facebook: තමුන්ගේ ආරක්ෂාව තමුන්ම සලසාගමු

On 2011 නොවැම්බර් 7, in අන්තර්ජාලය, සමාජයීය, by ප්‍රවීන් ඉන්ද්‍රනාම

ෆේස්බුක් හි ඡායාරූප මගින් පුද්ගලිකත්වයට හානිවිය හැකි ආකාරයන් ගැනත් ඒ සම්බන්ධයෙන් ආරක්ෂක පියවරක් ලෙස Friend List සාදාගැනීම ගැන පසුගිය ලිපියකින් මා කතා කලා. මේ ලිපිය කියවීමට පෙර එම ලිපිය කියවීම වඩාත් ප්‍රයෝජනවත් වනු ඇතැයි සිතනවා.

ෆේස්බුක් හි ඡායාරූප ගැන කතා කලොත්, අලුත් ෆේස්බුක් සංස්කරනයේදී (පෙරනිමියෙන් එන සැකසුම් අනුව) ඡායාරූප ටැග් වී ඇති අයගේ මිතුරන්ටත් දිස් වන බව ඔබ දන්නවා ඇති. Friend List වලට බෙදා ඡායාරූපය ප්‍රදර්ශනය කිරීමෙන් මෙම ගැටලුව මගහැරෙන බවත් අපි සාකච්ඡා කලා. පසුගිය ලිපියේදී කතා කලේ මෙසේ ඡායාරූප අප්ලෝඩ් කරන අයගේ පැත්තෙන්. එනම් තමන්ගේ ඡායාරූප වලින් එහි සිටින අයට සිදුවිය හැකි හානි අවම කරගන්නේ කොහොමද කියලා. අද කතා කරන්න යන්නේ ඡායාරූප වල ටැග් වී සිටින්නන්ගේ පැත්තෙන්, කොහොමද ඔවුන් සිය පුද්ගලිකත්වය ආරක්ෂා කරගන්නේ කියන එක ගැන. සරලව කිව්වොත් අගතියට පත්වූ පාර්ශ්වය වෙනුවෙන් තමයි අද කතා කරන්නේ :D

මෙහෙම උදාහරණයක් ගනිමු. ඔබ මිතුරන් සමූහයක් සමග විනෝද චාරිකාවක් ගියා. විනෝද චාරිකාවක් ගියා කියන්නේ ඊට පසු දිනයේ සිට ෆේස්බුක් වෙත ඡායාරූප වැසි වසිනවා කියන එකයි. ඔබේ මිතුරා පින්තූර ෆේස්බුක් වෙත එකතු කොට තියෙන්නේ Friends Only වරණය සහිතව. නමුත් ඔබ දන්නවා ඉන් ඔබ ටැග් වී ඇති පින්තූර ඔබේ මිතුරන්ටද පෙනෙන (හා කමෙන්ට් කිරීමේ හැකියාව පවතින) බව.

නමුත් ඔබේ මිතුරු ලයිස්තුවේ සිටින ඇතැම් අයට ඔබේ පින්තූර පෙන්වීමට ඔබට ඇවැසි නැති වෙන්න පුලුවන් (පුද්ගලික හේතු මත). ඔවුන්ව ෆේස්බුක් මිතුරු ලයිස්තුවෙන් ඉවත් කිරීමටත් බැහැ, නමුත් අතේ දුරින් තබාගත යුතු තත්වයක් පවතින අවස්ථා බොහෝ දෙනෙකුට තිබෙනවා. මෙවැනි අවස්ථාවක අර පින්තූර ඔවුන්ට පෙනීම වලක්වන්නේ කොහොමද කියන ප්‍රශ්නය එනවා. පින්තූර අප්ලෝඩ් කල ඔබේ මිතුරාට කිව්වොත් “කරුණාකරලා ඔයා friend list හදලා අදාල අයට පේන්න විතරක් පින්තූර දාන්න“ කියලා ඔය වැඩේ කවදාවත් කෙරෙන්නේ නැහැ. ඒ වෙනුවට තමන් ටැග් වී ඇති පින්තූර අවශ්‍ය අයට විතරක් පෙන්වන්න විදියක් නැද්ද?

ඇත්තෙන්ම පුලුවන්. විශ්වාසවන්ත අයට පමණක් තමා ටැග් වී ඇති ඡායාරූප පෙන්වීමේ හැකියාව පවතිනවා. මේ ක්‍රියාව වඩාත් පහසු කරගැනීමටත් ඒ පුද්ගලයන් List වලට දමා තිබීම වැදගත්. ලිස්ට් සාදාගැනීම හා ඊට මිතුරන් එක් කරන්නේ කෙසේද යන්න ගැන කලින් ලිපියේදී මා කතා කලා.

මෙසේ අවශ්‍ය අයට පමණක් ඡායාරූප දැක්වීම සඳහා අවශ්‍ය සැකසුම් සිදුකිරීමට ඔබ යා යුත්තේ Privacy Settings වෙත. මෙය ඔබේ ෆේස්බුක් වින්ඩෝවේ දකුණුපස ඉහල කෙළවරේ Account යටතේ (හෝ ඔබ Timeline සක්‍රීය කරගෙන ඇත්නම් දකුණු පස ඉහල කෙළවරේ Home අසලින් ඇති ඊ හිස ක්ලික් කිරීම මගින්) ලබාගත හැකියි.

මෙම පිටුවේ පහල කොටසේ How Tags Work යනුවෙන් ඇති හෙඩිම ඉදිරිපස ඇති Edit Settings ක්ලික් කරන්න.

එහිදී මතුවන සංවාද කොටුවේ ඇති Maximum Profile Visibility of posts you’re tagged in once they’re on your profile මගින් ඔබේ Timeline (Wall) එකේ ඇති ඔබ ටැග් වූ අයිතම (ඡායාරූප, ස්ටේටස් අප්ඩේට්) පෙන්විය යුත්තේ කාටදැයි යන්න සඳහන් වෙනවා. දැනට ඒ ඉදිරිපිට ඇති ලයිස්තුවේ ඇත්තේ Friends හෝ Friends of Friends වන්නට පුලුවන්.

මෙම ලයිස්තුව මත ක්ලික් කර Custom තේරීමෙන් ඔබට සුපුරුදු සංවාද කොටුවක් නැවතත් මතුවෙනවා. මින් ඔබට අවශ්‍ය Friend List කීපයකට පමණක් අදාල දේ පෙන්වන ලෙස සකස් කරන්නේ කෙසේදැයි කලින් ලිපිය කියවූ ඔබ දැනටමත් දන්නවා. (ඉන් Specific People or Lists.. තෝරා අවශ්‍ය List යෙදීමෙන්)

මේ ආකාරයෙන් සකස් කල පසු ඔබ ටැග් වූ ඡායාරූප දිස්වනුයේ ඔබ ලබාදුන් List වල සිටින අයට පමණයි. මෙහිදී මතක තබාගත යුතුයි ඔබේ Profile Pictures, Mobile Uploads වැනි ඇල්බම ඕනෑම අයෙකුට දිස්වන බව.

Profile Pictures ඇල්බමය අන් අයට පෙන්වීම අවශ්‍ය නැත්නම් එහි Privacy සැකසුම Only Me ලෙස යෙදීම කල හැකියි. එවිට ඔබේ මිතුරන්ට දිස්වන්නේ ඔබේ දැන් profile picture එක පමණයි, ඒ ඇල්බමයේ ඇති අනිත් පින්තූර පෙනෙන්නේ නැහැ. අවශ්‍ය නම් Only Me වෙනුවට කැමති මිතුරු ලයිස්තුවක් වුවත් ලබාදිය හැකියි.

Tagged with:  

මුලින්ම කියන්න ඕනේ මේ ලිපිය වැදගත් වෙන්නේ Facebook හි තමන්ගේ හා තම මිතුරු මිතුරියන්ගේ පුද්ගලිකත්වය (privacy) ගැන සැලකිලිමත් වෙන අයට පමණයි. අනිත් අයට මෙහි ගන්න යමක් නැති වේවි.

ගත වූ මාසය ඇතුලත Facebook තරමක් අලුත් වීම් වලට බඳුන් වූ බව එය භාවිතා කරන හැමදෙනාම දන්න කරුණක්. මේ අතර එහි profile පවා අලුත්වීමකට බඳුන් වන්නේ Timeline නැමති අලුත් විශේෂාංගය මගින්. තවමත් සියලු දෙනාට මුදාහැර නැති මෙම අලුත් විශේෂාංගය අවශ්‍ය නම් කුඩා hack එකක් මගින් ඔබටත් ලබාගත හැකියි.

යමෙකුට ප්‍රශ්න කරන්න පුලුවන්, “facebook එක මෙච්චර චාටර් තැනක් නම්, ඇයි ඒක පාවිච්චි කරන්නෙ ඒක විවේචනය කර කර?“ කියලා. සත්‍යය තමයි අපි කැමති උනත් තැතත් සමාජ ජාලයන් විසින් අපේ අනාගත අන්තර්ජාලය ආක්‍රමණය කර අවසන්. දිනෙන් දින අන්තර්ජාලය අපේ ජීවිත ආක්‍රමණය කරන අතරම මුලු අන්තර්ජාලයම එකට එක සම්බන්ධ වෙමින් පවතිනවා. facebook එක කැමති උනත් නැතත් එහි භාවිත කරන්නන් බහුතරයක ජීවිත වලට බද්ධ වෙලා. මෙන්න මේ තත්වය මත අපිට සිදුවෙනවා එය පාවිච්චි කරන ගමන්, ඉන් සිදුවෙන්න පුලුවන් අවැඩ ගැන දැනුවත් වෙලා ඉන් වැලකෙන්න. මේක හරියට පිහියක් වගේ. භාවිත නොකර ඉන්නත් බැහැ. ඉන් පාන් කපන්න වගේම මිනීමරන්නත් පුලුවන්. එය තීරණය වෙන්නේ භාවිත කරන කෙනා අතේ.

අනිත් අතට facebook වැනි සමාජ ජාල භාවිත කිරීමේ අවශ්‍යතානයනුත් නැතුවා නොවෙයි. මා නිතර හමුනොවෙන මිතුරන් රැසක් සමග සම්බන්ධතා පවත්වාගැනීමටත්, විවිධ මිතුරු හමු සංවිධානය කිරීමටත් සන්නිවේදන මාධ්‍යය වශයෙන් භාවිතා කරන්නේ facebook සමාජ ජාලයයි. මීට අමතරව ඇතැම් කරුණු පිලිබඳව අන් අයගේ මත විමසීමටත්, විනෝදාංශයක් ලෙසත් මට facebook වැදගත්. ඉන් මා ලබන ලොකුම ප්‍රයෝජනය නම් මා ගන්නා ඡායාරූප වලට නරඹන්නන් හා විචාරකයන් ලැබීමයි.

facebook හි පුද්ගලිකත්වය සම්බන්ධයෙන් වැදගත්ම කරුණ විදියට මම දකින්නේ ඡායාරූප. ඒ නිසා මෙම ලිපිය වැඩිමනත් සාකච්ඡා කරනුයේ ඒ ගැනයි. ඩිජිටල් ඡායාරූප කියන්නේ වරක් “ලීක්“ උනොත් ඇතුන් නෙමෙයි Transformers චිත්‍රපටියේ ඉන්න Optimus Prime ලවා වත් නැවත අද්දන්න බැරි දෙයක්. ශ්‍රී ලංකාවේදී මෙය සැලකිය යුතු කරුණක් වන්නේ රූමත් ගැහැණුළමයින්ගේ ඡායාරූප මොකක්හෝ සයිට් එකක දුටු පමණින් පරිගණකයේ සේව් කරගැනීමටත්, ඒවා ගෙඩි පිටින් elakiri.com වැනි ෆෝරම් වල පෝස්ට් කිරීමටත් පෙළඹෙන තරුණ පරම්පරාවක් මෙරට සිටීම නිසයි. වැරදීමකින් කකුල දණහිසට උඩින් පෙනෙන ලෙස ගන්නා ලද ඡායාරූපයක් ෆෝරම් එකක පල කිරීමෙන් එම කාන්තාව “බඩුවක“ තත්වයට ඇද දැමීමට මෙම පවතින පද්ධතිය සමත්. එමෙන්ම ඒවාට “මෙයාගෙ අරක බලන්න එන්න“ වැනි ටයිටල් යොදා වෙනත් අඩවි සඳහා බැනර ලෙස භාවිතා කිරීමත් සුලබව දැකිය හැකියි.

