ඩිජිටල් කැමරා අද කොයි තරම් ජන සමාජය සමග බද්ධ වෙලාද කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ නේ. අද එන සෑම ජංගම දුරකථනයක් එක්කම පාහේ කැමරාවකුත් එනවා නේ. ඒ නිසා ඡායාරූප ගැනීම ලොකු පොඩි හැමෝගෙම විනෝදාංශයක් වෙලා. ඩිජිටල් කැමරාවක්, එහෙමත් නැත්තං ඡායාරූප ගන්නත් එක්ක ජංගම දුරකථනයක් මිලට ගන්න හදන අයට වැලඳෙන රෝගයක් තියෙනවා. ඒ තමයි මෙගාපික්සල සින්ඩ්‍රෝමය ! ඒ කිව්වේ හැමෝම බලන්නේ තමන්ට හැකි උපරිම මුදල යට කරලා වැඩිම මෙගාපික්සල් ගාණක් ඇති කැමරාවක්, එහෙමත් නැත්තං ජංගම දුරකථනයක් ගන්න. එහෙමත් නැත්තං ලොකු මුදලක් යට කරලා DSLR එක්ක ගන්න. ඒත් ඇත්තටම හොඳ ඡායාරූප ටිකක් ගන්න ලොකු මෙගාපික්සල් ගණනක් අවශ්‍යද? නැත්තං මිල අධික කැමරාවක් අවශ්‍යද?

Continue reading »

Tagged with:  

Free Hosting, Photoblog හා PixelPost

On 2009 සැප්තැම්බර් 21, in බ්ලොග්කරණය, මගේ වැඩ, මට වෙච්ච දේවල්, by ප්‍රවීන් ඉන්ද්‍රනාම

logo

මම photoblog එකක් පටං ගත්තෙ මාස දෙකකට විතර කලින්. ඒක පටන් ගන්න හිතුනෙ මලින්තගේ පොටෝබ්ලොග් එක දැකල. ඉතින් මම හිතුවා මගේ පැත්තකට දාලා තියෙන .info ඩොමේන් එකෙන් වැඩක් ගන්න, ඒකෙන් පොටෝබ්ලොග් එකක් දාන්න. දැං කැමරාෆෝන් එකකුත් තියෙන නිසා හොඳ ෆොටෝ ටිකක් ගන්න පුලුවන් වෙයි කියලා හිතුනා.

Continue reading »

Tagged with:  

Analog හා Digital කැමරා සංසන්දනය

On 2009 ජූලි 21, in ඡායාරූපකරණය, තාක්ෂණික, by ප්‍රවීන් ඉන්ද්‍රනාම

ඊයේ ලියපු කැමරා ගැන ලිපියට ලැබුනු ප්‍රතිචාරයක් තමා ඇනලොග් හා ඩිජිටල් කැමරා ගැන සංසන්දනයක් ලියන්න කියලා. ඉතින් ඔන්න අතගැහුවා ඒ වැඩේට. මුලින්ම කියන්න ඕනේ මම මෙහි ඇනලොග් කැමරා යනුවෙන් අදහස් කරන්නේ සාමාන්‍ය fixed focus කැමරා නොව Single Lense Reflex (SLR) වර්ගයේ ඒවා බව. ඒ වගේම ඩිජිටල් කැමරා යනුවෙන් අදහස් කරන්නේ Digital SLR නොවෙයි, සාමාන්‍ය ඩිජිටල් කැමරා. මේ දෙකේ වෙනස ගැන දැනගන්න, මගේ කලින් ලිපිය බලන්න.

මුලින්ම කතා කරමු Analog Camera ගැන.

ඇනලොග් කැමරාවේ ප්‍රධානතම වාසිය තමා අති පැහැදිලි ඡායාරූප ගැනීමේ හැකියාව. රසායනික ප්‍රතික්‍රියාවක් මගින් සිදුවන මෙම ප්‍රතිබිම්බ සටහන් කර ගැනීමේ ක්‍රමය මගින් ඉතා තියුණු ඉමේජ සටහන් කරගත හැකි වනවා. මෙය වඩාත්ම බලපානුයේ ඡායාරූපයක් විශාලනය (enlarge) කිරීමේදී. 12 Mega Pixel කැමරාවකින් ගත් ඡායාරූපයක් උනත් උපරිම විශාලන හැකියාවේ සීමාවක් තියෙනවා. එපමනක් නොව විශාල ඩිජිටල් ඉමේජ වල තිත් තිත් ස්වභාවය (noise/grain) ඔබ නිරීක්ෂණය කර ඇති. විශාලනයේදී මෙය තවත් දෝෂ සහිත ලෙස වැඩි වනවා. මෙම ඩිජිටල් ඉමේජ වලට වඩා ඉහල තත්වයකින් (image quality) යුතුව දල සේයාපටලයකින් ඡායාරූපයක් විශාලනය කරන්නට පුලුවන්. වඩාත් ඉහල ISO/Din අගයක් ඇති සේයාපටල භාවිතා කිරීමෙන් වඩාත් ඉහල තත්ත්වයක් ඇති ඡායාරූප ලබාගන්නට පුලුවන්. 36×24 mm ප්‍රමාණයේ කුඩා නෙගටිව් ඉමේජයක් එතරම් විශාල කරන්නට පුලුවන් වීම සැබැවින්ම පුදුමයක් නේද?

ISO අගය යනු දලසේයාපටලයක් ආලෝකයට දක්වන සංවේදීතාවය පිලිබඳව අන්තර්ජාතික සම්මත මිනුමක්. කෙසේ වෙතත් ජර්මානු නිෂ්පාදකයන් ඔවුන්ගේම මිනුමකුත් මේ සඳහා භාවිතා කරනවා. එය තමා Din (Deutsches Institut für Normung) කියන්නේ. දලසේයාපට ගැන කතා කලොත් සාමාන්‍යයෙන් අප වැඩි වශයෙන් භාවිතා කරන්නේ ISO/Din 100/21° වර්ගයේ දලසේයාපට. දැකලා ඇති Kodak GOLD 100 නැත්තම් Fujicolor Superia 100 වගේ වෙලඳනාම. films

මෙන්න මේ ISO අගය ඉහල යන තරමට ඉමේජයේ තියුනු බව වැඩිවෙනවා.

වේගවත් අවස්ථා (Fast Motion) ඡායාරූපකරණයට ඇනලොග් කැමරා ලොකු පිටිවහලක්. වේග චලන නිවැරදිව capture කල හැකි ඩිජිටල් කැමරා අධික මිලෙන් යුක්ත උනත් සාමාන්‍ය fixed focus කැමරාවකින් වුවත් අධිවේග චලනයක් නිවැරදිව capture කරගන්න පුලුවන්.

ඊලඟ දේ තාක්ෂණික වාසියක් නෙමෙයි. ඒ නිසා සමහරු මේක වාසියක් කියලා ගණන් නොගන්නත් පුලුවන්. මම දකින් විදියට ඇනලොග් කැමරා මගින් ඡායාරූප ගැනීමට හුරු වීමේදී ඡායාරූපකරණය පිලිබඳව හොඳ අත්දැකීම් එකතු වෙනවා විතරක් නෙමෙයි වඩා හොඳ අවබෝධයක් පවා ලැබෙනවා. වෘත්තීය ඡායාරූප ශිල්පීන් තවමත් ඇනලොග් SLR වලට ආදරය කරන්නට හේතුව එය වෙන්නට ඇති නේද? “Digital cams are for kids. for big stuff, SLR is the best” වගේ ප්‍රකාශ මම ගොඩක් ඡායාරූප ශිල්පීන්ගේ ෆෝරම වල දැක තියෙනවා. මේකෙ ඇත්තක් තියෙන්න පුලුවන්. ඩිජිටල් කැමරා පාවිච්චි කරන විට අපි ආලෝක තත්වය, නාභිගත වීම ආදී කිසි දෙයක් බලන්නෙ නෑ නේද? තිරයේ පේන ඉමේජය capture කර ගැනීමට බොත්තම ඔබන්න විතරයි තියෙන්නේ. නමුත් ඇනලොග් කැමරාවක් භාවිතා කිරීමේදී ඒ සියලු දේ සැලකිල්ලට ගන්නට වෙන නිසා හොඳ අවබෝධයක් ලැබෙනවා. ඇතැම් විට මෙය වැදගත් වෙන්නේ සාමාන්‍ය එදිනෙදා ෆොටෝ එකක් ගන්න කෙනෙකුට නෙමෙයි වෙන්නැති, වෘත්තීය ශිල්පියෙකුට වෙන්නැති.

ඒ වගේම තවත් කරුණක් තමා ඇනලොග් කැමරාවෙන් එකවරකදී ගන්න පුලුවන් ඡායාරූප සංඛ්‍යාව සීමාසහිත නිසා හොඳ ඡායාරූප ගැනීමට පෙලඹෙනවා, ඒ වගේම ඒවා මුද්‍රණය කරගන්නවා. ඩිජිටල් කැමරාවෙන් අපි ඇතිතරම් ඡායාරූප ගන්නවා, ඒත් මුද්‍රණය කරන්නෙ කලාතුරකින්. ඩිජිටල් කැමරාවෙන් වෙච්ච එක වින්නැහියක් විදියට මම දකින්නේ අපේ මිනිස්සු ලස්සන දර්ශනයක් දැක්කාම ඒක ඇහින් දැකලා රසවිඳිනවා වෙනුවට කැමරා මානලා පුලුවන් තරම් ෆොටෝ ගහන්න යනවා.

ඇනලොග් SLR වල අවාසි ගැන කතා කරමු. ප්‍රධාන අවාසිය තමා cost එක වැඩි වීම. දලසේයාපටලය මිලදී ගන්න, එය develop කරන්න මුදලක් වැයවෙනවා. SLR කැමරාවක මිල උනත් සාමාන්‍ය ඩිජිටල් කැමරාවකට වඩා වැඩියි. දෙවැනි අවාසිය තමා තරමක දැනුමක් අවශ්‍ය වීම. නාභිගත කරන්න, ආලෝකය පාලනය කරන්න පොඩි දැනුමක් අවශ්‍ය වෙනවා. හැබැයි මෙය ක්ලාස් ගිහින් ගන්න ඕන දැනුමක් නෙමේ. පලපුරුද්දෙන් ලබාගත හැකියි.

ඊලඟට ඩිජිටල් කැමරා ගැන.

ඩිජිටල් කැමරාවේ ප්‍රධාන වාසිය අඩු වියදම. (කලින් මේ ගැන කතා කලා). ඒ වගේම භාවිතයේ පහසුවත් තවත් වාසියක්. තැන තැන ගෙනයාමේ පහසුව, බර අඩුවීම, ආදිය SLR වලට සාපේක්ෂව මෙහි අනෙකුත් වාසි වෙනවා. වැදගත්ම දේ තමා ගන්නා ඡායාරූපයේ පෙර දැක්මක් කුඩා තිරයක දිස්වීම. එමගින් ඡායාරූපයේ බොහෝ දෝෂ මගහරවා ගත හැකියි.

අද අන්තර්ජාලය කියන්නේ ප්‍රධානපෙලේ මාධ්‍යයක් නිසා අන්තර්ජාලයේ ඡායාරූප පලකිරීමට ඩිජිටල් කැමරා විශාල දායකත්වයක් ලබා දෙන බව අමතක කල යුතු නැහැ.

ඩිජිටල් කැමරා වල අවාසි මම වැඩිහරියක් ඇනලොග් කැමරාවලට සාපේක්ෂව මේ වන විටත් කියලා තියෙනවා. ඒනිසා ඒවා නැවතකියවීම අවශ්‍ය වෙන්නේ නැහැ.

මගේ මතය නම්,

  • ඔබ කැමරාවක් භාවිතා කරන්නේ සාමාන්‍ය කටයුතු, එනම් දකින, නැරඹූ දෙයක් මතක සටහනක් ලෙස තබා ගැනීමට නම්, ඔබට වඩාත් සුදුසු වන්නේ ඩිජිටල් කැමරාවක්.
  • ඔබ වෘත්තීය ඡායාරූප ශිල්පියෙක්, කලාත්මක ඡායාරූප ශිල්පියෙක් වෙන්න අපේක්ෂා කරනවනම් හොඳම දේ මුලින් Analog SLR එකක් පාවිච්චි කරන එක. හොඳින් පුරුදු වූ පසු උසස් තත්වයේ Digital SLR එකක් පාවිච්චි කරන්න.

මම Analog SLR වලින් පටන් ගත්ත කෙනෙක් නිසා මම තවමත් ඒවාට ආදරෙයි. ඒ කැමරාවක් අතට අරගෙන ඊට ෆිල්ම් රෝලය පටවලා, ෆෝකස් කරලා, shutter speed හදලා, aperture එක හදලා ෆොටෝ එකක් ගන්නකොට දැනෙන හැඟීම ඩිජිටල් කැමරාවකින් මට දැනෙන්නෙ නෑ. මම හිතන්නෙ ගොඩක් වෘත්තීය ඡායාරූප ශිල්පීන් හා කලාත්මක ඡායාරූප ශිල්පීන් තවමත් SLR පාවිච්චි කරන්න හේතුව ඔය කී කාරණය හා image quality එක වෙන්න ඇති. ඒ වගේම අඳුර හා ආලෝකය සමග සෙල්ලම් කරලා ඡායාරූප ගන්න ඩිජිටල් කැමරා වලට බැහැ. ඒ සඳහා ඇනලොග් එකක් ඕනෙමයි.

SLR වලට තවමත් ඇති හොඳ ඉල්ලුම නිසා තමයි සුප්‍රසිද්ධ කැමරා සමාගම් අද ඩිජිටල් SLR (DSLR) නිපදවන්නේ. ඒවායේ ඇනලොග් SLR එකක් තියෙන සියලු පහසුකම් තිබෙන අතර ඡායාරූපයේ පෙර දැකුමක් දැකගන්නට තිරයක් තිබෙනවා. මේවායේ ඡායාරූපය සටහන් වන්නෙත් සේයාපටලයක නොව පුංචි මෙමරි කාඩ් එකකයි. ඒ නිසා අර ඡායාරූපයේ තත්වය පිලිබඳ ප්‍රශ්ණය නම් මදක් ඉතිරි වී තිබෙනවා. නමුත් එක ඉක්මනටම දියුණු වේවි.

Analog නිෂ්පාදනය මදක් අඩුවී තිබුණත් තවමත් සම්පූර්ණයෙන් නැවතී නැහැ. Hasselblad, Nikon, Canon වැනි සමාගම් තවමත් ඒවා නිපදවනවා. මගේ ආදරණීය Yashica සමාගම පසුකලෙක Kyocera සමාගම මගින් මිලදී ගත්තා. එකල හොඳ SLR නිපදවූ Olympus සමාගම නම් දැන් නිපදවන්නේ ඩිජිටල් කැමරා පමණක් බවයි අසන්නට ලැබුනේ.

Deutsches Institut für Normung

Tagged with: