
මේ බ්ලොග් කඩමාල්ල ඊයේට වසර 3ක් පැරණි ය. 2009 ජනවාරි 11 වෙනි දින පහන් සරත්චන්ද්‍ර ගේ මගපෙන්වීමෙන් මෙය ඇරඹුනේ “ඉන්ද්‍රනාමගේ සයිබර් සිතුවිලි“ යන නමින් blogspot.com හිදී ය. ඉන් පසු .com ඩොමේනයක්ද මිලදී ගනිමින් මෙය බ්ලොගර් වලින් වර්ඩ්ප්‍රෙස් වෙත පැමිණියේය. ඉන් අනතුරුව මෙහි නම ද වෙනස් විය. අද ලිපිය ලිවීමේ අරමුණ අවුරුදු 3ක මගේ බ්ලොග් කෙරුවාව ගැන පම්පෝරි ගැසීම නොවේ. බ්ලොග් කලාවේ මා දුටු වෙනසත්, එදා මා හා එකට බ්ලොග් ලියූ, අද මා මෙන්ම බ්ලොග්කරණයෙන් සමුගෙන ඇති සහෘදයන් සිහිපත් කිරීමය.
2009 මා බ්ලොග් ලිවීම පටන් ගන්නා විට සිංහල බ්ලොග් තිබුනේ 200ක් පමණ යැයි මා මීට කලින් කිහිප වතාවක් කියා ඇත. එකල සින්ඩිකේටර තිබුනේ දෙකකි, සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ එක හා කොත්තුවයි. එකල පාඨකයෝ තදින්ම සින්ඩිකේටර භාවිතයට ඇබ්බැහිව, එනම් බ්ලොග් කියවීම සදහා සින්ඩිකේටරම භාවිතයට පුරුදුව සිටියෝය. අද තත්වය බෙහෙවින් වෙනස් ව ඇත. ගත වූ අවුරුදු 3 ඇතුලත සක්‍රීයව ඇති සිංහල බ්ලොග් අඩවි සංඛ්‍යාව දහස ඉක්මවනු ඇතැයි සිතේ. සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ අභ්‍යන්තර ගැටුම්, ලාංකීය සිතුවිලි, ඉන් අනතුරුව හත්මාලුව වැනි නව සින්ඩිකේටර බිහිවීමේ ලා පුරෝගාමී වීය. අලුත් සින්ඩි බිහිවීමත් සමගම ඒ හා රොක් වූ පිරිස් මගින් බ්ලොග්කරණය වඩ වඩාත් ජනප්‍රිය විය. ක්‍රම ක්‍රමයෙන් බ්ලොග් අඩවි සංඛ්‍යාව වැඩි වීමත් සමගම සින්ඩිකේටරයකින් කියවීම මදක් වෙහෙසකාරී වූවාට සැක නැත. එහෙයින් දැන් බොහෝ දෙනා තමන්ට අවශ්‍ය බ්ලොග් අඩවි තමන්ගේ ගූග්ල් රීඩරයට එකතු කරගෙන කියවන ප්‍රවණතාවයක් ඇති බව පෙනේ. එමෙන්ම ශීඝ්‍රයෙන් ජනප්‍රියත්වයට පත්වූ facebook සමාජ ජාලය බ්ලොග් අඩවි වෙත පාඨකයන් රැස් කිරීමේ ලා මහත් සේවයක් ඉටු කිරීමට පටන් ගත් අතර වැඩි පිරිසක් facebook හි share වන බ්ලොග් ලිපි කියවීම, සින්ඩියක් හරහා කියවීමට වඩා සිරිතක් කොට ගත්හ.
සමස්තයක් ලෙස බ්ලොග් කලාව ගත් විට දියුණුවක් ලබා නැත්දෝ‘යි සිතේ. එකල තිබූ සුලු බ්ලොග් අඩවි සංඛ්‍යාවේ කියවීමට වැදගත් දේවල් පිරී තිබුනි. අද වන විට බ්ලොග් අඩවි සංඛ්‍යාවෙන් වැඩි වුවත් ඉන් වැඩි ප්‍රමාණයක් අන්තර්ගතයෙන් දුර්වල වී ඇතැයි සිතේ. මා බ්ලොග් ලිවීම ආරම්භ කල යුගයේ බ්ලොග් අවකාශයේ “ට්‍රෙන්ඩ්“ එක වී තිබුනේ තාක්ෂණික ලිපි ලිවීමයි. ඊට හේතුව වන්නට ඇත්තේ තාක්ෂණික මිනිසුන් විසින් සිංහල බ්ලොග්කරණය මුලින්ම ආරම්භ කිරීම වන්නට ඇත. ඉන් පසු ඇතිවූ නැඹුරුව වූයේ සාහිත්‍යයයි. පුවත්පතක හෝ වෙනයම් මාධ්‍යයක ඉඩ නොලැබෙන කෙටිකතා, කාව්‍ය ආදී සාහිත්‍යමය නිර්මාණ පූදින්නට බ්ලොග් අඩවි තෝතැන්නක් විය. මේ ට්‍රෙන්ඩ් එක අද දක්වාම නොනැසී පැවතියත්, වෙනත් නැඹුරුවක්ද ශීඝ්‍රයෙන් ඉස්මතු වනු පෙනේ. එනම් ආගිය කතා ලිවීමයි. මේවා තමන්ගේ අත්දැකීම්, මිතුරන්ගේ අත්දැකීම්, විහිලුතහලු, විනෝදයට මඩ ගැසීම් ආදී අනේක විධ ආකාර වේ. “අන් අයගේ ඕපදූප හා ආගිය විස්තර දැනගැනීමට මිනිසාගේ සහජ ආසාව නිසා මේ ට්‍රෙන්ඩ් එක ට්‍රෙන්ඩ් එකක් වී ඇතැ“යි පසුගිය සෙනසුරාදා බ්ලොග්කරුවන්ගේ හමුවේදී මේ ගැන මා හා සාකච්ඡා කල අයෙක් පැවසීය. එය සත්‍යයකැයි මම ද සිතමි. ආගිය කතා ලිපි හරසුන් යැයි කිසිවිටෙක නොකියමි. බොහෝ ඒවායින් ගන්නට යමක්, ඉගෙනගන්නට ආදර්ශයක්, තම ජීවිතයට එකතු කරගන්නට අත්දැකීමක් ඇත. කලින් තාක්ෂණික ලිපි ලියූ මම ද ක්‍රම ක්‍රමයෙන් මේ ට්‍රෙන්ඩ් එක වෙත යොමුවෙනු මට ම නිරීක්ෂණය කල හැකිය.
මා බ්ලොග්කරණය ඇරඹි සමයේ මා හා එකට බ්ලොග් ලියූ සහෘදයන් රැසක් සිහිපත් කිරීමට තිබේ. කණගාටුවකට මෙන් මේ සියල්ලෝම පාහේ දැන් එක්කො ලිවීම අතහැර දමාය, නැතහොත් ඉදහිට පමණක් ලියති. මා බ්ලොග්කරණයට ආධුනික වූ සමයේ බ්ලොග්කරණය සදහා සියලු තාක්ෂණික ආධාර ලබාගත්තේ පහන්ගෙනුත්, ශාකුන්තලගෙනුත්, චමිලගෙනුත්ය. උන් තුන් දෙනාට මම චැටය හරහා අනන්ත වාර ගණනක් ඇණේ වී ඇත්තෙමි. මලින්තලා, සුදාරකලා, කාලිංගලා, බුධාජීවලා, ගයාන් තාරකලා, ගයාන් කල්හාරලා, තමීරලා, ධනිකලා, ගයන්තලා, කනියලා, කනිරොක්ස්ලා, ඩීප්ස්ලා, බින්කුලා, හර්ෂණලා, මනුෂාන්ලා, තිළිණ බුවාලා සමග චැට් කරමින් වල්පල් දොඩවමින් වචන ලක්ෂ ගණනක් ටයිප් කරන්නට ඇත. මේ එකෙක්වත් අද හරියට බ්ලොග් නොලියති. එකල මේ හැම දෙනාටම නිදහස් වේලාව තිබුනත් අද මා මෙන්ම ඔවුන් සියලු දෙනාම පාහේ රැකියා සමග කාර්යබහුලව සිටිති.
මාගේ බ්ලොග්කරණයේ මේ තෙවැනි වසර තුල මා තරමක් දුරට idle වී සිටියේයැ‘යි කිවහොත් නිවැරදි යැයි සිතමි. මුල්තැන රැකියාවට දුන් නිසා නිතර ලිපි ලිවීමට අවකාශයක් ලැබුනේද නැත. කිසිදු සින්ඩියක් පැත්තේ පස් පෑගූ කලක් මතක නැති අතර මා බ්ලොග් කියවන්නේ ගූග්ල් රීඩරයට දන්නා කියන බ්ලොග් අඩවි ටික එකතු කරගෙනය. එහෙයින් කමෙන්ට් දැමීමක් හෝ සිදු නොකෙරුණි. එහෙත් මේ idle ව සිටි සමය තුල නූතන බ්ලොග්කරණය හා බ්ලොග් අවකාශයේ හැසිරීම ගැන මම යම් දෙයක් ඉගෙනගත්තායැ‘යි සිතමි. එය අනාගතයට වැදගත් විය හැකිය. එම කාලය තුල මා උගත් වැදගත්ම පාඩම වූයේ බ්ලොග් අවකාශය තුල aggressive වීම තරම් තවත් මෝඩකමක් නැති බවත්, කිසිදු දෙයක් දණෙන් ඉහලට ගැනීම නොමනා බවත්ය. වරෙක මේ බ්ලොග් අඩවිය වසා දමන්නටද සිතුනි. නොලියන බ්ලොගයක් තියාගෙන ඉදීමේ අර්ථයක් නොමැති නිසාවෙනි. එහෙත් මට මගේ රැකියාව ලැබුනේ මේ බ්ලොගය නිසා, මේ හරහා ලබාගත් වර්ඩ්ප්‍රෙස් සම්බන්ධ දැනුම නිසාය. එය සිහිවන විට මෙය අත්හැර දමන්නට සිත් නොදේ.
අවසන් වශයෙන් සිංහල බ්ලොග්කරණය දැන් ලබාගෙන ඇති එක් දියුණුවක් කෙරෙහි උදක්ම සතුටු වෙමි. එනම් බ්ලොග් හරහා ඇතිවූ මිතුරුදම් බ්ලොග් අවකාශයයෙන් පිටතට පැමිණීමයි. එකල බ්ලොග්කරුවන්ගේ සම්බන්ධතා සියල්ල තිබුනේ අන්තර්ජාලය හරහාම පමණි. නමුත් දැන් ලෝකය බෙහෙවින් කුඩා වී ඇත. බ්ලොග්කරුවන් බොහොමයක් සැබෑ ලෝකයේදී අන්‍යොන්‍ය සම්බන්ධයට මුල්තැන දී ඇත. එබදු සම්බන්ධකම් හරහා බ්ලොග්කරුවන් අතින් සංවිධානය වූ වැදගත් කර්තව්‍යයන් රාශියකි.
අර්ථයක් නැති මෙම ලිපිය තව තවත් දීර්ඝ වනු වැලැක්වීම්වස් මෙතෙකින් නවතනු යෙහෙකි. එහෙයින් ඔබ සැමට ජය පතා නිහඩවෙමි.

සැලකිය යුතුයි

ඇනිවසරිය ට සුබ පැතුම් මචං! Have been following your blog from early days…Keep up the good work…
ඒත් ආයිමත් ලියන්න අය්යේ,මම නම් ටෙක්නිකල් දේවල් ගෑන කිසිම දෙයක් දන්නෙ නෑ.තමන්ගෙ දෑනුම අනිත් අයත් එක්ක බෙදාගන්න පුලුවන්නම් අය්යට ඉඩ ලෑබෙන වෙලාවට හරි.එදා ගාල්ලෙ තිබුන ගෙට් ටු ගෙදර් එක ගෑන කියනවනම් මූණුපොත් හරහා හරි බ්ලොග් වල කමෙන්ට් වලින් හරි අදුනගත්ත අය හෑබෑවටම දෑකල අදුරගන්න ලෑබීම සතුටක්.
තෙවසරට සුභ පැතුම් සහෝදරයා.., ඒ උඹ වැනි එකෙක් Idle වීම පාඩුවකි..!
සුබ පැතුම්. මම ඔබේ බ්ලොග් එක පටන්ගත් දා සිට ම අඛණ්ඩ ව කියවන පාඨකයෙක් හැටියට මට හරිම සතුටුයි.
මම සිංහල බ්ලොග්කරණයට සම්බන්ධවෙන්නේ 2008 ජූනි. ඒ කාලේ උනත් සිංහල බ්ලොග් අවකාශය මීට වඩා බොහෝම සුන්දරයි. 100කටත් අඩු පිරිසක් තමයි ඒ වෙනකොට හිටියේ. කොහොම උනත් සිංහල බ්ලොග්කරණයට තව ගොඩක් දුර යන්න තියනවා. මේ ලිපිය කියවද්දී මට හිතුණා තව අවුරුදු ගණනාවකින් සිංහල බ්ලොග් ලියන අයට දැනගන්න සිංහල බ්ලොග්කරණයේ මුල, එහි ආරම්භක අවදියේ සිංහල බ්ලොග්වලට නිසි හැඩයක් දෙන්න උත්සාහ කරපු පිරිස ගැන කොහේ හරි තැනක ලියවෙනවා නම් කොච්චර හොඳද කියලා.
සුබ පැතුම් ! දිගටම ලියන්න හැකියාව ලැබේවා.
මාත් බ්ලොග් ලියන්න පටන් ගත්තේ ඉන්දරේ පටන්ගත්ත කාලේ වගේමයි. දැන් නම් බ්ලොග් ලියන්නේ නැහැ. ඒකාලේ බ්ලොග් තිබ්බේ ටිකක් නිසා ගොඩක් ඒවා බැලුවා. සිංඩි කියන එවා නම් දැන් බලන්නේම නැහැ. ෆේස්බුක්, ටුවිටරය සහ ගූගල් ප්ලස් හරහා තමා බ්ලොග් වැඩි හරියක් බැලෙන්නේ. ඉස්සරට වඩා දැන් ගොඩක් වෙලාවට කමෙන්ට් සහ හිට්ස් බලාගෙන බ්ලොග් ලියන වගක් තමා මට නම් පේන්නේ. බ්ලොග් ගොඩක් තියෙනවා ඒ වගේම ගොඩක් හොඳ බ්ලොග්නුත් සෑහෙන්න තියෙනවා
“අවසන් වශයෙන් සිංහල බ්ලොග්කරණය දැන් ලබාගෙන ඇති එක් දියුණුවක් කෙරෙහි උදක්ම සතුටු වෙමි. එනම් බ්ලොග් හරහා ඇතිවූ මිතුරුදම් බ්ලොග් අවකාශයයෙන් පිටතට පැමිණීමයි.”
අන්න ඒක තමයි වැදගත්ම පොයින්ට් එක..