මෙවැනි තත්වයක් මත facebook වෙත ඡායාරූප ඇතුලත් කරන්නම අවශ්‍ය නම් එසේ ඇතුලත් කරන ඒවා අවශ්‍ය අයට පමණක් පෙනෙන්නට තිබීම වැදගත් කරුණක් බවට පත්වෙනවා.

ඇතැමුන් සිතනවා (විශේෂයෙන් පිරිමින්) තමන්ගේ ඡායාරූප වලින් හානිකර යමක් කරන්නට කාටවත් වැඩක් නැති නිසා තමන්ගේ ඡායාරූප ඇල්බම සියලු දෙනාටම පෙනෙන්නට දැමුවාට ගැටලුවක් නැතැයි කියා. නමුත් මින් ඔබේ ඇල්බම වල සිටින අනෙකුත් අයට, විශේෂයෙන් කාන්තා පාර්ශ්වයට අවැඩක් සිදුවීමට ඇති ඉඩකඩ වැඩි බැව් අමතක කල යුතු නැහැ.

සාමාන්‍යයෙන් facebook වෙත ඡායාරූපයක් ඇඩ් කරන විට, එම ස්ථානයේදීම එය ප්‍රදර්ශනය කල යුත්තේ කාටදැයි තීරණය කල හැකියි.

මෙහි Public වරනය තේරීම මගින් ඔබේ මිතුරන් නොවන facebook සාමාජිකයන්ට පවා මෙම ඡායාරූපය (හෝ ඇල්බමය) නැරඹීමටත්, කමෙන්ට් කිරීමටත් පිලිවන්. මෙය අවශ්‍යවන අවස්ථාත් තිබෙනවා. උදාහරණයක් ලෙස මා ඇතුලු බොහෝ ආධුනික ඡායාරූප ශිල්පීන් තම ඡායාරූප සඳහා නරඹන්නන්/විචාරකයන් සපයා ගැනීමට facebook මාධ්‍යයක් ලෙස භාවිත කරන අතර එය වැඩි පිරිසක් වෙත ගෙනයාමට ඒවා Public ලෙස පලකරනවා.

දෙවැනි වරණය වන්නේ Friends. බැලූ පමණින් “ඔබේ මිතුරන්ට පමණක්“ ප්‍රදර්ශනය වීමකි මින් පෙන්නුම් කෙරුනත් සැබැවින්ම එය එසේ නොවෙයි. ඔබේ ඇල්බමයේ ඡායාරූප වල tag වී සිටින ඔබේ මිතුරන්ගේ මිතුරන්ටත් (friends of friends) එම අදාල tag වූ ඡායාරූප පමණක් මෙහිදී ප්‍රදර්ශනය කෙරෙනවා. පෙර මින් ප්‍රදර්ශනය කිරීමක් පමණක් සිදු කලත් අලුත් facebook සංස්කරණ සමග ඔවුන්ට මෙම ඡායාරූප සඳහා කමෙන්ට් කිරීමටද හැකියාව ලැබෙනවා.

මෙය වඩාත් අර්බුදකාරී මෙන්ම පුද්ගලිකත්වය කෙරෙහි එල්ලවන විශාලම බලපෑමක් ලෙසයි මා දකින්නේ. මා ඇල්බමයක් සාදා එය “මගේ මිතුරන්ට“ පමණක් පෙන්වන්න යැයි facebook වෙත කියා සිටින්නේ එය ඇත්තෙන්ම “මගේ මිතුරන්ට පමණක්“ පෙන්විය යුතු නිසයි. tag වී සිටිය අයගේ මිතුරන්ට පෙන්වීමට මට අවශ්‍ය නැති වෙන්නට පුලුවන්. මෙහිදී තත්වය නරක අතට හැරෙන්නේ tag වී සිටිය එක් අයෙකුගේ මිතුරන් අනෙකෙකු නොදන්නා අය වීමත්, මෙම මිතුරන් අතරේ පෙර කී අන්දමේ අසහනකාරයන් සිටිය හැකි වීමත් නිසා. (බොහෝ දෙනාගේ facebook හි මිතුරන්ගෙන් වැඩි හරියක් සැබෑ ජීවිතේදී කිසිසේත්ම නොදන්නා අය බව අමතක කල යුතු නැහැ)

තෙවැනි වරනය වන Custom හිදී ඔබට පෙර ගැටලුවට විසඳුමක් සොයාගත හැකියි. මෙම Custom වරණය තේරීමේදී ඔබට මෙම ඡායාරූපය පෙන්වීමට ඇවැසි පුද්ගලයන් වඩාත් විස්තරාත්මකව ලබාදිය හැකියි. මෙහි මුලින්ම ඇත්තේ Friends සහ Friends of Friends. නමුත් මෙම Friends හිදී ද කලින් සඳහන් කලාක් මෙන් tag වී ඇති මිතුරන්ගේ මිතුරන්ටද ඒවා බැලිය හැකියි.

එහි ඇති තෙවැනි වරණය වල Specific People or Lists… යන්න මා සඳහන් කල විසඳුම ලෙසින් දැක්විය හැකියි. මෙම වරණය තේරීමේදී පහතින් මතුවන තීරුවේ දී අපට මෙම ඡායාරූපය පෙන්වීමට අවශ්‍ය පුද්ගලයන් හෝ මිතුරු ලැයිස්තු (Friend List) සඳහන් කල හැකියි. මෙහිදී කිසිසේත්ම tag වී ඇති අයගේ මිතුරන්ට මෙම ඡායාරූපය දිස්වන්නේ නැහැ. (නමුත් ඔබ ඡායාරූපය ප්‍රදර්ශනය කරන මිතුරු ලයිස්තු වලින් පරිබාහිර පුද්ගලයෙක් එහි tag වී සිටිනවානම්, ඒ පුද්ගලයාට පමණක් ඒ ඡායාරූපය දිස්වනු ඇති).

කෙසේ වෙතත් මේ ආකාරයෙන් අවශ්‍ය අයට පමණක් ප්‍රදර්ශනය කිරීම පහසු කරගැනීමට නම් ඔබ ඔබේ මිතුරන් List වලට වෙන් කරගෙන තිබිය යුතුයි. මා දකින අන්දමට මෙය සෑම facebook පරිශීලකයකු විසින්ම අනිවාර්යයෙන් සිදුකලයුත්තක්. පුද්ගලිකව මා විසින් මාගේ විශ්වවිද්‍යාල බැච් සගයින්, පාසලේ පංති සගයින්, කාර්යාලීය සගයින්, ගම් පලාතේ අය, අන්තර්ජාලයෙන් අඳුනාගත් අය, ආදී වශයෙන් විවිධ මිතුරු ලැයිස්තු සාදාගෙන ඇති අතර, ඊට අමතරව මා හට පුද්ගලිකව විශ්වාස කිරීමට හැකි ‘සැබෑ මිතුරන්‘ එම විශ්වාසයේ තරම අනුව Circle 0 සිට Circle 2 දක්වා ලැයිස්තු 3කටද වෙන් කරගෙන සිටිනවා. (අලුතෙන් හඳුන්වා දී ඇති Close Friends මගින් ඔබට සමීපතම මිතුරන් වෙනම ලැයිස්තුවකට එකතු කරගත හැකියි) මේ නිසා මට යමක් Publish කිරීමේදී ඉතා ඉක්මනින් මෙය පෙන්විය යුත්තේ කාටදැයි සඳහන් කල හැකියි.

මෙසේ මිතුරන් ලයිස්තුගත කිරීම https://www.facebook.com/bookmarks/lists මගින් සිදුකරගත හැකියි. කණගාටුවකට මෙන් අලුත් සංස්කරණයේදී මෙසේ මිතුරන් ලයිස්තුගත කිරීම තරමක් අමාරු බැව් කිව යුතුයි. පෙර දී නම් ඉතා පහසුවෙන් මිතුරන් ලයිස්තු වලට ඇතුලත් කිරීමට හැකියාව තිබුනා. ඔබ තරමක් කරදර විය යුත්තේ දැනට සිටින මිතුරන් ලයිස්තුගත කිරීමේ පමණයි. එතැන් පටන් අලුතෙන් එකතු වන මිතුරන් ඒ අවස්ථාවේදීම ලයිස්තුවලට දැමිය හැකියි.

ඔබ තවමත් Timeline ලබාගෙන නැත්නම්, පහසුවෙන්ම මිතුරන් List වලට බෙදීම මෙම ලින්ක් එකෙන් ගොස් සිදුකල හැකියි. http://www.facebook.com/friends/edit/?ref=tn

මෙම ලිපිය පුරාවටම ඡායාරූප පමණක් උදාහරණයකට ගනිමින් සාකච්ඡා කලත්, මෙම සියලු කරුණු status update ආදී අනෙකුත් සියලු පෝස්ට් සඳහා අදාල වෙනවා. ඔබ facebook හි පලකරන සෑම දෙයක්ම පෙන්විය යුත්තේ කා හටදැයි නිර්ණය කිරීමය පුලුවන්. එය වඩාත් ආරක්ෂිතව කිරීම Friend List හැර වෙනත් සුදුසු විකල්පයක් නැහැ.

මෙම ලිපියෙන් දීමට අදහස් කල පණිවුඩය facebook භාවිත කරීමේදී විශේෂයෙන් ඔබේත් අන් අයගේත් පුද්ගලිකත්ව පිලිබඳ සැලකිලිමත් වී, එය ආරක්ෂා කිරීමට කටයුතු කරන්න කියල එකයි. ඔබේ වරදින් ඔබේ මිතුරන්ගේ පුද්ගලිකත්වයට හානි විය හැකියි. මේ පිලිබඳව දෙවරක් කල්පනා කර හැකි ඉක්මනින් ඔබේ දැනට සිටින මිතුරන් ලයිස්තුගත කර, “අවශ්‍ය දේ අවශ්‍ය අයට පමණක් ප්‍රදර්ශනය කරන්න“ කියන දේ සිහි තබා ගන්න කියන එකයි ලබාදෙන අවසන් පණිවුඩය.

Tagged with:  

මම gmail ලිපිනය හදාගත්තේ 2006 වසරෙදි විතර. ඒ කාලෙ gmail ගිනුමක් ලබාගන්න නං දැනට තියෙන කෙනෙක්ගෙන් invitation එකක් ඕනෙ. ඉතිං මේ විදියට ආරාධනාවක් ලැබෙන්න කලින් මම පාවිච්චි කලේ Yahoo ලිපිනයක්. gmail එක ලබාගත්තට පස්සේ යාහූ ලිපිනය භාවිතා කිරීම අඩු වෙලා ගිහින් අන්තිමේ නැත්තටම නැති වුනු ගානයි.

මේ ලඟදි මම යාහූ එකට යන්න හදනකොට පාස්වර්ඩ් එක මතක නෑ. ඉතිං මම පාස්වර්ඩ් රිසෙට් කරන්න ගියාම එතැන තියෙනවා ඔප්ෂන් දෙකක්. මගේ alternative email address එක හරහා රිසෙට් කරගැනීම සහ secret question දෙකට උත්තර දීම. ඔතනින් පළමුවෙනි ක්‍රමය මට ලේසි නිසා මම ඒ විදියෙන් ගිහින් පාස්වර්ඩ් එක රිසෙට් කරගත්තා.

මම මෙතනදි දැක්ක දෙයක් තමා මගේ alternative email address එක (gmail ඇඩ්‍රස් එක) කාටත් පෙනෙන පරිදි තිබීම. (යාහූ ප්‍රොෆයිල් එකට ගූග්ල් ලිපිනයත් සම්බන්ධ කරගැනීමේ පහසුකමක් හෙම තියෙන නිසා ඒක වෙන්න ඇති කියලා මට පස්සේ හිතුනා) මෙහෙම පෙනෙන්නට තිබීම හොඳ මදි නේද කියලත් මම කල්පනා කලා ඒ වෙලාවේ.

කොහොමහරි අද උදේ ඔෆිස් එකේ වැඩ වගයක් කරන අතරෙ මට ඔය සිද්ධිය මතක් වුනා. ඒ එක්කම නරක සිතුවිල්ලකුත් පහල උනා. ඒ තමා කාගෙහරි යාහූ එකවුන්ට් එකකට ගිහින් alternative email address එක බලාගන්න. මුලින්ම ඔලුවට ආවේ මගේ හොඳ මිතුරියකගේ ඊමේල් ලිපිනයක්. ඉතිං මම ඔන්න password reset කිරීමේ පිටුවට ගියා.

නමුත් මේකෙදි මම බලාපොරොත්තු වූ පරිදි alternative email address එක පෙනෙන්නට තිබුනේ නෑ. එය අපට ටයිප් කරන්නටයි ඉඩ ලබාදී තිබුනේ. ඊට යටින් තියෙනවානෙ secret question වලට පිලිතුරු දීමේ කොටස. ඔන්න ඕක දැක්කාම ආපහු වතාවක් නපුරු සිතුවිලි පහල වෙලා ඒ පැත්තෙ නිකමට යන්න හිතුනා :D

පලමුවෙනි ප්‍රශ්නේ තිබුනේ “ඔබේ ප්‍රියතම සුරතලාගේ නම කුමක්ද?” කියලා ප්‍රශ්නයක්. මම ඉතිං දන්න එකක්යැ ඕකට උත්තරේ. මම එවෙලේ හිතට ආපු බල්ලෙක්ගේ නමක් ගහලා ඊලඟ ප්‍රශ්නෙට ගියා. ඒ ප්‍රශ්නෙ තමා “ඔබ කැමතිම නලුවාගේ දෙවැනි නම කුමක්ද?” කියලා. මෙන්න මෙතැනදි වාසිය මගේ පැත්තට තිබුනා. මොකද මම දන්නවා මගේ මිතුරිය පිස්සුවෙන් වගේ කැමති නලුවා කවුද කියලා. ඒ නම ගහලා එන්ටර් කරපු ගමන් මට යන්න පුලුවන් උනා අලුත් පාස්වර්ඩ් ලබාදෙන පිටුවට!

ඔන්න ඔහොමයි යාහූ මේල් ලිපිනය හැක් කලේ. නමුත් මේ වෙලාවෙම ඒ මිතුරියට කෝල් එකක් අරගෙන මම මෙහෙම වැඩක් කරපු බවත්, මම මේල් නොකියවූ බවත් කියලා, ඊමේල් ගිනුමේ ආරක්ෂාව ගැන මීට වඩා සැලකිලිමත් විය යුතු බවත් පවසන්න මම අමතක කලේ නෑ. හොඳ වෙලාවට මේ ඊමේල් ගිනුම මගේ මිතුරිය අවුරුද්දකට පමණ කලින් භාවිතය අතහැර දැමූවක් කියා ඇය කීවා. කෙසේ වෙතත් අර පළමු ප්‍රශ්නයට ලබාදුන් පිලිතුර හරිද වැරදිද කියන්න ඇයටත් මතකයක් නැහැ. මගේ අනුමානය එහිදී වාසනාවකට හරිගිහින් ඇති බව පෙනුනා. දෙවැනි ප්‍රශ්නයට මම දීපු පිලිතුර නිවැරදියි.

හොඳයි. දැන් මෙතැන ප්‍රශ්නය, ඔබේ “රහස් ප්‍රශ්න” කෙතරම් දුරට රහස්‍ය ද කියන එක.

සාමාන්‍යයෙන් ඊමේල් සේවා වලින් මෙවැනි common secret questions කීපයක් ලබාදෙන අතර, අපිට ප්‍රශ්න නිර්මාණය කිරීමටද ඉඩ ලබා දෙනවා. මෙතැනදී සැලකිලිමත් විය යුතු කරුණ වන්නේ කිසිවිටෙක ඔවුන් ලබාදෙන රහස් ප්‍රශ්න භාවිතා නොකල යුතු බවයි. මොකද ඔබ ගැන හොඳින් දන්න මිතුරෙකුට, නෑදෑයෙකුට ඒ ප්‍රශ්න වලට උත්තර දීමට දැනුම තිබිය හැකියි, මේ සිද්ධියේදී සිදුවුනා මෙන්. වඩාත් ආරක්ෂාකාරී වන්නේ ඔබ පමණක් දන්නා දෙයක් පිලිතුර වන පරිදි ප්‍රශ්නයක් නිර්මාණය කිරීමයි.

ගිනුම් ආරක්ෂාව අතින් Gmail මීට ඉදිරියෙන් සිටින බව කිවයුතුයි. Gmail හි ජංගම දුරකථනය හරහා password reset කිරීමේ පහසුකම ඇතුලත් වන අතරම, secret question එකට (එහි ඇත්තේ එකක් පමණයි) පිලිතුරු දුන් පමණින්ම මුරපදය රිසෙට් කිරීමට ඉඩ ලබාදෙන්නේ නැහැ.

කලේ නරක වැඩක් උනත්, එයින් අනිත් අයට පණිවුඩයක් දෙන්න යමක් ලැබීම පිලිබඳව සතුටු වෙන්න පුලුවන්. අවසන් වශයෙන් නැවත කියන්න තියෙන්නේ, ඔබේ ඊමේල් ලිපින රිසෙට් කිරීම සඳහා ලබාදී ඇති secret questions දෙස නැවත වතාවක් බලන ලෙසත්, ඔබ පමණක් දන්නා දෙයක් ඒ සඳහා යොදාගන්නා ලෙසත් තමයි. මෙය සුලුකොට තැකිය හැකි දෙයක් නෙමෙයි. ඔබේ පුද්ගලික ඊමේල් ගිණුමක් වෙනත් අයෙක් අතට යාම ඉතා බරපතල ප්‍රශ්න ඇති කරන්න පුලුවන් බවත් මතක තබාගන්න.

Tagged with:  

පසුගිය දින කීපයක සිට social media අඩවි වල පුවතක් ආකාරයෙන් පලවී තිබුනු ලෙසම ඊයේ රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි Facebook හි නව privacy සැකසුම් කරලියට පැමිණ තිබෙනවා. මෙවැනි නව සැකසුම් පිටුවක් ඉදිරිපත් කිරීමට හේතුව වූයේ කලින් තිබූ සැකසුම් ක්‍රමය සංකීර්ණ වැඩි බවට පරිශීලකයන් විසින් ඉදිරිපත් කල චෝදනා නිසයි. Facebook අධිකාරිය තම පෞද්ගලිකත්වය පිලිබඳ කිසිදු තැකීමක් සිදු නොකරන බව කියමින් ඊට විරුද්ධ වීමට facebook හි සාමාජිකත්වයෙන් ඉවත්වීමේ ප්‍රවණතාවක් පවා පසුගිය දිනවල පැවැත්වුනා.

කෙසේ වෙතත් සාමාන්‍යෙයන් facebook හි අලුත් දෙයක් හඳුන්වා දෙන ආකාරයටම මෙම නව privacy සැකසුම් activate කරනු ලබන්නේ සියල්ලන්ටම එකවර නොවෙයි. ක්‍රම ක්‍රමයෙන් ඔබේ account එකටද මෙම අලුත් privacy සැකසුම් ලැබෙනු ඇති. අලුත් සැකසුම් ඔබට ලැබුනු විට ඔබේ Home පිටුවේ ඒ බව දැක්වෙන පණිවුඩයක් සටහන් වෙන අතර Account > Privacy Settings වෙත යාමෙන් එම පිටුවට පිවිසිය හැකියි.

Continue reading »

Tagged with:  

මම වෙන වැඩක් නැති වෙලාවට හිතෙන හිතෙන google search කරලා බලනවා. මේ ලඟදි මම ආපහුපාරක්  “indranama” කියලා සර්ච් එකක් දාලා බලනකොට දෙවැනි හෝ තුන්වැනි පිටුවේ තිබිලා හම්බුනා සයිට් එකක්.

twit

ඒකෙ නම Tweeple of India (tweeple.in), ඉන්දියානු අඩවියක්.

Continue reading »

Tagged with: