දාන අයගෙ ඊමේල් ලිපින වලට SPAM එවනවා කියලා. මෙන්න මේ වගේ වෙලාවට හොරා අතටම අල්ලගන්න පුලුවං රහස්පරීක්ෂක ක්‍රමයක් තමයි මේ.


හැබැයි දැනට දන්න තරමින් මේක වැඩ කරන්නෙ Gmail ලිපින සඳහා පමණයි. අනෙක් සේවා සඳහා පරීක්ෂා කර බලා නැහැ.

මෙන්න මෙහෙමයි වැඩේ කරන්න තියෙන්නේ,

  • උදාහරණයකට අපි හිතමු ඔබේ ඊමේල් ලිපිනය sinhalablogger@gmail.com කියලා.
  • ඔබට ෂුවර් නැති සයිට් එකක රෙජිස්ටර් වෙනකොට, එහිදී ඊමේල් ලිපිනය දෙන්න sinhalablogger+anyidentifier@gmail.com කියලා.


මෙම anyidentifier කොටසට ඔබට කැමති නමක් දාගන්න පුලුවන්. එක එක සයිට් සඳහා එක එක නම් යොදා ගැනීමෙන් රහස්පරීක්ෂක කාර්යය වඩාත් සාර්ථක වේවි. (ඔබ‍ට පුලුවන් අදාල සයිට් එකේ නම ම යොදාගන්න.)

  • මෙහෙම ඊමේල් ලිපිනයේ + සලකුණක් තිබුනාම Gmail ඊට වම් පසින් ඇති username එක වෙත මේල් එක එවනවා. ඒ නිසා මෙහෙම වැඩිපුර කෑල්ලක් දැම්මා කියලා බය වෙන්න එපා, මේල් එක ඔබට ඒවි.
  • දැං ටික දවසක් ගිහින් ඔබට ඇවිත් තියෙන Spam මේල් ඕපන් කරලා ඒවායේ “Show Details” මගින් එය එවා ඇත්තේ මොන ලිපිනයටදැයි (To:) බලන්න. එය ඇවිත් තියෙන්නේ sinhalablogger@gmail.com නැමති ඔබේ සාමාන්‍ය ලිපිනයට නොව sinhalablogger+identifier1@gmail.com කියන ලිපිනයට නම්, ඔබේ ඊමේල් ලිපිනයට SPAM එවන්නේ හෝ ඔබේ ලිපිනය SPAM මුදලාලිට විකුණා තියෙන්නේ ඔබ identifier1 කියන කොටසත් එක්ක ලිපිනය දීපු සයිට් එකෙන්.

හොඳයි නේද රහස්පරීක්ෂක ක්‍රමය?

Tagged with:  

Airtel + iPhone – කවුද රැවටුනේ ?

On 2009 මාර්තු 13, in අන්තර්ජාලය, ඇසි-දිසි, by ප්‍රවීන් ඉන්ද්‍රනාම

Airtel සේවාව ලංකාවේ ක්‍රියාත්මක වීමට මාස කීපයකට පෙර සිටම නිතර දෙවේලේ මගේ ඊමේල් බොක්ස් එකට එන මේල් එකක් මට මහත් කරදරයක් විය. මේ මේල් එක විවිධ අවස්ථාවන්හි මා වෙත (ෆෝවර්ඩ් කර) එවනු ලැබුවේ මගේ විවිධ මිතුරු මිතුරියන් විසිනි.

එම පණිවුඩයේ සඳහන් වුයේ Airtel ශ්‍රී ලංකාවේ සේවාව ඇරඹීම නිමිත්තෙන් Appli iPhone 3ක් ද, ජීවිත කාලය පුරාම නොමිලේ ඇමතුම් ගත හැකි සම්බන්ධතා 2ක් ද ලබා දීමට තරඟයක් පැවැත්වීමට අදහස් කරන බවත්, ඒ තරඟය සඳහා ඇතුලත් වීමට මෙම ඊමේල් පණිවුඩය හැකිතාක් පිරිසකට ෆෝවර්ඩ් කරන ලෙසත් ය. එම ලිපින සමගම ඔවුන් ලබා දී තිබු ඊමේල් ලිපිනයකට ද එය ෆෝවර්ඩ් කිරිමේ අවශ්‍යතාවය දක්වා තිබුණි.


හොඳ උත්තේජනයකි. කිසිදු මහන්සියක් නැත. ඇඩ්‍රස් බුක් එකේ සියලු දෙනාටම ෆෝවර්ඩ් කිරීම පමණි. ඒ වගේද නිකං හරි සිලෙක්ට් උනොත් ලැබෙන තෑගි ? මෙසේ සිතූ දස දහස් ගණන් ශ්‍රී ලාංකිකයෝ හිටු කියා මේ ඊමේල් පණිවුඩය ෆෝවර්ඩ් කිරීමට පටන් ගත්හ. ප්‍රතිපත්තියක් ලෙස මේල් ෆෝවර්ඩ් නොකරන නිසාත්, නැවත ඔවුන්ට මේල් එක එවිය යුතු ඊමේල් ලිපිනය official එකක් නොවූ නිසා (එය @gmail.com එකකි) සැකයක් ඇතිවු නිසාත් මම මෙය කිසිවෙකුට ෆෝවර්ඩ් නොකලත්, මට මිතුරන්ගෙන් ලැබී තිබූ මෙම පණිවුඩ සංඛ්‍යාව 83 කි !

අපේ මිනිසුන්ට BCC: ‍‍ෆීල්ඩ් එකට ඇඩ්‍රස් දමා මේල් ෆෝවර්ඩ් කරන සිරිතක් නැත. ඔවුහු ගෙඩි පිටින් TO: ෆීල්ඩ් එකට සියලු ඇඩ්‍රස දමා මේල් එක ෆෝවර්ඩ් කරති. මෙහිදී ඕනෑම ලබන්නෙකුට අනෙක් සියලුම ලබන්නන්ගේ ඊමේල් ලිපින බලාගත හැකිය. BCC දැමීමේදී එකෙකුට එකෙක් අදෘෂ්‍යමාන ය. එහෙයින් ම එය ආරක්ෂාකාරි ය.

ඉහත ඊමේල් පණිවුඩයේ එහි කොපියක් නැවතත් ඔවුන්ගේ ලිපිනයකට ද එවිමේ අවශ්‍යතාව දක්වා තිබුනේ මෙම තරඟයට ඇතුලත් කර ගැනිමේ කෙහෙම්මලකට නොව ඊමේල් එක අප යැවූ සියලු දෙනාගේ ඊමේල් ලිපින ලබාගැනීමට බව වැඩිදෙනෙකුට සිහිවුයේ නැත. මේ ආකාරයට ඔවුන් ඊමේල් ලිපින කියක් එකතු කරගත්තාදැයි දන්නේ ඔවුන් හැරුණවිට දෙවියන් පමණි. එම පණිවුඩයේ සඳහන් වූයේ පෙබරවාරි 9 වෙනි දින දිනුම් ඇදීම සිදුකරන බව වුවත් මේ වන තෙක් කිසිවෙකුට එම තෑගි ලැබී තිබේද?

මේ ඊමේල් පණිවුඩය ගැන Airtel ආයතනය කිසිදු සම්බන්ධයක් නැති වීමට බොහෝ ඉඩකඩ තිබේ. එහෙත් ඒ බව සඳහන් කර ප්‍රසිද්ධ ප්‍රකාශයක් කිරීමට Airtel ට වගකිමක් තිබිණි.

මෙවැනි පුද්ගලයන් ඊමේල් ලිපින එකතු කර ඒවා තොග ගණනට ඊමේල් ඇඩ්වර්ටයිසිං මුදලාලිලාට විකුණන බට ඔබ දන්නවාද? ඔබ මේල් ෆෝවර්ඩ් නොකලත්, මිතුරෙක් ඔබට මෙය එවීමෙන් පවා එබේ ලිපිනය ඔවුන් අතට යයි. මේවායේ ප්‍රතිඵලය නම් අනවශ්‍ය ඊමේල් (දැන්වීම්..) හෙවත් SPAM තොග ගණනින් ඔබේ අවසරයක් නොමැතිව ඔබේ ඊමේල් බොක්ස් එක වෙත පැමිණීමයි.

—————————————————————————————-
මේ ගැන ශාකුන්තල ගේ ලිපියත් මෙතනින් කියවන්න.

Tagged with:  

ගරිල්ලා Email ඡන්ද ඇඩ්වර්ටයිසිං

On 2009 මාර්තු 12, in අන්තර්ජාලය, ඇසි-දිසි, by ප්‍රවීන් ඉන්ද්‍රනාම

[මෙම ලියුම්කරු කිසිදු දේශපාලන දැක්මක් අනුගමනය නොකරන අතර පවතින දේශපාලන ක්‍රමය ගැන කළකිරී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් ද වැලකී සිටින්නෙක් බව කරුණාවෙන් සලකන්න]

ගිය සතියෙ මට ඊමේල් එකක් ආවා ඡන්ද දැන්වීමක්. මම මේල් එකේ හෙඩර් එක බලනකොට ඒක එවල තියෙන්නෙ ***[at]stl.lk ඇඩ්රස් එකකින්, reply-to තියෙන්නේ එක්තරා GMail ලිපිනයකට.

හොඳට බැලුවාම ඒ ඊමේල් එකේ යටින් තිබුනා ඒ ඇඩ්වර්ටයිසිං ෆර්ම් එකේ දැන්විමක්.
ඔවුන්ගේ බිස්නස් එක තමයි සේවාදායකයා ලබා දෙන දැන්වීම
71,300+ ලාංකිකයන්ගේ ඊමේල් ලිපින වලට යැවීම. වෙනත් වචන වලින් කිව්වොත් ඔවුන් මුදල් සෙවීමට අපේ ඊමේල් ලිපින අනවසරයෙන් යොදා ගැනීම.
ඒ මේල් එකේ යටින් තියෙන disclaimer එක ඊට එහා. ඒකෙ තියෙනවා මේල් ලිස්ට් එකෙන් ඉවත් වීමට ක්‍රමයක් දක්වා තිබෙන තුරු මෙවැනි මේල් ස්පෑම් නෙමෙයි කියලා. කාට කියන්නද මේවා ! ඒ කියන්නෙ මේ වැඩේ නිත්‍යානුකූලයි !

මම ඒ තිබුණ ඇඩ්රස් 2ටම ඊමේල් කලා මම මෙවැනි දැන්වීම් ගැන interest එකක් නැතිබවත් එමනිසා කරුණාකර මාව mailing list එකෙන් ඉවත් කරන ලෙසත්. කිසිම රිප්ලයි එකක් ආවෙ නෑ.

මේ සතියෙ ගෙදර ඇවිත් බලනකොට තවත් හාල්පාරුවෙක්ගෙ ඡන්ද දැන්වීමක් එවලා ඒ ෆර්ම් එකෙන්ම ! මම කුණුහරප දෙකක් කියලා රිප්ලයි කලා ආපහු මේල් කරන්න එපා කියලා. ඔන්න ඒ පාර රිප්ලයි එකක් ආවා ලිස්ට් එකෙන් ඉවත් කරන්නම් කියලා, හැබැයි ඒකට ටිකක් වෙලා යයිලු, ඒ අතරේ එන මේල් වලට කරන්න දෙයක් නැතිලු. මට නම් ෂුවර් නෑ මෙයාලා මගේ ඇඩ්රස් එක ඉවත් කරාවි කියලා.


වැදගත්ම කරුණ වෙන්නේ මේ කට්ටිය මේ ඊමේල් ලිපින 71,300 එකතු කලේ කොහොමද කියලා. දැන් පේනවා නේද යාලුවන්ට ඊමේල් ෆෝවර්ඩ් කිරීමේදී to: වෙත ලිපින සියල්ලම දැමීමේ විපාක? ඒ වගේම පහුගිය දවස් වල Airtel එකෙන් iPhone එකක් දෙන බවට ගිය ඊමේල් එකත් මෙයාලගෙම වැඩක් වෙන්න පුලුවං.

Tagged with:  

GMail. . . මොකද මේ වෙන්නේ?

On 2009 පෙබරවාරි 28, in අන්තර්ජාලය, තාක්ෂණික, මට වෙච්ච දේවල්, by ප්‍රවීන් ඉන්ද්‍රනාම

මට අද දවල් මේල් 2 ක් ආවා මගේ යාලුවා යොහාන් ගෙන්. ඕපන් කරලා බැලුවාම ඒ මේල් 2 සාමාන්‍යයෙන් අර forward කෙරෙන ජාතියේ ඒවා. මට ඒවයේ අමුත්තක් දැනුනා කාරණා 2ක් නිසා. එකක් යොහාන් ප්‍රතිපත්තියක් විදියට මේල් ෆෝවර්ඩ් කරන්නෙ නෑ අනුන්ට කරදරයක් වෙන විදියට. අනිත් එක මිනිහගේ ADSL එක මේ දවස්වල ඩවුන්. කැෆේ යන වෙලාවකුත් නෙමෙයි ඒක.

ඒ නිසා මං Show Details මත ක්ලික් කරලා බැලුවා. එතකොට ම‍ට පෙනුනා ඒ මේල් එක මට ආවට එහි To: කියන තැන මගේ (හෝ කිසිවෙකුගේ) ඇඩ්රස් එකක් සඳහන් නැති බව.



මම යොහාන්ට කෝල් එකක් අරන් බැලුවාම මම හිතපු දේ හරි. මිනිහා මට මේ මේල් එවලා නෑ. ඒ කියන්නේ කවුරුහරි මේල් එකවුන්ට් එකට හොරෙන් ලොග් වෙලාද? ඒත් එහෙනම් To: එකේ මගේ ඇඩ්රස් එක නැත්තේ මොකද? නැත්තම් මේක අලුත්ම ස්පෑම් ක්‍රමයක්ද?

පොඩ්ඩක් මේ ගැන අවධානයෙන් ඉන්න. සමහරවිට ඔබේ ඇඩ්රස් එකෙනුත් ඔබ නොදැන අනුන්ට මේල් යනවා වෙන්න පුලුවන්.

Tagged with: