චන්දන වීරකුමාර නොහොත් අප සැම හොඳින් දන්නා සක්විති රණසිංහ මීට මාස ගණනකට පෙර ආන්දෝලනාත්මක ක්‍රියාවක් කලේය. එනම් මහජනතාවගෙන් තැන්පතු ලබාගන්නා ආයතනයක් අරඹා අවසානයේ ඒ තැන්පතු මුදල් ද සමග හීන්සීරුවේ වාෂ්ප වී යාමයි.
ඒ දකුණේ සක්විති ය.
තිස් වසරකට ආසන්න කාලයක් පැවති උතුරේ කොටි පාලනය මගින් එම ප්‍රදේශ වල වෙනම රාජ්‍ය ඒකක පවත්වාගෙන යනු ලැබිණ. ඔවුන්ගේම පොලීසියක්, රෝහලක්, අධිකරණ පද්ධතියක් පැවතිණ. ඒ අතරම බැංකුවක් ද තිබිණ. එය හරහා ප්‍රභාකරන් මේ තිස් වසර පුරාම උතුරේ දෙමල ජනතාවගෙන් තැන්පතු මුදල් ලබා ගත්තේය. අවසානයේ ඒවා ද සමග ඔහු ද වාෂ්ප වී ගියේය.
ඒ උතුරේ සක්විති ය.
මේ ප්‍රභාකරන් ගේ ඊනියා විමුක්තියට පක්ෂව කතා කරන බොහෝ දෙනෙකුට අමතක වූ දෙයකි. තිස් වසරක් පුරා ඔවුන් කොපමණ මුදලක් එසේ එකතු කරගන්නට ඇත්දැයි දන්නේ දෙවියන් පමණකි. මුදල් පමණක් නොව රන් භාණ්ඩ උකස් ගෙන ද, රන් භාණ්ඩ සඳහා සුරක්ෂිතාගාර සේවා ද සපයා ඇත. මෙතෙක් හමුදා මෙහෙයුම් වලදී කොටි සංවිධානයේ බොහෝ ලියකියවිලි, ප්‍රභාකරන්ගේ පෞද්ගලික ලේඛන පවා හමුවෙද්දී මෙම බැංකුවේ එකදු ලියවිල්ලක් වත් හමු නොවූයේ මන්ද?
ගරිල්ලා සංවිධානයක් ලෙස ඔවුන් ඇතිහැකි දෙමල අයගෙන් කප්පම් ලෙස වැඩි ප්‍රමාණයකුත්, ආධාර ලෙස මද ප්‍රමාණයකුත් මුදල් ලබාගත්හ. එයින් නොසෑහී තම වර්ගයාගේ ඇසට වැලිගසා ඔවුන් සතු පෞද්ගලික ධනය ඇදගැනීමේ ක්‍රියාවලියක් ද සිදුකෙරී ඇති බැව් පෙනේ.
සුසෙයි ගේ බිරිඳ අසු වන වෙලාවේ ඇය අතේ තිබූ ලක්ෂ හයක මුදලත්, කිලෝ දෙකහමාරේ රත්තරන් ගොඩත්, චාල්ස් ඇන්තනි ගේ සිරුර සමග තිබූ රුපියල් කෝටියකට වැඩි ගණනත්, ඔවුන්ට පාරම්පරිකව උරුම වූ, නැතහොත් මහන්සියෙන් හරි හම්බකර ගත් මුදල් විය හැකිද?
අහිංසක දෙමළ දරුවන් බලෙන් ආයුධ දී යුද පිටියට යැවෙද්දී නායකයන්ගේ දරුවන්ට විදෙස් රටවල අධ්‍යාපනය ලබන්නට වරම් ලැබුනේත්, දරු පවුල් වලට විදෙස් සංචාර වලට වරම් ලැබුනේත් පාරම්පර්කව උරුම වූ ධනයෙන් විය හැකිද?
පිලිතුර දන්නේ ඒ මුදල් ම පමණක් විය හැකිය.
තිස් වසරක් තිස්සේ ශ්‍රී ලංකා දෙරණේ පුත්‍රයන් දස දහස් ගණනකට මරු කැඳවූ, කෝටි ගණන් දේපල විනාශ කල, කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් නාස්ති කල යුද්ධය අවසන් වී තිබේ. (ඔව්.. ඔය කියන්න හදන්නේ ඉවර නෑ කියලා නොවේද? ඔබ හරි.. නැවත පටන් ගන්නත් පුලුවන් මිනිස්සුන්ගේ ආකල්ප හා ක්‍රියා අනුව. ඒ ගැන කතා කිරීම මේ ලිපියේ වසමට අයත් නොවන නිසා එය මදකට පැත්තකින් තබන්න) සකල ශ්‍රී ලාංකික ජනීජනයා මේ යුද ජයග්‍රහණය විවිධාකාරයෙන් සමරනු පෙනේ. එසේ සැමරීම ගැන බ්ලොග් අවකාශයේ විවිධාකාර මත ද පලවනු පෙනේ. මේ ලිපියෙන් මම කතා කරන්නේ ඒ පිලිබඳව මගේ අදහසයි.
මුලින්ම රතිඤ්ඤා ගැන කියමු. උත්සව හා ප්‍රීති අවස්ථාවන්හි රතිඤ්ඤා පත්තු කිරීම ජාති භේදයක් නැතිව සියලු ශ්‍රී ලාංකිකයන්ගේ සිරිත වී තිබේ. එනයින්ම මේ අවස්ථාවේදී ද සුපුරුදු පරිදි රතිඤ්ඤාව කල එලි බැස්සේය. ජයග්‍රහණය සැමරිය යුතුය. ඒත් ඒ සුදුසු ආකාරයටය. මා නිරීක්ෂණය කල ආකාරයට රතිඤ්ඤා සොමිය දුරදිග ගියා වැඩිය. ජය සැමරීමට රතිඤ්ඤාවක් දෙකක් පත්තු වීම වරදක් නොවේ, (එසේ නම් මගුල් ගෙදරක/අවුරුද්දට රතිඤ්ඤා පත්තු කිරීමද වරදකි).ඒත් ටීවී එකේ කොටි මලසිරුරු පෙන්වන හැමවිටකදීම, ජනපතිඳුන් පෙන්වන හැම විටකදීම ඒවා පත්තුකිරීම විකාරයකි. දල වශයෙන් රුපියල් කෝටි 2ක වත් රතිඤ්ඤා දිවයින පුරා පත්තු වන්නට ඇතැයි සිතමි. මේ මුදල් නිරපරාදේ පුලුස්සා නොදමා එක්කෝ IDPවල සිටිනා අසරණ දෙමල ජනයා සඳහා හෝ එසේත් නැතිනම් ආබාධිත රණවිරු සුබසාධනය සඳහා හෝ පරිත්‍යාග කලේ නම් එය වටිනා කාර්යයකි.
කිරිබත් ගැන මීලඟට කතා කරමු. මා දුටු බොහෝ ලිපිවලට මෙය ද විගඩමක් ලෙස පෙනී තිබුණි. ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් අවසන් වී ඇත. එනම් උදේ ගෙදරින් පිටවූ ඥාතියා නැවත හවස එයිදෝ නොඑයිදෝ යයි සැකයක් ඇතිකරගත යුතු නැත, ආමි එකේ ඉන්න තම ඥාතියා සීල් කල පෙට්ටියකින් ගෙදර එයි යැයි බියෙන් පසුවිය යුතු නැත, බස් එකේ යද්දී-සෙනග ගැවසෙන තැන් වල යද්දී බෝම්බයකට බිලිවේයැයි බියවිය යුතු නැත. උතුරේ සහෝදරයන්ට ආමි එකේ හෝ කොටින්ගේ බර අවි ප්‍රහාරවලින් තවදුරටත් අනතුරක් නැත. තුවක්කුවක් ගෙන යුද්දෙට යවන්නට තමන් පැහැරගෙන යන්නට කොටි නැවත නොඑනු ඇත. ඒවා තිස් වසරක් යුද්ධයෙන් බැට කෑ මිනිස්සුන්ට මංගල කාරණා වේ. සිංහල දෙමල සියල්ලන්ට මංගල කාරණා වලදී මුල් තැන ගන්නේ කිරිබත් ය. ඉදින් මේ අවස්ථාව කිරිබතින් සැමරීමේ වරදක් මට නොපෙනේ.
අන් අය සමග බෙදාහදාගෙන කෑම ශ්‍රී ලාංකික සියල්ලන්ගේ සංස්කෘතික ලක්ෂණයකි. මහා පරිමාණයෙන් කිරිබත් සාදා අන් අය සමග බෙදා හදාගෙන සතුටු වීමෙන් ගම්‍ය වූයේ එය නොවේද?
යුද ජයග්‍රහණය ප්‍රීති වීමට කරුණක් බව හොඳින් දැනෙනුයේ යුද්ධයෙන් බැට කෑ මිනිස්සුන්ට මිස සැපපහසු සෝපාවක සිට රූපවාහිනිය හරහා යුද්ධය හා ත්‍රස්තවාදී ක්‍රයාකාරකම් දකින්නන්ට වත්, විදේශීය මාධ්‍ය වාර්තා හරහා යුද්ධය හා ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් දකින්නන්ට වත් නොවේ.පසුගිය වසරේ මොරටුව විශ්වවිද්‍යාලය අසල පිපිරුණ බෝම්බය ඔබ සැමට මතක ඇතැයි සිතමි. පාසලේදී එකට අකුරු කල මගේ මිතුරෙක් (ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යභට චතුර හේමචන්ද්‍ර) ඊට ගොදුරුව මියගියේය. පාසල් කල සිනාවෙන් පිරී තිබූ ඔහුගේ මුහුණ බයිසිකල් බෝල වලට සිදුරු වී තිබූ අයුරු දුටු විට අප සියල්ලන්ටම කොටි ගැන ඇති වූයේ උග්‍ර කෝපයකි. අප ඔහුගේ මිතුරන් ය, එසේනම් පොලවේ හැපි හැපී විලාප තියමින් හැඬූ වැදූ අම්මාට කෙසේ සිතෙන්නට ඇතිද?
එසේනම් අර කිරිබත් වලින්, (යම් තරමකට මා එකඟ නොවූවත්) රතිඤ්ඤා වලින් ප්‍රදර්ශණය වන්නේ ඒ මිනිසුන්ගේ සිරකරගත් දුක් වේදනා විය නොහැකිද? හෙට තවත් කෙනෙකුට තම ඥාතියාට සිදුවූදේ නොවීම ගැන උපන් සතුට විය නොහැකිද?
ඔව්.. මේ බිලොග් ලියන්නන් තරම් සාමාන්‍ය හුදී ජනයා බුද්ධිමත් නැතුවා වෙන්නට ඇත. ඒ නිසා බ්ලොග් ලියන බුද්ධිමත් ප්‍රජාවට අර මිනිසුන් කිරිබත් කෑම ජෝක් එකක් සේ පෙනෙන්නට පුලුවන. එහෙත් මධ්‍යස්ථ මතය “ෂෝ එක දැමීමට පෙර” මදක් සිතන්න.. තමන්ගේ පැත්තෙන් වගේම ඒ මිනිස්සුන්ගේ පැත්තෙනුත්.
අවසන් වශයෙන් මට කීමට ඇත්තේ මොන ආකාරයෙන් වුවත්, දැං ඔය සැමරුවා ඇති බවය. මක් නිසාදයත් සිව්වැනි ඊලාම් යුද්ධය සඳහා පමණක් හමුදා සෙබලුන් සයදහසකට වැඩියෙන් දිවිපුදා ඇත. සතුටු වීමට මෙන්ම දුක් වීමට ද කාරණා ඇත. සතුටු වීම දැන් නවත්වා, (සතුට තම තමන්ගේ සිත් තුල තබා ගනිමු) අසරණ වූ උතුරේ වැසියන්ට සහන සැලසීමටත්, විනාශ වූ උතුර යලි ගොඩනැංවීමටත්, නැවත මෙවන් වාර්ගික අර්බුද ඇති නොවීමටත්, සමස්ත ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීමටත් හැකි අයුරින් දායක වීමට අවස්ථාව දැන් එලඹ ඇත.
දිනය නම් හරිහැටි මතක නැත. යම්කිසි රූපවාහිනි චැනලයක සාකච්ඡාවක දී සුනන්ද දේශප්‍රිය (ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙක්, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු කැඳවුම්කරු) කියූ කතාවක් මට තවම මතකය. ඔහු කීයේ දෙමල ඊලාමයේ විමුක්ති කොටි (Liberation Tigers of Tamil Eelam – LTTE) යනු දෙමල ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් පෙනීසිටින සංවිධානයක් බවත්, එනයින් ඔවුන්ට “ත්‍රස්තවාදීන්” යනුවෙන් වැහැරීම වැරදි බවත් ය. එන්ජීඕ රට සල්ලි වලට කහින ඔහු ගැන මට දුක සිතුණු අතර “අනේ කොටින්ගෙ අම්මගෙ විමුක්තිය” යයි මට සිතුනේ උන් සිදුකල “විමුක්තිකාමී” වැඩ රැසක් මට මතක් වූ බැවිනි.
උපතින් ගාල්ලේ පුරවැසියෙකු වූ මගේ කුඩා කාලය ගෙවුනේ පොලොන්නරුවේය. 1987 දී දෙමල ඊලමයේ විමුක්ති කොටි අරලගංවිල බොරවැව ගමට කඩා වැදී නිරායුධ අහිංසක වැසියන් කපා කොටා මරා දමන විට මගේ වයස එක් වසරකි. ඒ සිදුවීම වූ සැනින් එහි යාමට අපේ තාත්තාට අවස්ථාවක් ලැබුණෙන් තාත්තා ඒ භයංකර දසුන සියැසින් දැකීමටත් කැමරා ඇසට හසුකරගැනීමටත් වරම් ලැබීය. (ඒ ඡායාරූප දැන් විනාශවී ගොසිනි) කිරිකැටි බිලිඳෙක් දෙපයින් අල්ලා බිත්තියක ගසා මරාදමා තිබෙනු දුටු ඔහු දැනුදු එය මතක් කර කම්පා වෙයි. මේ මගේ මතකයේ රැඳුනු එවන් එක් ගම්මානයක් පමණි. මම මේ කතා කරන්නට යන්නේ කොටි විසින් හමුදා සෙබලුන් ඝාතනය කිරීම ගැන නොවේ. මගේ මේ වෑයම කොටින්ගේ ඊනියා විමුක්තිවාදය ගැන විමසීමයි.
කොටින් විසින් ඔවුන්ව හඳුන්වාගනු ලබන්නේ දෙමල ජනතාවගේ විමුක්තිකාමියා නැතහොත් දෙමල ජනතාව වෙනුවෙන් පෙනී සිටින්නන් වශයෙනි. එහෙත් මෙසේ නිරායුධ සිවිල් වැසියන් මරා දැමීමෙන් එවන් විමුක්තියක් අත් කරගන්නේ කෙසේදැයි යන්න දැනුම් තේරුම් ඇති කාලයේ පටන්ම මට ඇතිවූ ප්‍රශ්ණයකි. විමුක්තිකාමීන් නොව වචනයේ පරිසමාප්තාර්ථයෙන් උන් ත්‍රස්තවාදීන් හා ම්ලෙච්ඡයන් බව පෙනීයනුයේ උන් විසින් සාමාන්‍ය ජනයා කෙරෙහි කරන ලද කුරිරු කම් මතක් කිරීමෙනි. සිංහල/මුස්ලිම් ගම්මාන වලට කඩාපැන නිරායුධ මිනිසුන් අමු අමුවේ ඝාතනය කිරීම, අරන්තලාවේ දී භික්ෂුන් වහන්සේලා කපාකොටා ඝාතනය කිරීම, කැලෑබද ස්ථාන කිහිපයකදීම බස් රථ නවත්වා දෙමල මිනිසුන් ඉවත් කර සිංහලයන්ට වෙඩි තබා පණ අදින්නන් බස්රියටම දමා ගිණි තැබීම, ජය ශ්‍රී මහා බෝ සමිඳු ඉදිරියේ සිල් සමාදන් වී සිටි සැදැහැවතුන් මරා දැමීම, සිරි දළදා සමිඳුන් වෙත බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම, කැබිතිගොල්ලෑවේදී බසයකට ක්ලේමෝ ඇටවීම, විවිධ ස්ථානවල සාමාන්‍ය වැසියන් ඉලක්ක කර බෝම්බ පිපිරවීම, ආදිය මින් කිහිපයක් පමණි. අවසානයේ දෙමල ජනතාවට සැබෑ විමුක්තිය උදා කරනු වස් හමුදා ප්‍රහාර වලින් ගැලවීමට ඔවුන් පලිහක් ලෙස භාවිතා කිරීම, ඒ අසරණ දෙමල මිනිසුන් නිරාහාරව තැබීම, ඒ නරකාදියෙන් ගැලවී ඒමට තැත් කලවුන්ට වෙඩි තබා හා මිනිස් බෝම්බ අටවා මරා දැමීම ආදියද සිදුකිරීමට තරම් උන් දෙමල මිනිසුන්ට ආදරය කලහ. මුදල් හෝ අන් කවර හේතුවක් නිසා කොටි වෙනුවෙන් කහින, පිට කසන, කොටි සිදුකරන්නේ සාධාරණ විමුක්ති සටනක් යයි බෙරිහන් දෙන, සිංහලයන්, දෙමලුන් හා විදේශිකයන්ට මේවා මතක් කර දිය යුතුය.
සියල්ල අවසානයේ කොටි අන්ත පරාජයකට ලක්කිරීමට හමුදාව සමත් විය. තම ජනතාවගේ විමුක්තිකාමීන් බව ලොවට පෙන්වමින්, ඔවුන්ගේ ජීවන තත්ත්වය නැංවීමට කිසිදු දෙයක් නොකර, තමන් සුකුමාර ජීවිත ගත කිරීමේ විපාකය මහ කොටින් හට ගෙවන්නට සිදුවූයේ බල්ලන් මෙන් මැරෙන්නට වීමෙනි. කොටි අතුගා දැමීමේ කර්තව්‍යය මෙලෙස සාක්ෂාත් කර ගැනීමට ලැබුනේ නිවැරදි මිනිසුන් “ගේමට සෙට් වීම” නිසාම බැව් නොකියාම බැරිය. යම්හෙයකින් 2005දී රනිල් ජනපති වූයේ නම් සියල්ල කණපිට පෙරලීමට තිබුණි. පිලිලය කපා දැමූ බව ඇත්තය. එහෙත් එහි බීජ තවත් තිබිය හැකිය. ඒවාද ඉවත් කිරීම අවශ්‍යයෙන්ම කල යුතුය. තවද නැවතත් මෙවන් පිලිල ඇති නොවීමට, දෙමල ජනතාව ගැන අහිතක් නොමැතිව ඔවුන් හා සහෝදරත්වයෙන් විසීම සිංහල අපේ යුතුකම ය. යුද්ධයේදී සිංහල දෙමල මුස්ලිම් බේදයක් නැතිව මිනිස්සු පරලොව ගියෝය. නැවතත් එවන් අඳුරු යුගයක් උදා නොවන්නට වග බලාගත යුතුය.
මම උපන් මව්බිමට ආදරය කරන සිංහලයෙක්මි. එහෙත් ජාතිවාදියෙක් නොවෙමි. මෙය මේ ලෝක ගෝලය තුල සිංහලයන්ගේ උරුම බිම බව සත්‍යයකි. එහෙත් නූතන ලෝකයේ රටක එක් මනුෂ්‍ය වර්ගයකට පමණක් ජීවත් විය නොහැක. දැන් මේ බිමේ අයිතිය මෙහි වසන සිංහල දෙමල මුස්ලිම් බර්ගර් මැලේ හා වැදි ආදී සියලු ජනතාවට තිබේ. කල යුත්තේ ජාති අනුව මේ බිම කෑලි වලට කඩා ගැනීම නොව සියලු දෙනා සමගිව ජීවත් වීමය. එය ශ්‍රී ලංකා වාසී සියල්ලන්ටම අවබෝධ වීමට තව කොපමණ කලක් යයි දැයි නොදනිමි. එය සියලු දෙනා අවබෝධ කරගත් දින නැවත මෙවන් ගැටලු නිර්මාණය නොවනු ඇත.
මේ ජයග්‍රහණයේ වැඩිම කොටස උරුම විය යුත්තේ තම හිරිමල් යෞවනය රට වෙනුවෙන් කැප කර රණ බිමේදී අභීතව සටන් වැදි රණවිරුවන්ටය. රණ බිමේදී දිවිපිදූ සොයුරන් සදා අප සිත්තුල අමරණීය වනු ඇත. ඔවුන් සියලුදෙනා වෙනුවෙන් මම ශීර්ෂප්‍රණාම ගෞරවය පුද කරමි. එසේම සටන මෙහෙයවූ බලසේනාධිපතිවරුන්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් තුමන් හා දේශීය, විදේශීය සතුරු බලවේග “ෂේප් කර ගනිමින්” ජනතාව ඔහුට බාරදුන් කර්තව්‍යය නිසියාකාරව ඉටු කල ජනාධිපතිතුමාටද මගේ ගෞරවය පුදකරමි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය තුල ලංකාවට විරුද්ධව යෝජනාවක් මතු වී ආවේ නම් මේ සියල්ල වෙනස් වන්නට තිබිණි. එම අවස්ථාවේ ලංකාවේ සහයට පැමිණි පැරණි මිතුරන් වූ චීනය හා රුසියාවට ලාංකික අපගේ ගෞරවය හිමිවිය යුතුය.
මේ සටහන අවසන් කරන්නට සිත්වූයේ මේ දිනවල දක්නට ලැබෙන රතිඤ්ඤා හරඹයෙනි. ජය සැමරිය යුතුය. ඒත් ඒ සුදුසු ආකාරයටය. තිස් අවුරුද්දක් ත්‍රස්ත ග්‍රහණයේ තිබූ රටක් ඉන් නිදහස් වූ විට ඇතිවන සතුට අතිමහත් ය. ඒත් ලක්ෂ ගණන් මුදල් රතිඤ්ඤා වලට පුලුස්සන්නේ නැතිව ඒවා දිවිපිදූ හමුදා සෙබලුන්ගේ පවුල්වල ජීවන තත්ත්වය නංවන්නට යෙදවීමට හැකි නම් එය අගනේ නොවේද? (අපි වෙනුවෙන් අපි වැඩසටහන යටතේ මියගිය හමුදා සෙබලුන්ගේ පවුල් වලට කියා තැනූ ගෙවල් ඔවුන්‍ට දෙන්නේද කුලී පදනමට බැව් ආරංචි ය.) අනෙක් වරද නම් ජාතික ධජයට අපහාස වන අයුරින් සිදුකරන නානාප්‍රකාර විගඩම් සමූහයයි.
මා ඉපදුනේ ද යුද්ධයක් ඇති, බෝම්බ පුපුරණ රටක ය. අනුරාධපුරයෙන් එහා උතුරට මා පය තබා වත් නැත. ඉදින් ලංකාව එකම සිංහ ධජයක් යටතේ එක්සත් වීමේ සතුට මටද හොඳින් දැනේ. සියලු බේද දුරුවී මටත් යාපනය, කිලිනොච්චි, අලිමංකඩ මෙන්ම තම ජනතාව රැවැට්ටූ හා පාවා දුන් පාදඩයෙක් අවසන් සුසුම් හෙලූ නන්දිකුඩාල් කලපුව ද දැක ගැනීමට ඉක්මනින්ම හැකි වේ යයි යන්න මගේ එකම පැතුමයි.
දකුණ නැගෙනහිර බටහිර උතුරද එක කොඩියේ සෙවනේ
එකම දැයක් වී මහ බලයක් වී පෙරටමැ යමු ලංකා
ඉපැදුනු අප හට ලක් පොලොවේ – සුරු විරු කම් උපතින් හුරුවේ
දක්වමු දස්කම් ලක්කම් විස්කම් විස්මවමින් මුලු ලෝ…..


සැලකිය යුතුයි
