ෆේස්බුක් හි ඡායාරූප මගින් පුද්ගලිකත්වයට හානිවිය හැකි ආකාරයන් ගැනත් ඒ සම්බන්ධයෙන් ආරක්ෂක පියවරක් ලෙස Friend List සාදාගැනීම ගැන පසුගිය ලිපියකින් මා කතා කලා. මේ ලිපිය කියවීමට පෙර එම ලිපිය කියවීම වඩාත් ප්‍රයෝජනවත් වනු ඇතැයි සිතනවා.
ෆේස්බුක් හි ඡායාරූප ගැන කතා කලොත්, අලුත් ෆේස්බුක් සංස්කරනයේදී (පෙරනිමියෙන් එන සැකසුම් අනුව) ඡායාරූප ටැග් වී ඇති අයගේ මිතුරන්ටත් දිස් වන බව ඔබ දන්නවා ඇති. Friend List වලට බෙදා ඡායාරූපය ප්‍රදර්ශනය කිරීමෙන් මෙම ගැටලුව මගහැරෙන බවත් අපි සාකච්ඡා කලා. පසුගිය ලිපියේදී කතා කලේ මෙසේ ඡායාරූප අප්ලෝඩ් කරන අයගේ පැත්තෙන්. එනම් තමන්ගේ ඡායාරූප වලින් එහි සිටින අයට සිදුවිය හැකි හානි අවම කරගන්නේ කොහොමද කියලා. අද කතා කරන්න යන්නේ ඡායාරූප වල ටැග් වී සිටින්නන්ගේ පැත්තෙන්, කොහොමද ඔවුන් සිය පුද්ගලිකත්වය ආරක්ෂා කරගන්නේ කියන එක ගැන. සරලව කිව්වොත් අගතියට පත්වූ පාර්ශ්වය වෙනුවෙන් තමයි අද කතා කරන්නේ :D
මෙහෙම උදාහරණයක් ගනිමු. ඔබ මිතුරන් සමූහයක් සමග විනෝද චාරිකාවක් ගියා. විනෝද චාරිකාවක් ගියා කියන්නේ ඊට පසු දිනයේ සිට ෆේස්බුක් වෙත ඡායාරූප වැසි වසිනවා කියන එකයි. ඔබේ මිතුරා පින්තූර ෆේස්බුක් වෙත එකතු කොට තියෙන්නේ Friends Only වරණය සහිතව. නමුත් ඔබ දන්නවා ඉන් ඔබ ටැග් වී ඇති පින්තූර ඔබේ මිතුරන්ටද පෙනෙන (හා කමෙන්ට් කිරීමේ හැකියාව පවතින) බව.
නමුත් ඔබේ මිතුරු ලයිස්තුවේ සිටින ඇතැම් අයට ඔබේ පින්තූර පෙන්වීමට ඔබට ඇවැසි නැති වෙන්න පුලුවන් (පුද්ගලික හේතු මත). ඔවුන්ව ෆේස්බුක් මිතුරු ලයිස්තුවෙන් ඉවත් කිරීමටත් බැහැ, නමුත් අතේ දුරින් තබාගත යුතු තත්වයක් පවතින අවස්ථා බොහෝ දෙනෙකුට තිබෙනවා. මෙවැනි අවස්ථාවක අර පින්තූර ඔවුන්ට පෙනීම වලක්වන්නේ කොහොමද කියන ප්‍රශ්නය එනවා. පින්තූර අප්ලෝඩ් කල ඔබේ මිතුරාට කිව්වොත් “කරුණාකරලා ඔයා friend list හදලා අදාල අයට පේන්න විතරක් පින්තූර දාන්න“ කියලා ඔය වැඩේ කවදාවත් කෙරෙන්නේ නැහැ. ඒ වෙනුවට තමන් ටැග් වී ඇති පින්තූර අවශ්‍ය අයට විතරක් පෙන්වන්න විදියක් නැද්ද?
ඇත්තෙන්ම පුලුවන්. විශ්වාසවන්ත අයට පමණක් තමා ටැග් වී ඇති ඡායාරූප පෙන්වීමේ හැකියාව පවතිනවා. මේ ක්‍රියාව වඩාත් පහසු කරගැනීමටත් ඒ පුද්ගලයන් List වලට දමා තිබීම වැදගත්. ලිස්ට් සාදාගැනීම හා ඊට මිතුරන් එක් කරන්නේ කෙසේද යන්න ගැන කලින් ලිපියේදී මා කතා කලා.
මෙසේ අවශ්‍ය අයට පමණක් ඡායාරූප දැක්වීම සඳහා අවශ්‍ය සැකසුම් සිදුකිරීමට ඔබ යා යුත්තේ Privacy Settings වෙත. මෙය ඔබේ ෆේස්බුක් වින්ඩෝවේ දකුණුපස ඉහල කෙළවරේ Account යටතේ (හෝ ඔබ Timeline සක්‍රීය කරගෙන ඇත්නම් දකුණු පස ඉහල කෙළවරේ Home අසලින් ඇති ඊ හිස ක්ලික් කිරීම මගින්) ලබාගත හැකියි.

මෙම පිටුවේ පහල කොටසේ How Tags Work යනුවෙන් ඇති හෙඩිම ඉදිරිපස ඇති Edit Settings ක්ලික් කරන්න.

එහිදී මතුවන සංවාද කොටුවේ ඇති Maximum Profile Visibility of posts you’re tagged in once they’re on your profile මගින් ඔබේ Timeline (Wall) එකේ ඇති ඔබ ටැග් වූ අයිතම (ඡායාරූප, ස්ටේටස් අප්ඩේට්) පෙන්විය යුත්තේ කාටදැයි යන්න සඳහන් වෙනවා. දැනට ඒ ඉදිරිපිට ඇති ලයිස්තුවේ ඇත්තේ Friends හෝ Friends of Friends වන්නට පුලුවන්.

මෙම ලයිස්තුව මත ක්ලික් කර Custom තේරීමෙන් ඔබට සුපුරුදු සංවාද කොටුවක් නැවතත් මතුවෙනවා. මින් ඔබට අවශ්‍ය Friend List කීපයකට පමණක් අදාල දේ පෙන්වන ලෙස සකස් කරන්නේ කෙසේදැයි කලින් ලිපිය කියවූ ඔබ දැනටමත් දන්නවා. (ඉන් Specific People or Lists.. තෝරා අවශ්‍ය List යෙදීමෙන්)
මේ ආකාරයෙන් සකස් කල පසු ඔබ ටැග් වූ ඡායාරූප දිස්වනුයේ ඔබ ලබාදුන් List වල සිටින අයට පමණයි. මෙහිදී මතක තබාගත යුතුයි ඔබේ Profile Pictures, Mobile Uploads වැනි ඇල්බම ඕනෑම අයෙකුට දිස්වන බව.
Profile Pictures ඇල්බමය අන් අයට පෙන්වීම අවශ්‍ය නැත්නම් එහි Privacy සැකසුම Only Me ලෙස යෙදීම කල හැකියි. එවිට ඔබේ මිතුරන්ට දිස්වන්නේ ඔබේ දැන් profile picture එක පමණයි, ඒ ඇල්බමයේ ඇති අනිත් පින්තූර පෙනෙන්නේ නැහැ. අවශ්‍ය නම් Only Me වෙනුවට කැමති මිතුරු ලයිස්තුවක් වුවත් ලබාදිය හැකියි.
මුලින්ම කියන්න ඕනේ මේ ලිපිය වැදගත් වෙන්නේ Facebook හි තමන්ගේ හා තම මිතුරු මිතුරියන්ගේ පුද්ගලිකත්වය (privacy) ගැන සැලකිලිමත් වෙන අයට පමණයි. අනිත් අයට මෙහි ගන්න යමක් නැති වේවි.
