මගේ පරිගණකයට මැන්ඩ්‍රිවා ස්ථාපනය කළාමයි මට මේ වෙබ් අඩවිය මුනගැහුනේ. ජැමෙන්ඩෝ කියන්නේ අලුත් කලාකරුවන්ගේ සංගීත ඇල්බම නොමිලේ බාගත කර ගැනීමට ඉඩ සලසන තැනක්. වෙනත් අඩවි වගේ සිංදු වලින් කෑලි හෝ කොලිටි අඩු ඒවා නෙමෙයි. සම්පූර්ණ ගීත, උසස් තත්ත්වයෙන් යුත් mp3 හෝ ogg ලෙස.
අලුත් කලාකරුවන්ගේ උසස් නිර්මාණ මෙහි තියෙනවා. බාගත කරගෙන රසවිඳින්න. ඔබටත් හැකිවේවි ඒ අලුත් අයට අත දෙන්න.
ඔබ කෙදිනක හෝ ඔරිජිනල් මෘදුකාංගයක් වෙළඳසැලකින් මිලදීගෙන තියෙනවාද? හොඳයි, මම නම් නැහැ. මම මගේ පරිගණකයේ පාවිච්චි කරන්නේ තනිකරම හොර මෘදුකාංග පිටපත්. මුලු ශ්‍රී ලංකාවෙම පාහේ තත්ත්වය මේකයි. රුපියල් දහස් ගණනක් ගණනක් දීලා මෘදුකාංග මිලදීගැනීම අපිට නුහුරු දෙයක්. මේ ක්‍රමය හරි කියලා මම කියන්නෙ නෑ. බුද්ධිමය දේපළ නීතියට අනුව අපි කරන්නේ වැරද්දක් තමයි. ඒත් පොලිසිය යොදවලා වෙළදපොලින් හොර පිටපත් ඉවත් කිරීමෙන් විතරක් මේ වැරැද්ද හදන්න පුලුවන්ද?
අපි කතා කරමු ඒ ගැන. . .
සෑහෙන්න කාලයක් තිස්සේ ලංකාවෙ අපි පාවිච්චි කලේ හොර මෘදුකාංග පිටපත්. නමුත් මෑතක සිට ප්‍රධාන පෙලේ මෘදුකාංග සමාගම් කීපයක (මයික්‍රොසොෆ්ට්, ඔටෝඩෙස්ක්, කැස්පර්ස්කි ලැබ්, . .) ඉල්ලීම මත රජය විසින් එම හොර පිටපත් වෙළදපොලින් ඉවත් කිරීමට පියවර ගත්තා වගේම ඒ සම්බන්ධ නීතිරීති ද දැඩි කෙරුනා. දැන් වෙළදපොලේ වින්ඩෝස් හොර පිටපතක් හොයාගැනීමටත් නැතිතරම්. ඒත් අපේ කට්ටිය දැන් හොර වින්ඩෝස් පාවිච්චි කිරීම නවත්තලද? ඔරිජිනල් කොපි අරගෙනද? නෑ මහත්වරුනි, නෑ. . .
ශ්‍රී ලංකාවෙ ආර්ථික තත්ත්වය ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑ. එදාවේල පිරිමහගන්නවත් මදි ලැබෙන පඩිය. ඒත් අත්‍යාවශ්‍ය භාණ්ඩයක් විදියට ගොඩක් නිවෙස් වල පරිගණකයක් තියෙනවා. මිනිස්සු ණය වෙලා හරි පරිගණකයක් ගන්න බලන්නෙ ඒක ඇතතටම අත්‍යාවශ්‍ය දෙයක් නිසයි. ඉතින් එච්චර අමාරුවෙන් ගත්ත පරිගණකයට තව දහස් ගණනක් දීලා මෘදුකාංග ගන්නෙ කොහොමද? ඒ නිසා අපි මෘදුකාංග හොරු කියල නම් කරනවට වඩා මෘදුකාංග අසරණයන් කියල නම් කරන්න මම කැමතියි.
මේ ප්‍රශ්නය නිරාකරණය කරන්න නම් කරන්න තියෙන්නෙ එම මෘදුකාංග වල අඩු මිල සංස්කරණයක් ශ්‍රී ලංකාවට ලබාදෙන ලෙස අදාල සමාගම් වලින් ඉලලීමක් කිරීමයි. ඒත් ඒක වින්ඩෝස් හි අඩු මිල සංස්කරණය (Windows Starter Edition) වගේ පහසුකම් කපා හැරපු එකක් නොවෙන්න ඕන. සාර්ථක උදාහරණයක් තමයි කැස්පර්ස්කි ප්‍රති-වෛරස මෘදුකාංගය. අමෙරිකාවේදී $80ක් (රු. 9000/=) පමණ වන එහි ශ්‍රී ලාංකික සංස්කරණය රු. 1790/= කට මිලදීගත හැකියි. එහෙත් එහි කිසිදු පහසුකමක් ඉවත්කර නැහැ.
නිදහස් මෘදුකාංග (Free & Open Source Software) භාවිතය මේකට පිළියමක් කියල කිව්වත් ඒක සම්පූර්ණ විසඳුමක නෙමෙයි. ඔබට පුලුවන්ද සම්පුර්ණයෙන් වින්ඩෝස් භාවිතා කිරීම නවත්තලා ලිනක්ස් භාවිතා කරන්න?
2009 වසර තොරතුරු තාක්ෂණ වසර ලෙස නම් කරඇති මේ අවස්ථාවේ මේ ගැන බලධාරීන්ගේ අවධානය යොමු වුනොත් හොඳයි. ලාංකිකයන් හොරුන් ලෙස හංවඩු ගැහෙනවාට අපි කැමති නැහැ. පරිගණක මෘදුකාංග සඳහාත් ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි.


සැලකිය යුතුයි
