Oracle මේ සැරසෙන්නේ කුමකටද?

On 2010 අගෝස්තු 15, in අන්තර්ජාලය, කාලීන, by ප්‍රවීන් ඉන්ද්‍රනාම

ගෙවීගිය සතියේ පරිගණක ක්ෂෙත්‍රෙයේ වැඩියෙන්ම කතාබහට ලක්වූ පුවතක් වේ නම් ඒ Oracle සමාගම විසින් Google සමාගමට එරෙහිව නඩුමගට බසින්නට සැරසෙන්නේය යන පුවත ගැන විය හැකිය. මෙම නීතිමය අර්බුදයට පාදක වී ඇත්තේ ගූග්ල් තම ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතිය වන Android නිපදවීමෙහිදී ඔරකල් සමාගමට අයත් Java ක්‍රමලේඛණ භාෂාවේ ඇතැම් කොටස් බුද්ධිමය දේපල අයිතිය දැන දැනම උල්ලංඝණය කරමින් භාවිත කර ඇති බවට ඔරකල් චෝදනා කිරීමයි.

“In developing Android, Google knowingly, directly and repeatedly infringed Oracle’s Java-related intellectual property. This lawsuit seeks appropriate remedies for their infringement,”

- Oracle ප්‍රකාශක කැරන් ටිල්මන්

1995 දී ජේම්ස් ගොස්ලිං විසින් ජාවා නිපදවනු ලැබුවේ Sun Microsystem සමාගම සඳහාය. නමුත් Java සම්පූරිණයෙන් Sun හි දේපොලක් වූයේ නැත. ජාවා යනු විවෘත සම්මතයකි (open standard). එහි බොහෝ කේත විවෘත (open source) වේ. විවිධ සමාගම් එම සම්මතය අනුව විවිධ වෙනස්කම් සහිත ජාවා පද්ධති නිපදවා ඇත. Sun සමාගම නිපදවූ ජාවා පද්ධතිය (Sun Java, Sun JDK) මින් වැඩිම ප්‍රසිද්ධියක් උසුලන අතර එහි ඇතැම් කොටස් විවෘත කේත නොවන අතර Sun සමාගම සතු වේ. නමුත් Sun හි ජාවා පද්ධතිය භාවිතා කිරීම සඳහා මුදලක් ගෙවිය යුතු නැති අතර Sun හි බලපත්‍ර ගිවිසුමට එකඟවීම ප්‍රමාණවත්ය. (සම්පූර්ණයෙන් විවෘත කේත ජාවා පද්ධතියක් OpenJDK නමින් බොහෝ ලිනක්ස් පද්ධති සමග මුදාහැරේ)

2009 අගෝස්තු 20 වෙනි දින සිට Oracle සමාගම විසින් Sun සමාගම මිලයට ගත් බැවින් ජාවා හි Sun සතුව තිබූ අයිතීන් දැන් ඔරකල් සතු වේ. ගූග්ල් සමාගම මෙම සන්/ඔරකල් ජාවා සම්මතයන් කීපයක් භාවිත කර ඇත්තේ සිය ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතිය වන ඇන්ඩ්‍රොයිඩ් නිර්මාණය කිරීමෙහිදීය. ඔරකල් චෝදනා කරන අන්තමට මෙහි පේටන්ට් ගිවිසුම් උල්ලංඝණය කිරීමක් හා බුද්ධිමය දේපොල මංකොල්ලයක් සිදුව තිබේ.

මෙම සිදුවීමේ විවිධ පැති කීපයක් ගැන ක්ෂෙත්‍රෙය් කතාබහට ලක්වේ,

  • ජාවා භාවිතා කිරීම වෙනුවෙන් මුදල් ඉල්ලීමට ඔරකල්ට කිසිදු අයිතියක් නැති බවත් ජාවා විවෘත සම්මතයක් බවත් වැඩි දෙනෙකුගේ මතය වී ඇති බව පෙනේ.
  • මෙහිදී මතක තබාගත යුතු වැදගත්ම කරුණ වන්නේ ඔරකල් කියන ආකාරයට ජාවා හි කේත කොටස් පාවිච්චි කරමින් ගූග්ල් නිර්මාණය කරන ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සම්පුර්ණයෙන්ම නොමිලේ (හා විවෘත කේත) ලෙස මුදාහරින්නක් වීමත්, ගූග්ල් ඉන් ලාභයක් නොලබන බවත් ය. එබඳු මුලු ලෝකයටම ප්‍රයෝජනවත් ව්‍යාපෘතියකට අකුල් හෙලීමෙන් ඔරකල් සිය අශිෂ්ඨත්වය ප්‍රදර්ශණය කරතැයි බොහෝ දෙනා අදහස් දක්වා ඇත.
  • නඩුමගට බැසීමේදී ඔරකල් ඉදිරිපත් කර ඇති කොන්දේසි තරමක් ඕනෑවට-වැඩි ස්වරූපයක් දක්වයි. මුදල්මය වන්දියකට අමතරව එසේ ජාවා කේත කොටස් භාවිතා කර සිදුකරන ලද නිර්මාණ විනාශ කල යුතු බවද ඔවුන් පවසා ඇත. එයින් ඔවුන් බලාපොරොත්තු වන්නේ ඇන්ඩ්‍රොයිඩ් ව්‍යාපෘතිය අඩාල කිරීමටදැයි සැක මතුවේ.
  • ඇන්ඩ්‍රොයිඩ් ව්‍යාපෘතිය අද ඊයේ පටන් ගත් එකක් නොවේ. එය අනවසරයෙන් තම බුද්ධිමය දේපල භාවිත කලේ නම් ඊට විරුද්ධව නැගී සිටීමට ඔරකල් මෙතරම් ප්‍රමාද වූයේ, ඇන්ඩ්‍රොයිඩ් මෙතරම් දියුණු වන තුරුම බලා සිටියේ, මන්ද යන්න පිලිබඳව බොහෝ දෙනා සැක පලකරති. එයද ඇන්ඩ්‍රොයිඩ් පද්ධතියට එරෙහි මාෆියාවක්ද?
  • ගූග්ල් යනු “සෙල්ලං සමාගමක්“ නොවේ. මෙබඳු බුද්ධිමය දේපල උල්ලංඝණය කිරීමක් ඔවුන් සිදුකරනු ඇතැයි සිතීම උගහටය. සාමාන්‍යයෙන් එබඳු සමාගමක් ව්‍යාපෘති ආරම්භ කිරීමේදී එහි නීතිමය පසුබිම හොඳින් අධ්‍යයනය කරනු ලබයි.

කෙසේ වෙතත් මේ සිදුවීම හරහා ඔරකල් සමාගම නටන්න යන පදය හොඳ නැතැයි අනුමාන කල හැකිය. සන් සමාගම මිලදී ගැනීමෙන් ඔරකල් ලද විශාලම ලාභය MySQL ඩේටාබේස් පද්ධතිය තමන් සතුකර ගැනීම යැයි කියනු ලැබේ. MySQL යනු ක්ෂෙත්‍රෙය්දී ඔරකල් හි ඩේටාබේස් පද්ධතියට සිටින ප්‍රබලම ප්‍රතිවාදියාය. ප්‍රතිවාදියා තමන්සතු කර ගැනීම කෙතරම් වැඩදායකද! අනාගතයේදී ඔරකල් විසින් MySQL හි බලතල අඩුකොට එමගින් ඒ වෙනුවට ඔරකල් පද්ධතිය භාවිත කිරීමට මිනිසුන් පොලඹවනු ඇතැයි සැක කල හැකිය. එවැන්නක් නොවිය හැක්කේ නොවේ.

අනෙක් අතට මෙම නඩුවෙන් ඔරකල්ට ජය හිමිවුවහොත් එය ජාවා පාදක කරගත් මෘදුකාංග නිර්මාණයට බලවත් පහරක් වනු ඇත. දැනට ජාවා මෘදුකාංග නිර්මාණය සඳහා Sun JDK භාවිත කරනුයේ ගෙවීමකින් තොරවය. එසේ මුදල් ගෙවන ලෙස සන් සමාගම ඉල්ලා සිටියේද නැත. මෙයින් පසු ජාවා සඳහා ගෙවීමක් කරන්නට සිදුවුවහොත් ජාවා භාවිතයෙන් මෘදුකාංග නිපදවීම ද මයික්‍රොෙසාෆ්ට් හි .NET මගින් නිපදවන්නාක් මෙන් වියදම් අධික විය හැකිය. ඇතැම්විට ඔරකල් මේ සැරසෙනුයේ සිය ජාවා පද්ධතිය මුදලට විකිණිම ආරම්භ කිරීමේ ක්‍රියාවලියකට විය හැකිය.

ගූග්ල් යනු අන්තර්ජාලයේත්, පරිගණක ක්ෂෙත්‍රෙය්ත් දියුණුව උදෙසා අලුත් දේ කල, නොමිලයේ සේවාවන් රැසක් ලබාදෙන සමාගමක් වීමත්, ඔරකල් යනු තඹ සතයක දෙයක් නිකං නොදෙන, සම්පූර්ණයෙන්ම පාහේ ලාභය ඉපැයීම කේන්ද්‍ර කරගත් සමාගමක් වීමත් මත ක්ෂෙත්‍රෙය් වැඩි දෙනෙකුගේ සහාය ගූග්ල් වෙත හිමිවී ඇති බව දැකිය හැකිය. නමුත් අවසන් තීන්දුව දෙනු ඇත්තේ අධීකරණයයි. මේ වන විටත් සිද්ධිය සම්බන්ධයෙන් ගූග්ල් විසින් කිසිදු ප්‍රකාශයක් සිදුකර නැති බවද සඳහන් කල යුතුය.

Tagged with: