උදේ පාන්දර බුකියට ගොඩවූ කල්හි යමෙක් Hangover චිත්‍රපටියේ Flo-Rida සමග Kesha ගයන Right Round ගීතය ගැන යමක් පලකර තිබුනි. ඒ දුටු මට මතක් වූයේ ලඟදී නිකුත් වූ එම චිත්‍රපටියේ දෙවැනි කොටස (Hangover Part II) සඳහාද ගීත නිර්මාණය වී ඇතුවා විය හැකි බැවින් ඒ පිලිබඳව සොයාබලා ගීත ඩවුන්ලෝඩ් කල යුතු බවකි. ඒ සඳහා මා මුලින්ම ගියේ Hangover Part II සඳහා වූ විකිපීඩියා පිටුවටයි. එහි soundtrack යටතේ මෙම චිත්‍රපටය සඳහාද Flo-Rida ගැයූ Turn Around (5, 4, 3, 2, 1) ගීතය ඇස ගැටුනි. මා ඊලඟට ගියේ ඒ සම්බන්ධයෙන් වූ විකිපීඩියා පිටුවටයි. Turn Around (5, 4, 3, 2, 1) යනු Flo-Rida ගේ පැරණි ගීතයක් බවත්, Hangover 2 චිත්‍රපටය වෙනුවෙන් ඔහු Pitbull සමග Turn Around, Part 2 යනුවෙන් ගීතයක් නිර්මාණය කරඇති බවත් මට ඉන් දැනගතහැකිවිය.
මීලඟට මා කලේ සුපුරුදු පරිදි mediafire.com අඩවියෙන් මෙම ගීතය සොයා ඩවුන්ලෝඩ් කරගැනීමයි. ගීතයට සවන්දෙන විට එහි කියැවුනු “MC” කියන වචනය පිලිබඳ මගේ අවධානය යොමුවූයේ එය බොහෝ hiphop හා RnB ගීතවල අඩංගු වීම නිසාය. විකිපිඩියා හි එය සොයාබැලීමෙන් MC යනු Master of Ceremonies යන්නට කෙටි වදනක් බව දැනගත හැකිවිය. එම ලිපිය තවදුරටත් කියවා බැලීමේදී සාම්ප්‍රදායික රාජාණ්ඩු පවතින රටවල් වල ඔටුනු පැලඳවීම වැනි රාජකීය උත්සව පෙලගැස්වීම සඳහා Master of the Ceremonies යනුවෙන් විශේෂ නිලධාරියෙකු සිටි වග දැනගත හැකි විය. එම ලිපියේ තිබුනු ඔටුනු පැලඳවීම හෙවත් coronation යන වදන ක්ලික් කිරීමෙන් මට ඒ සම්බන්ධ විකි පිටුවට යාමට හැකි විය. ඔටුනු පැලඳවීමේ උත්සවය සම්බන්ධයෙන් යම් දෙයක් ඉගෙනගත් මා එම පිටුවේ අග කොටසේ දුටුවේ විවිධ මහාද්වීප වල ඔටුනු පැලඳවීම් ගැන වෙනස් ලිපි තිබෙන බවයි. රාජාණ්ඩු පාලන බොහොමයක් තිබූ යුරෝපයේ ඔටුනු පැලඳවීම් ගැන සොයාබලන්නට සිතූ මා ඊලඟට ක්ලික් කරේ යුරෝපීය රජපවුල් වල ඔටුනු පැලඳවීම් ගැන එම පිටුවේ තිබූ ලින්ක් එකයි. එමගින් මට Coronations in Europe පිටුවට යා හැකි විය.
එම පිටුවේ තිබූ විස්තර වලටත් වඩා මා සිත් ගත්තේ පිටුවේ ඉහලින්ම තිබු රුසියාවේ දෙවැනි නිකොලායි සාර් රජුගේ ඔටුනු පැලඳවීම පිලිබඳ සිතුවමටයි. එම සිතුවමේ ටයිටලයේ තිබූ ලින්ක් එකක් ක්ලික් කිරීමෙන් මට දෙවැනි නිකොලායි සාර් රජු සම්බන්ධ විකි පිටුවට යා හැකි විය. සාර් රජු සම්බන්ධයෙන් සාමාන්‍ය දැනීමක් මට එම ලිපිය තුලින් ලබාගත හැකි විය. රුසියානු විප්ලවයෙන් අනතුරුව සිහසුනෙන් පහ කරනු ලැබූ සාර් රජු හා පවුල (මෙහෙසිය, දියණියන් සිව් දෙනා හා පුත්‍රයා) මධ්‍යම රුසියාවේ නගරයක නිවාස අඩස්සියේ තැබූ බවත් පසුව 1918 දී විප්ලවවාදීන් විසින් සාර් රජපවුල කුරිරු ලෙස ඝාතනය කරනු ලැබූ බවත් මා ඉගෙනගතිමි. ඉන්පසු මා ගියේ සාර්ගේ පුත්‍රයා වූ ඇලෙක්සෙයි කුමරු සම්බන්ධ පිටුවටයි. රුසියානු බස අනුව මීලඟට සාර් වීමට සිටින යන අර්ථයෙන් හේ සාරෙවිච් යනුවෙන් හැඳින්වෙන බවත්, හේ රුධිරය කැටිගැසීම ප්‍රමාද වීමේ රෝගයෙන් පෙලුනු බවත්, රස්පුටින් සාර් රජපවුලට සම්බන්ධ වන්නේ කුමරා සුවකිරීමට ඔහුට හැකිවීමෙන් පසුව බවත් මා ඉගෙනගතිමි.
ඇලෙක්සෙයි කුමරු රුධිරය කැටිගැසීම ප්‍රමාද වීමේ රෝගයෙන්, එනම් හිමොෆිලියාවෙන් පෙලීමට හේතුව ඔහු මව් පාර්ශ්වයෙන් බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා රැජිනට නෑදෑකම් කීම බවත් මා ඉගෙනගතිමි. වික්ටෝරියා රැජිනගෙන් ආරම්භවූ මෙය යුරෝපයේ බොහොමයක් රජපවුල් වෙත පැතිරී ගොස් ඇත. ඊට හේතුව යුරෝපයේ රජපවුල් බොහොමයක් විවාහයන් නිසා ඥාතීන් බවට පත්ව තිබීමයි.
ඉන්පසු මා කියැවූයේ ඇලෙක්සෙයි කුමරාගේ සොයුරියන් දෙදෙනෙකු වූ මාරියා කුමරියත්, ඇනස්ටාසියා කුමරියත් සම්බන්ධ විකිපිඩියා පිටු ය. ඔවුන්ට යොවුන් වියේදීම (පිලිවෙලින් අවු 19දී හා අවු 17දී) තමන් නොකල වරදකට ජීවිතයෙන් වන්දිගෙවීමට සිදුවූ ඉවත්, හිසට වෙඩිතබා බයිනෙත්තු වලින් ඇන සිය පවුල සමගම මරාදමන ලද බවත්, නාඳුනන සොහොනක වැලලීමට ප්‍රථම තුවක්කු බඳින් ගසා මුහුණු විරූපී කරන ලද බවත් ඉගෙනගත්තෙමි. 1979 දී සොයාගනු ලැබූ නාඳුනන මළසිරුරු ශේෂයන් පිරික්සීමේදී එය සාර් රජපවුලේ සාමාජිකයන් බව හඳුනාගනු ලැබූ බවත්, එහෙත් එහි ඔටුන්නහිමි ඇලෙක්සෙයි කුමරාගේ හා මාරියා කුමරියගේ සිරුරු නොතිබූ බවත්, ඔවුන් දෙදෙනාගේ සිරුරු කොටස් වෙනත් ස්ථානයකදී සොයාගන්නේ 2007දී බවත්, ඔවුන් දෙදෙනාගේ සිරුරු පමණක් වෙනත් ස්ථානයකට ගියේ මන්ද යන්න අබිරහසක් බවත් මා උගත්තෙමි. එමෙන්ම මාරියා හා ඇනස්ටාසියා නොමළ බවත් ඔවුන්ගේ පසුකාලීන ජීවිතය සම්බන්ධ ප්‍රවාද රැසක් ඇති බවත් උගත්තෙමි.
අන්තර්ජාලයේ එක් ප්‍රධාන සංකල්පයක් වන Navigation මගින් සින්දුවකින් පටන් ගෙන අන්තිමේ ලෝක ඉතිහාසයේ එක් වැදගත් සිදුවීමක් දක්වා ගමනක් ගියේ මෙන්න මෙහෙමයි. ලෝක ව්‍යාප්ත ජාලයේ (world wide web) විස්මය මේක තමයි. මුලු අන්තර්ජාලයම එකකට එකක් සම්බන්ධයි. ඒ වගේම ලබාගන්න පුලුවන් තොරතුරු වල නිමක් නැහැ. තමන් ආස දෙයක් නම් දිගින් දිගට හාරාඅවුස්සන්න පුලුවන්. මෙය කියවන ඔබ ඇතැමෙකුට සාර් ගේ විස්තර වලින් වැඩක් නැති උනත් ලෝක ඉතිහාසයේ සිදුවීම් ආසාවෙන් කියවන මට එය රසවත්. අන්තර්ජාලය නොතිබුනානම් කෙනෙකුට මා මෙසේ පැයකින් දැනගත් කරුණු ටික කිසිදාක එකවර දැනගැනීමට නොහැකි වෙනවා විතරක් නෙමෙයි, මේ ටික පුස්තකාලයක තිබුනානම් පොත්වලින් සොයාබලා කියවීමට දින ගණනාවක් ගතවේවි. ඒ වගේම සීමා බාධක වැටකඩුලු දාලා තොරතුරු නවත්තන්න බැරි බවත් අවසානයේ මතක් කර දෙන්න ඕන.
ෆේස්බුක් හි ඡායාරූප මගින් පුද්ගලිකත්වයට හානිවිය හැකි ආකාරයන් ගැනත් ඒ සම්බන්ධයෙන් ආරක්ෂක පියවරක් ලෙස Friend List සාදාගැනීම ගැන පසුගිය ලිපියකින් මා කතා කලා. මේ ලිපිය කියවීමට පෙර එම ලිපිය කියවීම වඩාත් ප්‍රයෝජනවත් වනු ඇතැයි සිතනවා.
ෆේස්බුක් හි ඡායාරූප ගැන කතා කලොත්, අලුත් ෆේස්බුක් සංස්කරනයේදී (පෙරනිමියෙන් එන සැකසුම් අනුව) ඡායාරූප ටැග් වී ඇති අයගේ මිතුරන්ටත් දිස් වන බව ඔබ දන්නවා ඇති. Friend List වලට බෙදා ඡායාරූපය ප්‍රදර්ශනය කිරීමෙන් මෙම ගැටලුව මගහැරෙන බවත් අපි සාකච්ඡා කලා. පසුගිය ලිපියේදී කතා කලේ මෙසේ ඡායාරූප අප්ලෝඩ් කරන අයගේ පැත්තෙන්. එනම් තමන්ගේ ඡායාරූප වලින් එහි සිටින අයට සිදුවිය හැකි හානි අවම කරගන්නේ කොහොමද කියලා. අද කතා කරන්න යන්නේ ඡායාරූප වල ටැග් වී සිටින්නන්ගේ පැත්තෙන්, කොහොමද ඔවුන් සිය පුද්ගලිකත්වය ආරක්ෂා කරගන්නේ කියන එක ගැන. සරලව කිව්වොත් අගතියට පත්වූ පාර්ශ්වය වෙනුවෙන් තමයි අද කතා කරන්නේ :D
මෙහෙම උදාහරණයක් ගනිමු. ඔබ මිතුරන් සමූහයක් සමග විනෝද චාරිකාවක් ගියා. විනෝද චාරිකාවක් ගියා කියන්නේ ඊට පසු දිනයේ සිට ෆේස්බුක් වෙත ඡායාරූප වැසි වසිනවා කියන එකයි. ඔබේ මිතුරා පින්තූර ෆේස්බුක් වෙත එකතු කොට තියෙන්නේ Friends Only වරණය සහිතව. නමුත් ඔබ දන්නවා ඉන් ඔබ ටැග් වී ඇති පින්තූර ඔබේ මිතුරන්ටද පෙනෙන (හා කමෙන්ට් කිරීමේ හැකියාව පවතින) බව.
නමුත් ඔබේ මිතුරු ලයිස්තුවේ සිටින ඇතැම් අයට ඔබේ පින්තූර පෙන්වීමට ඔබට ඇවැසි නැති වෙන්න පුලුවන් (පුද්ගලික හේතු මත). ඔවුන්ව ෆේස්බුක් මිතුරු ලයිස්තුවෙන් ඉවත් කිරීමටත් බැහැ, නමුත් අතේ දුරින් තබාගත යුතු තත්වයක් පවතින අවස්ථා බොහෝ දෙනෙකුට තිබෙනවා. මෙවැනි අවස්ථාවක අර පින්තූර ඔවුන්ට පෙනීම වලක්වන්නේ කොහොමද කියන ප්‍රශ්නය එනවා. පින්තූර අප්ලෝඩ් කල ඔබේ මිතුරාට කිව්වොත් “කරුණාකරලා ඔයා friend list හදලා අදාල අයට පේන්න විතරක් පින්තූර දාන්න“ කියලා ඔය වැඩේ කවදාවත් කෙරෙන්නේ නැහැ. ඒ වෙනුවට තමන් ටැග් වී ඇති පින්තූර අවශ්‍ය අයට විතරක් පෙන්වන්න විදියක් නැද්ද?
ඇත්තෙන්ම පුලුවන්. විශ්වාසවන්ත අයට පමණක් තමා ටැග් වී ඇති ඡායාරූප පෙන්වීමේ හැකියාව පවතිනවා. මේ ක්‍රියාව වඩාත් පහසු කරගැනීමටත් ඒ පුද්ගලයන් List වලට දමා තිබීම වැදගත්. ලිස්ට් සාදාගැනීම හා ඊට මිතුරන් එක් කරන්නේ කෙසේද යන්න ගැන කලින් ලිපියේදී මා කතා කලා.
මෙසේ අවශ්‍ය අයට පමණක් ඡායාරූප දැක්වීම සඳහා අවශ්‍ය සැකසුම් සිදුකිරීමට ඔබ යා යුත්තේ Privacy Settings වෙත. මෙය ඔබේ ෆේස්බුක් වින්ඩෝවේ දකුණුපස ඉහල කෙළවරේ Account යටතේ (හෝ ඔබ Timeline සක්‍රීය කරගෙන ඇත්නම් දකුණු පස ඉහල කෙළවරේ Home අසලින් ඇති ඊ හිස ක්ලික් කිරීම මගින්) ලබාගත හැකියි.

මෙම පිටුවේ පහල කොටසේ How Tags Work යනුවෙන් ඇති හෙඩිම ඉදිරිපස ඇති Edit Settings ක්ලික් කරන්න.

එහිදී මතුවන සංවාද කොටුවේ ඇති Maximum Profile Visibility of posts you’re tagged in once they’re on your profile මගින් ඔබේ Timeline (Wall) එකේ ඇති ඔබ ටැග් වූ අයිතම (ඡායාරූප, ස්ටේටස් අප්ඩේට්) පෙන්විය යුත්තේ කාටදැයි යන්න සඳහන් වෙනවා. දැනට ඒ ඉදිරිපිට ඇති ලයිස්තුවේ ඇත්තේ Friends හෝ Friends of Friends වන්නට පුලුවන්.

මෙම ලයිස්තුව මත ක්ලික් කර Custom තේරීමෙන් ඔබට සුපුරුදු සංවාද කොටුවක් නැවතත් මතුවෙනවා. මින් ඔබට අවශ්‍ය Friend List කීපයකට පමණක් අදාල දේ පෙන්වන ලෙස සකස් කරන්නේ කෙසේදැයි කලින් ලිපිය කියවූ ඔබ දැනටමත් දන්නවා. (ඉන් Specific People or Lists.. තෝරා අවශ්‍ය List යෙදීමෙන්)
මේ ආකාරයෙන් සකස් කල පසු ඔබ ටැග් වූ ඡායාරූප දිස්වනුයේ ඔබ ලබාදුන් List වල සිටින අයට පමණයි. මෙහිදී මතක තබාගත යුතුයි ඔබේ Profile Pictures, Mobile Uploads වැනි ඇල්බම ඕනෑම අයෙකුට දිස්වන බව.
Profile Pictures ඇල්බමය අන් අයට පෙන්වීම අවශ්‍ය නැත්නම් එහි Privacy සැකසුම Only Me ලෙස යෙදීම කල හැකියි. එවිට ඔබේ මිතුරන්ට දිස්වන්නේ ඔබේ දැන් profile picture එක පමණයි, ඒ ඇල්බමයේ ඇති අනිත් පින්තූර පෙනෙන්නේ නැහැ. අවශ්‍ය නම් Only Me වෙනුවට කැමති මිතුරු ලයිස්තුවක් වුවත් ලබාදිය හැකියි.
මුලින්ම කියන්න ඕනේ මේ ලිපිය වැදගත් වෙන්නේ Facebook හි තමන්ගේ හා තම මිතුරු මිතුරියන්ගේ පුද්ගලිකත්වය (privacy) ගැන සැලකිලිමත් වෙන අයට පමණයි. අනිත් අයට මෙහි ගන්න යමක් නැති වේවි.
ගත වූ මාසය ඇතුලත Facebook තරමක් අලුත් වීම් වලට බඳුන් වූ බව එය භාවිතා කරන හැමදෙනාම දන්න කරුණක්. මේ අතර එහි profile පවා අලුත්වීමකට බඳුන් වන්නේ Timeline නැමති අලුත් විශේෂාංගය මගින්. තවමත් සියලු දෙනාට මුදාහැර නැති මෙම අලුත් විශේෂාංගය අවශ්‍ය නම් කුඩා hack එකක් මගින් ඔබටත් ලබාගත හැකියි.
යමෙකුට ප්‍රශ්න කරන්න පුලුවන්, “facebook එක මෙච්චර චාටර් තැනක් නම්, ඇයි ඒක පාවිච්චි කරන්නෙ ඒක විවේචනය කර කර?“ කියලා. සත්‍යය තමයි අපි කැමති උනත් තැතත් සමාජ ජාලයන් විසින් අපේ අනාගත අන්තර්ජාලය ආක්‍රමණය කර අවසන්. දිනෙන් දින අන්තර්ජාලය අපේ ජීවිත ආක්‍රමණය කරන අතරම මුලු අන්තර්ජාලයම එකට එක සම්බන්ධ වෙමින් පවතිනවා. facebook එක කැමති උනත් නැතත් එහි භාවිත කරන්නන් බහුතරයක ජීවිත වලට බද්ධ වෙලා. මෙන්න මේ තත්වය මත අපිට සිදුවෙනවා එය පාවිච්චි කරන ගමන්, ඉන් සිදුවෙන්න පුලුවන් අවැඩ ගැන දැනුවත් වෙලා ඉන් වැලකෙන්න. මේක හරියට පිහියක් වගේ. භාවිත නොකර ඉන්නත් බැහැ. ඉන් පාන් කපන්න වගේම මිනීමරන්නත් පුලුවන්. එය තීරණය වෙන්නේ භාවිත කරන කෙනා අතේ.
අනිත් අතට facebook වැනි සමාජ ජාල භාවිත කිරීමේ අවශ්‍යතානයනුත් නැතුවා නොවෙයි. මා නිතර හමුනොවෙන මිතුරන් රැසක් සමග සම්බන්ධතා පවත්වාගැනීමටත්, විවිධ මිතුරු හමු සංවිධානය කිරීමටත් සන්නිවේදන මාධ්‍යය වශයෙන් භාවිතා කරන්නේ facebook සමාජ ජාලයයි. මීට අමතරව ඇතැම් කරුණු පිලිබඳව අන් අයගේ මත විමසීමටත්, විනෝදාංශයක් ලෙසත් මට facebook වැදගත්. ඉන් මා ලබන ලොකුම ප්‍රයෝජනය නම් මා ගන්නා ඡායාරූප වලට නරඹන්නන් හා විචාරකයන් ලැබීමයි.
facebook හි පුද්ගලිකත්වය සම්බන්ධයෙන් වැදගත්ම කරුණ විදියට මම දකින්නේ ඡායාරූප. ඒ නිසා මෙම ලිපිය වැඩිමනත් සාකච්ඡා කරනුයේ ඒ ගැනයි. ඩිජිටල් ඡායාරූප කියන්නේ වරක් “ලීක්“ උනොත් ඇතුන් නෙමෙයි Transformers චිත්‍රපටියේ ඉන්න Optimus Prime ලවා වත් නැවත අද්දන්න බැරි දෙයක්. ශ්‍රී ලංකාවේදී මෙය සැලකිය යුතු කරුණක් වන්නේ රූමත් ගැහැණුළමයින්ගේ ඡායාරූප මොකක්හෝ සයිට් එකක දුටු පමණින් පරිගණකයේ සේව් කරගැනීමටත්, ඒවා ගෙඩි පිටින් elakiri.com වැනි ෆෝරම් වල පෝස්ට් කිරීමටත් පෙළඹෙන තරුණ පරම්පරාවක් මෙරට සිටීම නිසයි. වැරදීමකින් කකුල දණහිසට උඩින් පෙනෙන ලෙස ගන්නා ලද ඡායාරූපයක් ෆෝරම් එකක පල කිරීමෙන් එම කාන්තාව “බඩුවක“ තත්වයට ඇද දැමීමට මෙම පවතින පද්ධතිය සමත්. එමෙන්ම ඒවාට “මෙයාගෙ අරක බලන්න එන්න“ වැනි ටයිටල් යොදා වෙනත් අඩවි සඳහා බැනර ලෙස භාවිතා කිරීමත් සුලබව දැකිය හැකියි.
මෙවැනි තත්වයක් මත facebook වෙත ඡායාරූප ඇතුලත් කරන්නම අවශ්‍ය නම් එසේ ඇතුලත් කරන ඒවා අවශ්‍ය අයට පමණක් පෙනෙන්නට තිබීම වැදගත් කරුණක් බවට පත්වෙනවා.
ඇතැමුන් සිතනවා (විශේෂයෙන් පිරිමින්) තමන්ගේ ඡායාරූප වලින් හානිකර යමක් කරන්නට කාටවත් වැඩක් නැති නිසා තමන්ගේ ඡායාරූප ඇල්බම සියලු දෙනාටම පෙනෙන්නට දැමුවාට ගැටලුවක් නැතැයි කියා. නමුත් මින් ඔබේ ඇල්බම වල සිටින අනෙකුත් අයට, විශේෂයෙන් කාන්තා පාර්ශ්වයට අවැඩක් සිදුවීමට ඇති ඉඩකඩ වැඩි බැව් අමතක කල යුතු නැහැ.
සාමාන්‍යයෙන් facebook වෙත ඡායාරූපයක් ඇඩ් කරන විට, එම ස්ථානයේදීම එය ප්‍රදර්ශනය කල යුත්තේ කාටදැයි තීරණය කල හැකියි.

මෙහි Public වරනය තේරීම මගින් ඔබේ මිතුරන් නොවන facebook සාමාජිකයන්ට පවා මෙම ඡායාරූපය (හෝ ඇල්බමය) නැරඹීමටත්, කමෙන්ට් කිරීමටත් පිලිවන්. මෙය අවශ්‍යවන අවස්ථාත් තිබෙනවා. උදාහරණයක් ලෙස මා ඇතුලු බොහෝ ආධුනික ඡායාරූප ශිල්පීන් තම ඡායාරූප සඳහා නරඹන්නන්/විචාරකයන් සපයා ගැනීමට facebook මාධ්‍යයක් ලෙස භාවිත කරන අතර එය වැඩි පිරිසක් වෙත ගෙනයාමට ඒවා Public ලෙස පලකරනවා.
දෙවැනි වරණය වන්නේ Friends. බැලූ පමණින් “ඔබේ මිතුරන්ට පමණක්“ ප්‍රදර්ශනය වීමකි මින් පෙන්නුම් කෙරුනත් සැබැවින්ම එය එසේ නොවෙයි. ඔබේ ඇල්බමයේ ඡායාරූප වල tag වී සිටින ඔබේ මිතුරන්ගේ මිතුරන්ටත් (friends of friends) එම අදාල tag වූ ඡායාරූප පමණක් මෙහිදී ප්‍රදර්ශනය කෙරෙනවා. පෙර මින් ප්‍රදර්ශනය කිරීමක් පමණක් සිදු කලත් අලුත් facebook සංස්කරණ සමග ඔවුන්ට මෙම ඡායාරූප සඳහා කමෙන්ට් කිරීමටද හැකියාව ලැබෙනවා.

මෙය වඩාත් අර්බුදකාරී මෙන්ම පුද්ගලිකත්වය කෙරෙහි එල්ලවන විශාලම බලපෑමක් ලෙසයි මා දකින්නේ. මා ඇල්බමයක් සාදා එය “මගේ මිතුරන්ට“ පමණක් පෙන්වන්න යැයි facebook වෙත කියා සිටින්නේ එය ඇත්තෙන්ම “මගේ මිතුරන්ට පමණක්“ පෙන්විය යුතු නිසයි. tag වී සිටිය අයගේ මිතුරන්ට පෙන්වීමට මට අවශ්‍ය නැති වෙන්නට පුලුවන්. මෙහිදී තත්වය නරක අතට හැරෙන්නේ tag වී සිටිය එක් අයෙකුගේ මිතුරන් අනෙකෙකු නොදන්නා අය වීමත්, මෙම මිතුරන් අතරේ පෙර කී අන්දමේ අසහනකාරයන් සිටිය හැකි වීමත් නිසා. (බොහෝ දෙනාගේ facebook හි මිතුරන්ගෙන් වැඩි හරියක් සැබෑ ජීවිතේදී කිසිසේත්ම නොදන්නා අය බව අමතක කල යුතු නැහැ)
තෙවැනි වරනය වන Custom හිදී ඔබට පෙර ගැටලුවට විසඳුමක් සොයාගත හැකියි. මෙම Custom වරණය තේරීමේදී ඔබට මෙම ඡායාරූපය පෙන්වීමට ඇවැසි පුද්ගලයන් වඩාත් විස්තරාත්මකව ලබාදිය හැකියි. මෙහි මුලින්ම ඇත්තේ Friends සහ Friends of Friends. නමුත් මෙම Friends හිදී ද කලින් සඳහන් කලාක් මෙන් tag වී ඇති මිතුරන්ගේ මිතුරන්ටද ඒවා බැලිය හැකියි.

එහි ඇති තෙවැනි වරණය වල Specific People or Lists… යන්න මා සඳහන් කල විසඳුම ලෙසින් දැක්විය හැකියි. මෙම වරණය තේරීමේදී පහතින් මතුවන තීරුවේ දී අපට මෙම ඡායාරූපය පෙන්වීමට අවශ්‍ය පුද්ගලයන් හෝ මිතුරු ලැයිස්තු (Friend List) සඳහන් කල හැකියි. මෙහිදී කිසිසේත්ම tag වී ඇති අයගේ මිතුරන්ට මෙම ඡායාරූපය දිස්වන්නේ නැහැ. (නමුත් ඔබ ඡායාරූපය ප්‍රදර්ශනය කරන මිතුරු ලයිස්තු වලින් පරිබාහිර පුද්ගලයෙක් එහි tag වී සිටිනවානම්, ඒ පුද්ගලයාට පමණක් ඒ ඡායාරූපය දිස්වනු ඇති).
කෙසේ වෙතත් මේ ආකාරයෙන් අවශ්‍ය අයට පමණක් ප්‍රදර්ශනය කිරීම පහසු කරගැනීමට නම් ඔබ ඔබේ මිතුරන් List වලට වෙන් කරගෙන තිබිය යුතුයි. මා දකින අන්දමට මෙය සෑම facebook පරිශීලකයකු විසින්ම අනිවාර්යයෙන් සිදුකලයුත්තක්. පුද්ගලිකව මා විසින් මාගේ විශ්වවිද්‍යාල බැච් සගයින්, පාසලේ පංති සගයින්, කාර්යාලීය සගයින්, ගම් පලාතේ අය, අන්තර්ජාලයෙන් අඳුනාගත් අය, ආදී වශයෙන් විවිධ මිතුරු ලැයිස්තු සාදාගෙන ඇති අතර, ඊට අමතරව මා හට පුද්ගලිකව විශ්වාස කිරීමට හැකි ‘සැබෑ මිතුරන්‘ එම විශ්වාසයේ තරම අනුව Circle 0 සිට Circle 2 දක්වා ලැයිස්තු 3කටද වෙන් කරගෙන සිටිනවා. (අලුතෙන් හඳුන්වා දී ඇති Close Friends මගින් ඔබට සමීපතම මිතුරන් වෙනම ලැයිස්තුවකට එකතු කරගත හැකියි) මේ නිසා මට යමක් Publish කිරීමේදී ඉතා ඉක්මනින් මෙය පෙන්විය යුත්තේ කාටදැයි සඳහන් කල හැකියි.
මෙසේ මිතුරන් ලයිස්තුගත කිරීම https://www.facebook.com/bookmarks/lists මගින් සිදුකරගත හැකියි. කණගාටුවකට මෙන් අලුත් සංස්කරණයේදී මෙසේ මිතුරන් ලයිස්තුගත කිරීම තරමක් අමාරු බැව් කිව යුතුයි. පෙර දී නම් ඉතා පහසුවෙන් මිතුරන් ලයිස්තු වලට ඇතුලත් කිරීමට හැකියාව තිබුනා. ඔබ තරමක් කරදර විය යුත්තේ දැනට සිටින මිතුරන් ලයිස්තුගත කිරීමේ පමණයි. එතැන් පටන් අලුතෙන් එකතු වන මිතුරන් ඒ අවස්ථාවේදීම ලයිස්තුවලට දැමිය හැකියි.
ඔබ තවමත් Timeline ලබාගෙන නැත්නම්, පහසුවෙන්ම මිතුරන් List වලට බෙදීම මෙම ලින්ක් එකෙන් ගොස් සිදුකල හැකියි. http://www.facebook.com/friends/edit/?ref=tn
මෙම ලිපිය පුරාවටම ඡායාරූප පමණක් උදාහරණයකට ගනිමින් සාකච්ඡා කලත්, මෙම සියලු කරුණු status update ආදී අනෙකුත් සියලු පෝස්ට් සඳහා අදාල වෙනවා. ඔබ facebook හි පලකරන සෑම දෙයක්ම පෙන්විය යුත්තේ කා හටදැයි නිර්ණය කිරීමය පුලුවන්. එය වඩාත් ආරක්ෂිතව කිරීම Friend List හැර වෙනත් සුදුසු විකල්පයක් නැහැ.
මෙම ලිපියෙන් දීමට අදහස් කල පණිවුඩය facebook භාවිත කරීමේදී විශේෂයෙන් ඔබේත් අන් අයගේත් පුද්ගලිකත්ව පිලිබඳ සැලකිලිමත් වී, එය ආරක්ෂා කිරීමට කටයුතු කරන්න කියල එකයි. ඔබේ වරදින් ඔබේ මිතුරන්ගේ පුද්ගලිකත්වයට හානි විය හැකියි. මේ පිලිබඳව දෙවරක් කල්පනා කර හැකි ඉක්මනින් ඔබේ දැනට සිටින මිතුරන් ලයිස්තුගත කර, “අවශ්‍ය දේ අවශ්‍ය අයට පමණක් ප්‍රදර්ශනය කරන්න“ කියන දේ සිහි තබා ගන්න කියන එකයි ලබාදෙන අවසන් පණිවුඩය.
පෙරේදා ඔෆිස් එකේ වැඩක් සෙට් වෙලා රෑ දෙගොඩහරි ජාමයක් වෙනකං අපිට වැඩ කරන්න උනා. (software field එකේ ඉන්න අය දන්නවනෙ මේක සාමාන්‍ය දෙයක් බව). වැඩේ කරන ගමන් විහිලුතහලුවෙන් ඉන්න වෙලාවක අපේ ආයතන ප්‍රධානියා සමග ඇතිවෙච්ච කතාබහක් තමයි මේ.
බොස්: “මම ඉස්සර බෑන්ඩ් එකක ගැහුවනෙ!“
නදුන්: “ආහ්.. හෙමද“
බොස්: “ඔවු.. මම ඩ්‍රම්ස් ගැහුවෙ. මම මිල්ටන් මල්ලවාරච්චිටත් ගහලා තියෙනව“
නදුන්: “නියමයිනෙ සර්, කොයිකාලෙද ඒ?“
බොස්: “ම්.. මට මතක විදියට මිල්ටන් මැරෙන්න කිට්ටුව..“
මම: “ආ.. එතකොට සර් ගහලද මිල්ටන් මැරුනෙ? :-D “
බොස්: “ :-| “
කැම්පස් එකේ අපේ මිත්‍රයෙක් හිටියා, රස සාගරයක්, බයිට් ලෝකයක්. මේ බුවා ගැන කතාවක්.
අපි කැම්පස් ගිහින් ටික කාලෙකින්ම වලියක් නිසා කැම්පස් එක වැහුවා. මේ කාලේ ගෙදර ඉන්නකොට අපේ බුවාට සෙට් වෙලා පාට් ටයිම් ජොබ් එකක්. ඒ තමයි වැලි තොටුපොලක වැලි ගොඩදාන්න. (බුවා මේ වගේ කටු කන වැඩ වලට පැනලා කැමතියි) ගෙවීමත් හොදයිලු. ඉතිං බුවා ගෙදර ඉන්න ටිකේ කීයක්හරි හොයාගන්න පුලුවන් නේ කියලා මේකට යන්න හිතාගෙන ගෙදරට මේක කියන්න කල්පනා කරාලු.
බුවාට බුදු ෂුවර් වැලි ගොඩදාන්න යනවා කිව්වොත් නං අම්මයි තාත්තයි මේකට කීයටවත් ඉඩ දෙන්නෙ නෑ. ඉතිං බුවා හිතාගත්තලු බොරුවක් කියනවා, වෙන මොකක්හරි රස්සාවක් කියලා ෂේප් වෙනවා කියලා. නිකමටවත් වැලි කතාවක් නොකියා ඉන්න බුවා හිතාගත්තලු. ඉතිං බුවා අම්මට ගිහින් කිව්වලු, “අම්මේ මට පොඩි ජොබක් සෙට් උනා මේ ගෙදර ඉන්න දවස් ටිකේ කරන්න, හෙට ඉදන් යනවා“ කියලා.
අම්මා කිව්වලු “ආ හොදයිනේ, කොහොමද ගෙවීම හෙම?“ කියලා.
ඔන්න අවුල. අම්මා ඇහුවේ රස්සාව මොකක්ද කියලා නෙමෙයිනේ, ගෙවීම කොහොමද කියලනේ. බුවාට ආයෙ හිතන්නත් කලින් කටින් පිට උනාලු “ගෙවීම නියමයි අම්මේ, කූඩෙකට තුන්සීයක් දෙනවා!“ කියලා.
එතනින් බුවාගේ පාට් ටයිම් ජොබ් එක ඉවරයි :D
(මේක අවුරුදු 3ක් පරණ කතාවක්. ඊයේ මට අහම්බෙන් මතක් උනා. පින්තූරේ ගත්තේ ‘ද හින්දු‘ පත්තරෙන්)
සරසවි විභාග වල ප්‍රතිඵල ද නැවත සමීක්ෂණයට 2012 සිට අවස්ථාවක් ලබාදෙන බව කියැවෙන පුවතක් දැක මෙය ලියන්නට සිතුනි.
මා දන්නා පමණින් සරසවි විභාගයක ප්‍රතිඵල ගැන සැක ඇතිකරගැනීම පවා භයානක ප්‍රතිඵල ලැබිය හැකි දෙයකි. සාමාන්‍යෙයන් සරසවියේ උත්තර පත්‍ර යනු රහස්‍ය ලියවිලි වේ. උත්තර පත්‍ර බලන්නා හා සමීක්ෂණය කරන්නා යන දෙදෙනාගේ ඇසට පමණක් එය ගෝචර වේ. සාමාන්‍යෙයන් තමා උත්තර ලියූ පිලිතුරු පත්‍රයට ලකුණු ලැබී ඇත්තේ කෙසේදැයි එය අතට රැගෙන බැලීමට හෝ සිසුවාට වරම් නැත. තම ලකුණු ආවේ කෙසේදැයි දැනගැනීමට සිසුන්ට ක්‍රමයක් නැත. නෝටිස්බෝඩ් එකේ පලකරන තම සාමාර්ථය දැක සැනසීම හෝ වැලපීම පමණකි අවසන ඉතුරු වන්නේ.
මෙම රහස්‍ය භාවය නිසාම ඇදුරන් හට තමන්ට “නොදිරවන“ සිසුන්ට දඬුවම් දීමට මෙය අවියක් කරගත හැක. තමන් සමග “ඔරොප්පු“ වූ සිසුන්ගේ ලකුණු කපා, වාර ගණනාවක් එක පිට එක විභාග අසමත් කරනවන ඇදුරන් සරසවි වල බහුලය. (මින් අදහස් වන්නේ හැමෝම එසේ බව නොවේ.) මේ හේතුව නිසාම සරසවි සිසුහු ඇදුරන් අමනාප නොකරගෙන සිටීමටත්, “නෝට්“ නොවී සිටීමටත් උත්සාහ දරති, නිකං ටිංකිරි ගාගැනීමට අනවශ්‍ය නිසාය. මෙවැනි තත්වයක් මත, යම් සිසුවෙක් තම ප්‍රශ්න පත්‍රය නැවත සමීක්ෂණයට යොමු කර ඇතැයි දැනගත් කල පෙර කී ආචාර්යවරු මින් ඉදිරියට එම සිසුවාට කවරාකාරයෙන් සලකනු ඇත්දැයි යන්න ගැටලුවකි. මා දකිනා ආකාරයට මෙය දැනුම අතින් තමන් සිසුන්ට වඩා බොහෝ ඉහලින් සිටින නිසා ඒ මත ඇතිකරගත් මහන්තත්ත මනෝභාවයකි. “අපිට වඩා උන් දන්නවද? අපේ අතින් කොහොමද වරදින්නෙ?“ යනුවෙන් ආචාර්යවරු සිතනවා ඇතැයි මට සිතේ.
ආචාර්යවරුන්ගේ “රිටර්න් දීම“ සම්බන්ධයෙන් හොඳ හොඳ කතා පවතී. මාගේ තෙවසරක විශ්වවිද්‍යාල දිවියේද එවන් අත්දැකීම් බොහෝ ඇත. වරක් අපට එක් විශයයක් ඉගැන්වීමට ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් සිටියේය. ඔහු දේශනය ඇරඹූ මොහොතේ සිට අවසානය තෙක් එක හුස්මට, ඉතා වේගයෙන් කතා කරයි. මින් 10%ක් වත් අපට වැටහුනේ නැත. වර්ෂාර්ධය අවසානයේ දෙන feedback form එකේ අපේ එකෙක් “සර් ඔච්චර වේගෙන් කතා කරන්නේ මේ රස්සාවට එන්න කලින් කපුවෙක් වෙලා හිටියදැ?“ යි විමසා ඇත. මෙය දුටු ආචාර්යවරයාට ඌරු ජුවල් ගොස් ඇති බැව් අපට අධ්‍යයනාංශයේ ඩිමෝ (demonstrator) අයගෙන් දැනගත හැකිවිය. “මං ඕකුන්ට උගන්නන්නංකො හොඳ පාඩමක්“ යනුවෙන් එතුමා පවසා තිබුනි. කිව්වාත් වාගේම වර්ෂාර්ධය අවසානයේ විභාගයට තරු විසිවෙන ප්‍රශ්නපත්‍රයක් ලබාදුන් අතර, එය පරීක්ෂා කිරීමේදී අපිට හොඳ හැටි කපා තිබුනි.
feedback පෝරමය ලබාදෙන්නේ ෆීඩ්බැක් ගැනීමට නොවේදැයි මට එදා සිතුනි. feedback පෝරමයේ ලිවිය යුත්තේ ආචාර්යවරයාගේ ගුණ පමණක්ද? වැරදි පෙන්වීම නොනිසිද? නරක feedback එකක් දැක ඊට කෝප වීම කොයිතරම් දුරට සාධාරණද? නරක feedback වලට “මළ පනිනවා“ නම් සිසුන්ගෙන් feedback ගන්නේ ඇයි?
සරසවියේ මෙවැනි තත්වයක් තිබියදීත්, සිසුන්ට අවශ්‍ය නම් තම උත්තර පත්‍රය බැලීමට අවකාශ දී, ලකුණු ලැබී ඇත්තේ කෙසේදැයි පැහැදිලි කර දීම සිරිතක් කොට ගත්, සිසුන් සමග අමනාපකම් ප්‍රශ්නපත්‍රය පිටින් යැවීමේ නරක සිරිත් නැති, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගණිත අධ්‍යයනාංශයේ එක් ආචාර්යතුමියකට මාගේ ප්‍රණාමය පිරිනැමේ. එය අන් ආචාර්යවරුන්ටත් හොඳ ආදර්ශයකි.

හදිසියෙම මේක ලියන්න මතක් උනේ අද ෆේස්බුක් එකේ දැක්ක Question එකක් නිසා. E-Fm එකේ පේජ් එකෙන් අහලා තිබ්බා තමන් බුකියට ජොයින් උනේ කොයි අවුරුද්දෙද කියලා. මම ජොයින් උනේ 2007 දි. ඒ කියන්නෙ මගේ බුකි කෙරුවාවට දැන් අවුරුදු 4ක් වෙනවා. ඕක දැක්කාම මගේ බුකි ඉතිහාසය මතක් උන නිසා මේක ලියන්න හිතුවා.
මම වැඩියෙන්ම අන්තර්ජාලය ඇසුරු කරන්න ගත්තේ 2005දි ඒලෙවල් කරද්දි. ටියුෂන් පංති ඉවරවෙලා කෙලින්ම දුවන්නෙ කැෆේ වලට තමා. ඔය කාලෙ සෝෂල් නෙට්වර්ක් කියලා මුලින්ම සෙට් උනේ Tagged එකටයි, Hi5 එකටයි තමා. MySpace එකටත් සෙට් උනත් මට ඒක වැඩිය ඇල්ලුවෙ නෑ. ඔය කාලෙ සෝෂල් නෙට්වර්ක් එකකට ජොයින් උනා කියලා කරන්න වැඩකුත් නැතිතරම්. ඒවයෙ යාලුවො නැති ගාණයි. මොකද 2005දිත් ගාල්ලෙ ගෙදරම ඉන්ටර්නෙට් තිබුනෙ බොහොම අතලොස්සකට. ADSL තිබුණදත් මංදා ඒ කාලෙ. අනික සෝෂල් නෙට්වර්ක් වලට පොටෝ අප්ලෝඩ් කරන්න කියල පොටෝ ත් නෑ. පොටෝ ගන්න ඩිජිටල් කැමරාවත්, කැමරාෆෝන් වත් තිබ්බෙ නෑ ඒ කාලෙ මට. කොහොමහරි Tagged එකේදි මට තායි ජාතික ගෑණුලමයෙක් මුනගැහුනා. පැය 24ම ඔන්ලයින් හිටපු එයා එක්ක චැට් කරන එක තමා ඒ කාලෙ කලේ.
ඔහොම ඔහොම 2007 දි කැම්පස් එකටත් ආවට පස්සෙ මම කැම්පස් එකේ ලැබ් එකේදි Tagged යනවා බලං හිටපු මගේ මිත්‍රයෙක් වෙච්චි සෑම් අකුරුගොඩ මට කිව්වා “මචං, facebook කියලත් එකක් තියෙනවා, සෙට් වෙලා බලපං” කියලා. බුවා මට ලින්ක් එකත් එවලා එකවුන්ට් එකක් හදාගන්නත් උදවු කලා. ඉතිං සෑම් තමා මගේ බුකියේ මුල්ම friend උනේ. මේ කාලෙ අපේ බැච් එකේ උන්ගෙන් ඕනෙ නං 20කට ෆේස්බුක් එකවුන්ට් තියෙන්න ඇති. කොහොමහරි මට ඉක්මනට ෆේස්බුක් අල්ලලා ගියා. මට විතරක් නෙමෙයි, මට පස්සෙ ෆේස්බුක් එකට සෙට් වෙච්ච අපේ බැචාලා හැමෝටම වගේ ඒක අල්ලලා ගියා.
බුකිය අන්තිමේ මොන තරං ජනප්‍රිය ද කියලා මට තේරුනේ මෙහෙමයි. අන්තිම සෙමෙස්ටරේ ලෙක්චර් එකකදි මමයි ගයියයි පස්සෙ පේලියෙ ඉඳන් (ඔවු, අපි ලෙක්චර් වලට ගියාට පාඩම අහං හිටපු එකක්යැ) නිකමට බැලුවා මෙතනින් කාටද බුකියෙ එකවුන්ට් එකක් නැත්තේ කියලා. අපේ දර්ශන පථයට පෙනුනු 200ක් විතර සෙනග අතරින් බුකියෙ නොහිටියේ 10ක් විතර ගාණක් තමා :D
පාසල් කාලයේ රසවත් කතාවක් හදිසියේම මතක් උනා. රසවත් කතාවක් උනත් මේකෙන් ඉගෙනගන්නත් පොඩි දෙයක් තියෙනවා. මේකට සම්බන්ධ වෙන්නෙ රිච්මන්ඩ් විද්‍යාලයේ සිංහල උගන්නන සුදත් සමන්ත නාගහවත්ත ගුරුතුමා. කවුරුත් දන්නවනේ “සිංහල නාගයා” කිව්වාම! සර් සිංහල නාගයා උනේ කෘෂිකර්මය උගන්නපු නාගහවත්ත සර් “ෆාම් නාගයා” වෙච්චි නිසා :D
මේ සිද්ධිය උනේ අපි 8 වසරෙ නැත්තං 9 වසරෙ ඉන්න කාලෙ. ඔය කාලෙ නෙ ඉතිං කොල්ලන්ට ලවු පිස්සුව මෝරගෙන එන කාලෙ. ආදරේ කියන්නෙ මොකක්ද කියලා හරියට නොදැන, විරුද්ධ ලිංගිකයන් වෙත ඇති වන ජෛව විද්‍යාත්මක ආකර්ෂණය තමයි ආදරේ කියලා හිතාගෙන ඉන්න, ඒ උනාට ආදරේ ගැන අපි තරම් දන්න එවුන් නෑ කියලා හිතන කාලේ තමා ඔය. ඔන්න දවසක් සිංහල පාඩම වෙලාවේ මනමේ නාටකය ගැන මොකක්හරි කතාවකුත් ඇදුනු වෙලාවක නාගහවත්ත සර් හදිසියෙම මෙහෙම ඇහුවා අපෙන්.
“ගැහැණු චපල ද?”
“ඔවූඌඌ….” පොරවල් සේ අපි එකහඬින් උත්තර දුන්නා.
“එතකොට අම්මා?” සර් ඇහුවා.
ඔන්න කොල්ලො ටික තක්බීර් වෙලා ගියා.
“එතන පොඩි ප්‍රශ්නයක් තියෙනව නේද?” කියලා සර් හිනාවක් දාලා ආපහු පාඩම කරගෙන ගියා.
(මේ කතාව නිකං කියනවට වඩා රසවත් සර් ඔය වෙලාවේ මූණෙන් මතු කරපු හාස්‍ය රූපය. සර්ගෙන් ඉගෙනගෙන තියෙන අය දන්නවා ඇති සර් හිටපුගමන් දාන ඒ හාස්‍ය බැල්ම ගැන.)
මේ කතාව හදිසියෙම මතක් උනේ ඊයෙ පෙරේදා මට ෂේක්ස්පියර් ගේ හැම්ලට් නාටකයේ එන “Frailty, thy name is woman” පාඨය මතක් වෙච්චි නිසා.


සැලකිය යුතුයි