ගත වූ මාසය ඇතුලත Facebook තරමක් අලුත් වීම් වලට බඳුන් වූ බව එය භාවිතා කරන හැමදෙනාම දන්න කරුණක්. මේ අතර එහි profile පවා අලුත්වීමකට බඳුන් වන්නේ Timeline නැමති අලුත් විශේෂාංගය මගින්. තවමත් සියලු දෙනාට මුදාහැර නැති මෙම අලුත් විශේෂාංගය අවශ්‍ය නම් කුඩා hack එකක් මගින් ඔබටත් ලබාගත හැකියි.
යමෙකුට ප්‍රශ්න කරන්න පුලුවන්, “facebook එක මෙච්චර චාටර් තැනක් නම්, ඇයි ඒක පාවිච්චි කරන්නෙ ඒක විවේචනය කර කර?“ කියලා. සත්‍යය තමයි අපි කැමති උනත් තැතත් සමාජ ජාලයන් විසින් අපේ අනාගත අන්තර්ජාලය ආක්‍රමණය කර අවසන්. දිනෙන් දින අන්තර්ජාලය අපේ ජීවිත ආක්‍රමණය කරන අතරම මුලු අන්තර්ජාලයම එකට එක සම්බන්ධ වෙමින් පවතිනවා. facebook එක කැමති උනත් නැතත් එහි භාවිත කරන්නන් බහුතරයක ජීවිත වලට බද්ධ වෙලා. මෙන්න මේ තත්වය මත අපිට සිදුවෙනවා එය පාවිච්චි කරන ගමන්, ඉන් සිදුවෙන්න පුලුවන් අවැඩ ගැන දැනුවත් වෙලා ඉන් වැලකෙන්න. මේක හරියට පිහියක් වගේ. භාවිත නොකර ඉන්නත් බැහැ. ඉන් පාන් කපන්න වගේම මිනීමරන්නත් පුලුවන්. එය තීරණය වෙන්නේ භාවිත කරන කෙනා අතේ.
අනිත් අතට facebook වැනි සමාජ ජාල භාවිත කිරීමේ අවශ්‍යතානයනුත් නැතුවා නොවෙයි. මා නිතර හමුනොවෙන මිතුරන් රැසක් සමග සම්බන්ධතා පවත්වාගැනීමටත්, විවිධ මිතුරු හමු සංවිධානය කිරීමටත් සන්නිවේදන මාධ්‍යය වශයෙන් භාවිතා කරන්නේ facebook සමාජ ජාලයයි. මීට අමතරව ඇතැම් කරුණු පිලිබඳව අන් අයගේ මත විමසීමටත්, විනෝදාංශයක් ලෙසත් මට facebook වැදගත්. ඉන් මා ලබන ලොකුම ප්‍රයෝජනය නම් මා ගන්නා ඡායාරූප වලට නරඹන්නන් හා විචාරකයන් ලැබීමයි.
facebook හි පුද්ගලිකත්වය සම්බන්ධයෙන් වැදගත්ම කරුණ විදියට මම දකින්නේ ඡායාරූප. ඒ නිසා මෙම ලිපිය වැඩිමනත් සාකච්ඡා කරනුයේ ඒ ගැනයි. ඩිජිටල් ඡායාරූප කියන්නේ වරක් “ලීක්“ උනොත් ඇතුන් නෙමෙයි Transformers චිත්‍රපටියේ ඉන්න Optimus Prime ලවා වත් නැවත අද්දන්න බැරි දෙයක්. ශ්‍රී ලංකාවේදී මෙය සැලකිය යුතු කරුණක් වන්නේ රූමත් ගැහැණුළමයින්ගේ ඡායාරූප මොකක්හෝ සයිට් එකක දුටු පමණින් පරිගණකයේ සේව් කරගැනීමටත්, ඒවා ගෙඩි පිටින් elakiri.com වැනි ෆෝරම් වල පෝස්ට් කිරීමටත් පෙළඹෙන තරුණ පරම්පරාවක් මෙරට සිටීම නිසයි. වැරදීමකින් කකුල දණහිසට උඩින් පෙනෙන ලෙස ගන්නා ලද ඡායාරූපයක් ෆෝරම් එකක පල කිරීමෙන් එම කාන්තාව “බඩුවක“ තත්වයට ඇද දැමීමට මෙම පවතින පද්ධතිය සමත්. එමෙන්ම ඒවාට “මෙයාගෙ අරක බලන්න එන්න“ වැනි ටයිටල් යොදා වෙනත් අඩවි සඳහා බැනර ලෙස භාවිතා කිරීමත් සුලබව දැකිය හැකියි.
මෙවැනි තත්වයක් මත facebook වෙත ඡායාරූප ඇතුලත් කරන්නම අවශ්‍ය නම් එසේ ඇතුලත් කරන ඒවා අවශ්‍ය අයට පමණක් පෙනෙන්නට තිබීම වැදගත් කරුණක් බවට පත්වෙනවා.
ඇතැමුන් සිතනවා (විශේෂයෙන් පිරිමින්) තමන්ගේ ඡායාරූප වලින් හානිකර යමක් කරන්නට කාටවත් වැඩක් නැති නිසා තමන්ගේ ඡායාරූප ඇල්බම සියලු දෙනාටම පෙනෙන්නට දැමුවාට ගැටලුවක් නැතැයි කියා. නමුත් මින් ඔබේ ඇල්බම වල සිටින අනෙකුත් අයට, විශේෂයෙන් කාන්තා පාර්ශ්වයට අවැඩක් සිදුවීමට ඇති ඉඩකඩ වැඩි බැව් අමතක කල යුතු නැහැ.
සාමාන්‍යයෙන් facebook වෙත ඡායාරූපයක් ඇඩ් කරන විට, එම ස්ථානයේදීම එය ප්‍රදර්ශනය කල යුත්තේ කාටදැයි තීරණය කල හැකියි.

මෙහි Public වරනය තේරීම මගින් ඔබේ මිතුරන් නොවන facebook සාමාජිකයන්ට පවා මෙම ඡායාරූපය (හෝ ඇල්බමය) නැරඹීමටත්, කමෙන්ට් කිරීමටත් පිලිවන්. මෙය අවශ්‍යවන අවස්ථාත් තිබෙනවා. උදාහරණයක් ලෙස මා ඇතුලු බොහෝ ආධුනික ඡායාරූප ශිල්පීන් තම ඡායාරූප සඳහා නරඹන්නන්/විචාරකයන් සපයා ගැනීමට facebook මාධ්‍යයක් ලෙස භාවිත කරන අතර එය වැඩි පිරිසක් වෙත ගෙනයාමට ඒවා Public ලෙස පලකරනවා.
දෙවැනි වරණය වන්නේ Friends. බැලූ පමණින් “ඔබේ මිතුරන්ට පමණක්“ ප්‍රදර්ශනය වීමකි මින් පෙන්නුම් කෙරුනත් සැබැවින්ම එය එසේ නොවෙයි. ඔබේ ඇල්බමයේ ඡායාරූප වල tag වී සිටින ඔබේ මිතුරන්ගේ මිතුරන්ටත් (friends of friends) එම අදාල tag වූ ඡායාරූප පමණක් මෙහිදී ප්‍රදර්ශනය කෙරෙනවා. පෙර මින් ප්‍රදර්ශනය කිරීමක් පමණක් සිදු කලත් අලුත් facebook සංස්කරණ සමග ඔවුන්ට මෙම ඡායාරූප සඳහා කමෙන්ට් කිරීමටද හැකියාව ලැබෙනවා.

මෙය වඩාත් අර්බුදකාරී මෙන්ම පුද්ගලිකත්වය කෙරෙහි එල්ලවන විශාලම බලපෑමක් ලෙසයි මා දකින්නේ. මා ඇල්බමයක් සාදා එය “මගේ මිතුරන්ට“ පමණක් පෙන්වන්න යැයි facebook වෙත කියා සිටින්නේ එය ඇත්තෙන්ම “මගේ මිතුරන්ට පමණක්“ පෙන්විය යුතු නිසයි. tag වී සිටිය අයගේ මිතුරන්ට පෙන්වීමට මට අවශ්‍ය නැති වෙන්නට පුලුවන්. මෙහිදී තත්වය නරක අතට හැරෙන්නේ tag වී සිටිය එක් අයෙකුගේ මිතුරන් අනෙකෙකු නොදන්නා අය වීමත්, මෙම මිතුරන් අතරේ පෙර කී අන්දමේ අසහනකාරයන් සිටිය හැකි වීමත් නිසා. (බොහෝ දෙනාගේ facebook හි මිතුරන්ගෙන් වැඩි හරියක් සැබෑ ජීවිතේදී කිසිසේත්ම නොදන්නා අය බව අමතක කල යුතු නැහැ)
තෙවැනි වරනය වන Custom හිදී ඔබට පෙර ගැටලුවට විසඳුමක් සොයාගත හැකියි. මෙම Custom වරණය තේරීමේදී ඔබට මෙම ඡායාරූපය පෙන්වීමට ඇවැසි පුද්ගලයන් වඩාත් විස්තරාත්මකව ලබාදිය හැකියි. මෙහි මුලින්ම ඇත්තේ Friends සහ Friends of Friends. නමුත් මෙම Friends හිදී ද කලින් සඳහන් කලාක් මෙන් tag වී ඇති මිතුරන්ගේ මිතුරන්ටද ඒවා බැලිය හැකියි.

එහි ඇති තෙවැනි වරණය වල Specific People or Lists… යන්න මා සඳහන් කල විසඳුම ලෙසින් දැක්විය හැකියි. මෙම වරණය තේරීමේදී පහතින් මතුවන තීරුවේ දී අපට මෙම ඡායාරූපය පෙන්වීමට අවශ්‍ය පුද්ගලයන් හෝ මිතුරු ලැයිස්තු (Friend List) සඳහන් කල හැකියි. මෙහිදී කිසිසේත්ම tag වී ඇති අයගේ මිතුරන්ට මෙම ඡායාරූපය දිස්වන්නේ නැහැ. (නමුත් ඔබ ඡායාරූපය ප්‍රදර්ශනය කරන මිතුරු ලයිස්තු වලින් පරිබාහිර පුද්ගලයෙක් එහි tag වී සිටිනවානම්, ඒ පුද්ගලයාට පමණක් ඒ ඡායාරූපය දිස්වනු ඇති).
කෙසේ වෙතත් මේ ආකාරයෙන් අවශ්‍ය අයට පමණක් ප්‍රදර්ශනය කිරීම පහසු කරගැනීමට නම් ඔබ ඔබේ මිතුරන් List වලට වෙන් කරගෙන තිබිය යුතුයි. මා දකින අන්දමට මෙය සෑම facebook පරිශීලකයකු විසින්ම අනිවාර්යයෙන් සිදුකලයුත්තක්. පුද්ගලිකව මා විසින් මාගේ විශ්වවිද්‍යාල බැච් සගයින්, පාසලේ පංති සගයින්, කාර්යාලීය සගයින්, ගම් පලාතේ අය, අන්තර්ජාලයෙන් අඳුනාගත් අය, ආදී වශයෙන් විවිධ මිතුරු ලැයිස්තු සාදාගෙන ඇති අතර, ඊට අමතරව මා හට පුද්ගලිකව විශ්වාස කිරීමට හැකි ‘සැබෑ මිතුරන්‘ එම විශ්වාසයේ තරම අනුව Circle 0 සිට Circle 2 දක්වා ලැයිස්තු 3කටද වෙන් කරගෙන සිටිනවා. (අලුතෙන් හඳුන්වා දී ඇති Close Friends මගින් ඔබට සමීපතම මිතුරන් වෙනම ලැයිස්තුවකට එකතු කරගත හැකියි) මේ නිසා මට යමක් Publish කිරීමේදී ඉතා ඉක්මනින් මෙය පෙන්විය යුත්තේ කාටදැයි සඳහන් කල හැකියි.
මෙසේ මිතුරන් ලයිස්තුගත කිරීම https://www.facebook.com/bookmarks/lists මගින් සිදුකරගත හැකියි. කණගාටුවකට මෙන් අලුත් සංස්කරණයේදී මෙසේ මිතුරන් ලයිස්තුගත කිරීම තරමක් අමාරු බැව් කිව යුතුයි. පෙර දී නම් ඉතා පහසුවෙන් මිතුරන් ලයිස්තු වලට ඇතුලත් කිරීමට හැකියාව තිබුනා. ඔබ තරමක් කරදර විය යුත්තේ දැනට සිටින මිතුරන් ලයිස්තුගත කිරීමේ පමණයි. එතැන් පටන් අලුතෙන් එකතු වන මිතුරන් ඒ අවස්ථාවේදීම ලයිස්තුවලට දැමිය හැකියි.
ඔබ තවමත් Timeline ලබාගෙන නැත්නම්, පහසුවෙන්ම මිතුරන් List වලට බෙදීම මෙම ලින්ක් එකෙන් ගොස් සිදුකල හැකියි. http://www.facebook.com/friends/edit/?ref=tn
මෙම ලිපිය පුරාවටම ඡායාරූප පමණක් උදාහරණයකට ගනිමින් සාකච්ඡා කලත්, මෙම සියලු කරුණු status update ආදී අනෙකුත් සියලු පෝස්ට් සඳහා අදාල වෙනවා. ඔබ facebook හි පලකරන සෑම දෙයක්ම පෙන්විය යුත්තේ කා හටදැයි නිර්ණය කිරීමය පුලුවන්. එය වඩාත් ආරක්ෂිතව කිරීම Friend List හැර වෙනත් සුදුසු විකල්පයක් නැහැ.
මෙම ලිපියෙන් දීමට අදහස් කල පණිවුඩය facebook භාවිත කරීමේදී විශේෂයෙන් ඔබේත් අන් අයගේත් පුද්ගලිකත්ව පිලිබඳ සැලකිලිමත් වී, එය ආරක්ෂා කිරීමට කටයුතු කරන්න කියල එකයි. ඔබේ වරදින් ඔබේ මිතුරන්ගේ පුද්ගලිකත්වයට හානි විය හැකියි. මේ පිලිබඳව දෙවරක් කල්පනා කර හැකි ඉක්මනින් ඔබේ දැනට සිටින මිතුරන් ලයිස්තුගත කර, “අවශ්‍ය දේ අවශ්‍ය අයට පමණක් ප්‍රදර්ශනය කරන්න“ කියන දේ සිහි තබා ගන්න කියන එකයි ලබාදෙන අවසන් පණිවුඩය.
පසුගිය දින කීපයක සිට social media අඩවි වල පුවතක් ආකාරයෙන් පලවී තිබුනු ලෙසම ඊයේ රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි Facebook හි නව privacy සැකසුම් කරලියට පැමිණ තිබෙනවා. මෙවැනි නව සැකසුම් පිටුවක් ඉදිරිපත් කිරීමට හේතුව වූයේ කලින් තිබූ සැකසුම් ක්‍රමය සංකීර්ණ වැඩි බවට පරිශීලකයන් විසින් ඉදිරිපත් කල චෝදනා නිසයි. Facebook අධිකාරිය තම පෞද්ගලිකත්වය පිලිබඳ කිසිදු තැකීමක් සිදු නොකරන බව කියමින් ඊට විරුද්ධ වීමට facebook හි සාමාජිකත්වයෙන් ඉවත්වීමේ ප්‍රවණතාවක් පවා පසුගිය දිනවල පැවැත්වුනා.
කෙසේ වෙතත් සාමාන්‍යෙයන් facebook හි අලුත් දෙයක් හඳුන්වා දෙන ආකාරයටම මෙම නව privacy සැකසුම් activate කරනු ලබන්නේ සියල්ලන්ටම එකවර නොවෙයි. ක්‍රම ක්‍රමයෙන් ඔබේ account එකටද මෙම අලුත් privacy සැකසුම් ලැබෙනු ඇති. අලුත් සැකසුම් ඔබට ලැබුනු විට ඔබේ Home පිටුවේ ඒ බව දැක්වෙන පණිවුඩයක් සටහන් වෙන අතර Account > Privacy Settings වෙත යාමෙන් එම පිටුවට පිවිසිය හැකියි.
Continue reading »
Continue reading »
වසර දෙකතුනකට කලින් ලංකාවේ Facebook බාවිත කරන්නන් සිටියේ අතලොස්සයි. මීට වසර තුනකට පෙර විශ්වවිද්‍යාලයට එනවිට Facebook යන නම අපේ මිතුරන් වැඩි දෙනෙක් අසාවත් නැති තත්වයක් තිබූ අතර මා දන්නා අයගෙන් Facebook වෙත දෙවැනියට සම්බන්ධ වූයේ මමයි. මට Facebook ගැන අසන්නට ලැබුනේත් පලමුවෙනියාගෙනුයි. නමුත් මේ ලඟදී දේශනයක වාඩිවී සිටිනා අතර මා දේශනශාලාව සිසාරා බැලූ විට එහි Facebook profile එකක් හිමි නැති අය සිටියේ අතේ ඇඟිලි ගණනටත් වඩා අඩුවෙන්. සමස්ත රටේ තත්වයත් මේ නියැදියෙන් ප්‍රදර්ශනය වනු ඇතැයි මා සිතනවා. මම දකින ආකාරයට මීට තුඩුදුන් ප්‍රධාන හේතුව දුරකථන සමාගම් Mobile broadband සම්බන්ධතා හඳුන්වා දීමත් සමගම වැඩි දෙනෙකුට අන්තර්ජාල සම්බන්ධතා ලැබීමයි. අද ලංකාවෙන් ලෝක ව්‍යාප්ත ජාලය වෙත හුවමාරු වන දත්ත පැකට්ටු සංඛ්‍යාවෙන් සැලකියයුතු තරමේ කොටසක් Facebook වෙත යැයි කිවහොත් එය වැරදි නොවනු ඇතැයි සිතනවා.
Continue reading »
මගේ facebook ගිනුමේ ගොඩගැහිලා තියෙන Group request දිහා නිකමට බලනකොට මම දැකපු ගෲප් එකක් තමයි මේ. මේකෙන් කියන්නේ “facebook එකේ සිංහලෙන් චැට් කරන්න කැමති නම් මේ ගෲප් එකට ජොයින් වෙලා තමන්ගෙ යාලුවො හැමදෙනාටමත් invite කරලා ඊටපස්සෙ මේ ගෲප් එකේ ඇඩ්මින් දෙන සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කරගන්න” කියලා.
Facebook chat කරන්න facebook සයිට් එකටම යන්න ඕනෙ නෑ කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නේ. Pidgin, Digsby, Trillian වගේ chat client වලින් පුලුවන් facebook chat එකට සම්බන්ධ වෙන්න. නමුත් මේ කියන්න යන්නේ Firefox බ්‍රවුසරය භාවිත කරලා facebook සයිට් එකට නොගිහින් facebook chat කරන විදිය ගැන. මේ ක්‍රමයට ඔබට වෙන සයිට් එකක් බ්‍රවුස් කරන ගමන් වුනත් chat කරන්න පුලුවනි.
මේක ඇත්තටම Firefox වල option එකක් අපේ ක්‍රමයට පාවිච්චි කිරීමක් විතරයි. අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා.
Continue reading »
දැකලා ඇත් නේ සමහර සයිට් වලට ලොග් වෙන්න පුලුවන් බව තමන්ගේ openID එකකින්, ඒ සයිට් එකේ username/pass වෙනුවට. zoho, 4shared එවැනි අඩවි වලට උදාහරණ කීපයක්.
ඔන්න දැං (ඔබේ ප්‍රියතම අඩවිය…) Facebook වලටත් පුලුවන් openID එකකින් ලොග් වෙන්න. openID විතරක් නෙමෙයි මෙන්න මේ සියලු වර්ග වල ලොගින් ඊට සහාය දක්වනවා.
- MySpace
- Yahoo
- VeriSign PIP
- MyOpenID
- ඔබේ වෙනත් openID එකක් (උදා: බ්ලොග් ලිපිනය..)
මේ පහසුකම ලබාගන්න කරන්න තියෙන්නෙ හරිම සිම්පල් දෙයක්. Facebook හි ලොග් වෙන්න. ඉන්පසුව Settings > Account Settings වෙත යන්න. එහි ඇති Linked Accounts කියලා option එකක්. එහි තියෙනවා අදාල login account එක තෝරන්න. ඉන්පසු ඔබට සිදුවෙයි ඒ ලොගින් එකෙන් ලොග් වී එය ඔබේ බව තහවුරු කරන්නට.

මේක පහසු වෙන්නෙ මේ වගේ වෙලාවට. උදාහරණයක් විදියට හිතන්න ඔබ මෙහි Google account නම් සකසලා තියෙන්නෙ, ඔබ Google හි ලොග් වෙලා ඉන්න වෙලාවට Facebook හි ලොග් වීමට නැවත username/password දෙන්න අවශ්‍ය නෑ.
මෙහෙම ලොග් වෙනකොට මුලින්ම සුපුරුදු Facebook ලොගින් පේජ් එක එනවා :D එතකොට මට කුණුහරුප කියන්න එපා. තත්පර දෙකතුනකින් ඔබව එකවුන්ට් එක ඇතුලට යාවි.
කොහොම උනත් ඔබ කැෆේ වල වගේ පොදු පරිගණක පාවිච්චි කරනවනම් මේක කරන්නෙ කල්පනාවෙන්.
මගේ Notification වල අද උදේ තිබුනු ඒවා තමයි මේ රූපයේ තියෙන්නේ. මෙතන රතු පාටින් කොටු කරලා තියෙන ඒවා බලන්නකෝ.

මේ application එකක්වත් මම භාවිතා කරන ඒවා නෙමෙයි. මේ දැන්වීම් වල කියලා තියෙන්නෙත් මගේ අහවල් මිතුරා/මිතුරිය මේක භාවිතා කරන බවත් අපටත් එය උත්සාහ කර බලන ලෙසත්. මේක මහ කරදරයක් වගේම අපේ පෞද්ගලිකත්වය කෙලෙසීමක්. ඒ මොකද කිව්වොත් මට අවශ්‍ය නොවන product එකක් පිලිබඳව මට advertising කරන නිසා.
මේ වගේ දේවල් වෙන්න හේතුව ඉතින් අපේ කට්ටියගෙ වැරදි ම තමයි. අපි අලුත් application එකක් add කරද්දී අපි facebook එකට පොරොන්දු වෙනවනේ යාලුවන්ටත් ads දැම්මට කමක් නෑ කියලා. මේ page එක දැකලා ඇතිනේ,

ඉතින් මේක Allow කරාම අපි එයාලට අවසර දෙනවා අපේ විස්තර, ඡායාරූප වගේම යාලුවන්ගේ විස්තරත් ප්‍රයෝජනයට ගන්න. ඉතින් Facebook එක කරන්නේ වැරැද්දක් නෙමෙයි.
වැරැද්ද අපේ අතේමයි. අපේ කට්ටිය එන එන අලුත් application එක කරන්නන් වාලෙ ඇඩ් කරනවා මිසක් ඒ හරහා හානිවෙන්න පුලුවන් අපේ පෞද්ගලිකත්වය ගැන හිතන්නෙ නෑ. ඔබේ පමණක් නෙමෙයි ඔබේ මිතුරන්ගෙත්. මොකද මේ application එක හරහා ඒක හදපු කෙනාට අපේ විස්තර ලබාගන්න පුලුවන් කිසිම කරදරයක් නැතිව. සමහර විට password එක වුනත්.
අපේ Facebook භාවිතය වෙනස් වෙන්න කාලෙ ඇවිත්. යාලුවො request එවපු පලියට වැඩක් නැති application add කරගන්න එපා. වැඩකට නැති ඒවා ඉවත් කරලා දාන්න. Facebook එකේ මේ වගේ ප්‍රශ්ණ තවත් ගොඩක් තියෙනවා. ටික ටික ඒ ගැනත් කතා කරන්නම්.

සැලකිය යුතුයි