ආ.. අවුරුදු තුනේ සංවත්සරයට සුබ පැතුම් හොඳේ
තෙවසරකට සුභ පැතුම් ඉන්දරේ! ආයේ හෙමින් සැරේ ලියන්න පටන් ගනිමු.. මමත් මොකක් හරි අල්ලන් ලියන්න ඕනි :) ඉස්සර ගැන කියනවා නම් ඇත්තටම නෙට් ගියේ සිංහල බ්ලොග් ටික කියවන්න බලාගෙන මුලින්ම ඔපන් කරන්නෙ ජීමේල් ඊට පස්සේ සිංහල බ්ලොගර්ස් සිංඩිය. ඉතින් එක පෙලට සිංහල බ්ලොග් කියවගෙන ගියා. ගොඩක් දේවල් ඉගන ගත්තා. ඒත් දැන් නම් මුලින්ම ජීමේල් ඊට පස්සේ ෆේස්බුක් :D
ඒ කාලෙ නම් පිස්සුම තමා……….උඹට මාව අමතක වුණානෙ අයියෙ…. උඹට දුන්නු ඇණ වල හැටියට!!
දිගටම ලියන්න ඉන්දරේ අයියා.. මගෙනුත් උණුසුම් සුභ පැතුං…!!!
දනිස්සෙන් පල්ලෙහා තියාගෙන ඉන්න එකනං ගොඩක් හොඳයි තමයි.
අනික මමත් බ්ලොග්කරණෙට ආවේ එහෙමත් නැතිනං බ්ලොග් කියවන්න ගත්තෙ “ඉන්ද්‍රනාමගේ සයිබර් සිතිවිලි” හරහා. ඒ ගැන මම තැන් තැන් වලත් කියලා තියෙන්නෙ.(ඒ කාලේ මම මේකට සැලකුවෙ දෙයියන්ට වගේ :D. ඉන්දරෙත් එක්ක චැට් කලේ අපේ ඉස්කෝලෙ ලොකු සර් එක්ක කතා කරනවා වගේ බොහොමද ගරු සරු ඇතිව.)
ඒ කාලේ කියොපු ලිපි වලින් මට මතක හිටපු එකක් අර තුන්වැනි ලෝක යුද්ධය ගැන ලියලා තිබුනු පොඩි ලියුං කෑල්ල. ඒක එදයින් එදා ආයි කියවන්න හෙව්වත් හොයාගන්න බැරි උනා. පුලුවන්නම් තියෙන තැන කියන්න.
කොහොමහරි මමත් සුබ පතනවා තුන්වෙනි අවුරුද්දට පාතැබු එකට. ලියන එක නවත්තන්න එපා. යාලුකම තර වෙන්නෙ මුණුපොතෙන් යාලුවො උනාම නෙමේ, කලින් බ්ලොග් ලියලා පස්සෙ මුණුපොතෙන් හමුඋනාම කියලයි මට නං හිතෙන්නෙ.
තාක්ෂණික පැත්ත ගැන ලිපි ලිවිමේදී හුදෙක් මෘදුකාංගයක් ගැන පමණක් විස්තර කරන ලිපි වැඩිපුර දක්නට ලැබේ. (එය වැරැද්දක් නොවුවත්) අවශ්‍ය වන්නේ දැනුවත් කිරීමේ ලිපි වැඩිපුර යෙදීමයි.
තෙවැනි සංවත්සරයට සුභපැතුම්.
උඹේ බ්ලොග් බෝද්දේ එකට සුභ පැතුම්!
උඹට කියන්න මං මෙච්චර කාලෙකට මයේ බ්ලොග් බෝද්දේ එක දන්නේ වත් නෑ බං. පාටියක් අරගෙනත් නෑ. කාලෙකින් පස් පාගලත් නෑ. මේ කමන්ට් එකක් දාන්නෙත් අහම්බෙන් සෑහෙන දවසකින්. ඒ දවස්වල තිබ්බ උජාරුව දැං නැතිව ගිහින්.
උඹ කිව්වත් වගේ බ්ලොග් එකට වඩා බුකියේ විවර්ස් ලා වැඩි නිසා වෙන්න ඇති මයෙ හිතෙ.
ඉස්සර දෙපාරක් විතර බ්ලොග් ලිවිල්ල නැවතුනාම මං කොලේ, පරණ ලිපි මුල ඉඳං කියවන එකයි, ඒවාට ලැබුනු කමන්ට් කියවන එකයි. එතකොට මාරම ගටක් ඇවිත්, ආයේ ලියන්න හිතෙනවා.
ඒත් දැං, පරණ ලිපි කියවන්න හිත හදා ගන්න වෙලාවක් නෑ බං.
හැපි බෝද්දේ!!!
සුබ පැතුම්.බ්ලොග් එක පටන්ගත් දා සිට ම අඛණ්ඩ ව කියවන පාඨකයෙක් හැටියට මට හරිම සතුටුයි. :)
වගේම වර්තමානයේ බ්ලොග්කරණය යන පැත්ත පැහැදිලි කරාට ස්තුතිය
ඒකාලේ නම් මරු තමා බං. සිරා කාලේ.. සුබ සුබ.
මගේ සුභ පැතුම්
සුභපැතුම්! අර කිව්වත් වගේ මූනුපොතේ තිබුනොත් හෝ ගූග්ල් සර්ච් එකකදි ආවොත් බ්ලොග් පෝස්ට් එකක් කියවනවා ඇරෙන්න පුරුද්දක් විදියට සින්ඩි වලට යන එකනම් සම්පූර්ණයෙන්ම නැවතිලා දැන්..
සුබ පැතුම් සහෝදරයා!!! :)
සුබ පැතුම් මගෙනුත්…. :-)
/* එම කාලය තුල මා උගත් වැදගත්ම පාඩම වූයේ බ්ලොග් අවකාශය තුල aggressive වීම තරම් තවත් මෝඩකමක් නැති බවත්, කිසිදු දෙයක් දණෙන් ඉහලට ගැනීම නොමනා බවත්ය.
*/
බ්ලොග් ලිවිය යුත්තේ විනෝදයටයි! සෑබෑ ලෝකයේ කළ නොහැකි දේ, එනම් අන් අයව තමන්ගේ මතයට වාද විවාද මගින් නම්මා ගැනීම මෙහි ද කළ නොහැක.
මගේ සුභ පැතුම්!
සුභපැතුම් ඉන්දරේ මල්ලි, ඔන්න ඔහේ මේ ආව වගේ හීන් සැරේ අහැක් තරං කල් ඇදගෙන යං.
අවු 3 උනේ බ්ලොග් වලිං WP වලට ගෙනාව නිසාද ?
මං හිතුවෙ උඹ හුගක් පරන බ්ලොග් කෙනෙක් කියලා..
එනි වේ ජය වෙවා මචං..!!! උඹේ ගොඩක් ලිපි වලිං මං හුගක් දේ ඉගෙන ගත්තා..!
bloger*
blogger*
අඩේ සුභ පැතුම් මචා!! මමත් මුලින්ම කියෙවුවේ ඉන්ද්‍රනාමගේ සයිබරු සිතුවිලි.
තුන්වෙනි කරණමට ජය හෝ!!!!
ඉස්සර තරම් ලියන්න කාලයක් නැති එක ඇත්තයි. සැරින් සැරේ හිතෙනවා මොකක් හරි දෙයක් ලියල දාන්න ඕන කියලා, වෙනකක් තියා ට්‍විටරයත් අමතකම වෙලා ගිහිල්ල තියන කාලෙක කොහොමද ඡේද දෙකක්වත් ලියන්න කාලෙ හොයාගන්නේ. බලමු.
අවුරුදු 3ක් පිරෙන වෙලේ මුලදි හිටපු සෙට් එක මතක් කලාට ස්තූතියි මචෝ.. දිගටම ලියපංකෝ අපි තවම බලනවනේ..
ඒ අස්සෙම සයිබර් යාත්‍රිකයෙක් හිටයා ලාවට මතකයි..
මමත් සෑහෙන කාලෙක ඉදන් උබේ බ්ලොග බලනවා,කමෙන්ට් කරන්නේ නැති උනාට,,සුභ පැතුම් බන්
බ්ලොග් කීයක් තිබුනත් වැදගත් බ්ලොග් තියෙන්නේ බොහොම ටිකයි. ඒ හින්දා වැදගත් එකක් නවත්තන්න එපා මචං. මම email subscribe කරන් ඉන්නවා බ්ලොග් ටිකක්. ඒ සෙට් එකේ මේ බ්ලොග් එකත් තියෙනවා.. ඒ හින්දා මගෙනුත් සුභ පැතුම්..!!
සුභ පැතුම්!
සුබ පැතුම් ඉන්දරේ
අඩේ දැං දැක්කෙ. සුභ පැතුම් වේවා කිව්ව!
ඒ කාලෙ සිද්දි මතක් කරන එකනං මරු. මමනං ඒ ඉස්සරත් ලොකුවට ලිව්වෙ නෑ. දැං ඒ තරංවත් නෑ. ඒ කාලෙ සිංහල බ්ලොග් සින්ඩිය කියෙව්ව. දැං ඒකත් නෑ. කම්මැලි උනාම විතරක් ගිහිං පොඩ්ඩක් බලනව.
නොලිය ඉන්නවට වඩා idle වෙන එක හොඳා මයෙ හිතේ. ඉඳල හිටල හරි ලියනවනෙ ඒ කියන්නෙ. ජය!
ඇත්තටම සහෝදරයා මමත් බ්ලොග් ලියන්න පටන් ගත්තේ පහන්ගේ,ශාකුන්තලගේ,ඔයාගේ බ්ලොග් බලලා තමයි. කාර්යය බහුලත්වය නිසා අප තරමක ලිවීමෙන් ඈත්වී සිටියද, මේ හරහා අප සියල්ලන්ම අලුත් මිතුරු සමාගම් ඇති කරගති. ලංකාව හතර දිග්බාගයේ සියළු දෙනාම එක්තැන් කල මේ අන්තර්ජාල ලිපි හරඹය තවදුරටත් අප සැම දෙනාම ඈත් නොකර එකා මෙන්ව එක් රොක් කරගෙන සිටියි
මම විවෘතයේ කවිරංග !
මමත් කාලයක් තිස්සේ අයියා සඳහන් කරපු කට්ටියගේ ලිපි බලනවා ඒත් කොමෙන්ට් කරන්න එකවුන්ට් එකක් හදාගත්තේ ලඟදි බ්ලොග් එකකුත් එක්කම…උබුන්ටු වල මෘදුකාංග ස්ථාපනය තමයි මම මුලින්ම ගූගල් එකේ සර්ච් කලේ ඒ කලාම මට හම්බුනු සයිට් අතර රවින්දගේ සටහන් පොත,ශාකුන්තල අයියාව එහෙම තිබුනා ඒ කොමෙන්ට් අතර ඔයාගේ බ්ලොග් එකත් තිබුනා එයාලා ඉඳලා හිටලා බ්ලොග් ලිව්වත් අද වෙනකන් ලියපුවා අති විශිෂ්ටයි මම අදටත් එයාලා ඒ ලියපුවාගෙන් ප්‍රයෝජන ගන්නවා…..ඒ හැමෝටමත් ඔයාටත් ස්තූති කරනවා ඒ සමාජ මෙහෙවරට බොහෝම ස්තුතියි ජය වේවා….ඉඩ ලද හැම විටකම ලියන්න