මගේ 2011 වසර ගැන සමාලෝචනයක්

On 2012 ජනවාරි 1, in ආගිය කතා, මගේ වැඩ, මට වෙච්ච දේවල්, by ප්‍රවීන් ඉන්ද්‍රනාම

2011 වසර ගෙවිලා අහවර උන වෙලාවේ ඒ ගැන පොඩි සමාලෝචනයක් කලොත් හොඳයි කියලා හිතුනු නිසා හදිසියේම මේ ලිපිය ලියන්න කල්පනා කලා.

2011 වසර පටන් ගත්තේ මගේ කැමරා පිස්සුව තද වෙලා. දැන් රස්සාවක් කරලා තමන්ටම කියලා කීයක්හරි හම්බුකරගන්න නිසා කැමරාවක් ගැනීමේ අවශ්‍යතාව තදින්ම දැනුනා. DSLR හීනේ වගේ පෙනුනත් එච්චර හරියක් කරන්න අමාරු බව තේරිලයි තිබුනේ. මේ නිසා ටිකක් හොඳ point and shoot එකක් ගන්නවා කියලා හිතාගෙන ඉන්නකොට තාත්තා කිව්වා ගන්න එකේ DSLR එකක්ම ගන්න කියලා. නමුත් එකවර ලක්ෂයක් විතර වියදං කරන්න නං හැකියාවක් තිබුනෙ නැහැ. ඔහොම ඉන්නකොට මගේ පැරණි බොස් කිව්වා තමන්ගෙ DSLR එක විකුණන්න කැමති බවත්, මුදල් කොටස් වශයෙන් ගෙවිය හැකි බවත්. ඉතිං මීට වඩා හොඳ වාසනාවක් තවත් ලැබෙන්නෙ නැති නිසා දෙන්නෙක්ගෙන් ලෝන් ගහලා වටිනාකමින් බාගයක් පමණ මුලින් ගෙවලා කැමරාව මිලදී ගත්තා. ඔන්න ඔහොම තමයි මම Pentax K20D වර්ගයේ කැමරාවක සහ Pentax FA 50mm කාචයක හිමිකරුවෙක් උනේ.

කැමරාව අතට ගෙන දවස් දෙකතුනකින් ශ්‍රීපාද වන්දනාවේ යන්නයි හිටියේ. මොකද ගිය අවුරුද්දේ හා හාපුරා කියලා ගියාට පස්සේ මම හිතාගත්තා ලංකාවේ හිටියොත්, පුලුවන් හැම අවුරුද්දෙම යනවා කියලා. නමුත් පෙබරවාරි මාසයේ පටන්ගත් වැසි කාළගුණය ඒ ගමනට හරස් උනා. ඒ නිසා 2011 දි ඒ ගමන යන්න බැරිඋනා. නමුත් කොහොමහරි මේ වසරේ ඒ අරමුණ ඉටුකරගන්නයි කල්පනාව.

ඉස්සර මට ට්‍රිප් වගේ දේවල් බොහොම අඩුවෙන් සෙට් උනේ. ඉස්කෝලෙ යන කාලෙ නම් අතේ ඇඟිලි ගානෙන් මනින්න පුලුවන් ට්‍රිප් ප්‍රමාණයක් කියතෑකි ගියේ. (ඒත් පොඩි කාලේ අපි පොලොන්නරුවේ ඉන්නකොට නං මම ඒ පැත්තේ නොගියපු තැනක් නැහැ.) ඒත් මේ කැමරාව මට චාරිකා යෝගයක් උදා කලා කිව්වොත් තමා හරි. 2011 අවුරුද්ද ඇතුලත මම සෑහෙන්න ට්‍රිප්, චාරිකා ගොඩක් ගියා. ෆේස්බුක් එකේ මගේ යාලුවො නං පින්තූර ඇල්බම් දැකලා ඇති.

2011 අප්‍රේල් මාසේ පැවැත්වුනු අවුරුදු උත්සවයෙදි බ්ලොග් ලියන සෑහෙන්න පිරිසක් දැන අඳුරගන්න පුලුවන් උනා. ඒ අය ඊට පස්සේ එකතුවෙලා ගිය ට්‍රිප් එකට නං යන්න බැරිඋනා හදිසියේ වැටුනු වැඩක් නිසා.

ඔහොම යනකොට අගෝස්තු මාසෙ දවසක මට හදිසියෙ ආරාධනාවක් ලැබුනා කඩුගන්නාවෙ ඉඳන් ඉහල කෝට්ටේ දක්වා රේල්පාරේ පයින් යන්න චාරිකාවකට එක්වෙන්න කියලා. ඒ ගමන ගියා විතරක් නෙමෙයි ඒක අවසන් උනේ මමත් දුම්රිය ලෝලියෙක්, railway enthusiast කෙනෙක් බවට පත්වෙලා. ඒ ඉඳන් දෙසැම්බර් 31 දක්වා මාස හතරක කාලය තුල දුම්රිය පාරේ සිරි නරඹන්න, පින්තූර ගන්න ගමන් 5ක් 6ක් විතර යන්න පුලුවන් උනා. ඒ සියල්ලම සඳහා ගෙහාන් චන්දිකට ස්තූතිවන්ත වෙන්න ඕනේ.

රැකියාව ගැන කිව්වොත් අපේ සමාගමත් මේ වසර තුල ශීඝ්‍ර වර්ධනයකට පත්වුනා කියන්න පුලුවන්. රැකියාව තුලින් මට ස්ථාවරත්වයක් ගොඩනගාගන්න පුලුවන් උනා කියලා  හිතනවා. මිතුරු මිතුරියන් ගැන කිව්වොත් මගේ හොඳම මිත්‍රයා පසුගිය වසරේදී පියෙක් බවට පත්වුනා. තවත් මිතුරියක් දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නවා.  විශ්වවිද්‍යාලයේ මිතුරු මිතුරියන් ජෝඩු දෙකක් වසර හතරක් පෙම්වතුන් වෙලා ඉඳලා වෙන්වුනා. විශ්වවිද්‍යාලයේ මිතුරියක් විවාහ උනා. පුද්ගලික ජීවිතේ ගැන කිව්වොත්, නංගී වෛද්‍ය පීඨයට ඇතුලුවුනා, මගේ වෙන්ට-හාමිනේට සම්පත් බැංකුවේ රැකියාවක් ලැබුනා. මම විශ්වවිද්‍යාල කාලයේ හිටියාට වඩා මහත් උනා.

ඔන්න ඔය විදියට 2011 වසර සාරාංශ කරන්න පුලුවනි. පොදුවේ ගත්තොත් 2011 කියන්නේ මට “චාරිකා වසරක්“. (2012ත් ඒ වගේ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද ඉතිං බඳින්න කලින් ගහන රස්තියාදු ටික ගහගන්න එපායැ. බැන්දට පස්සේ ඔහොම හිතූ හිතූ වෙලාවට ට්‍රිප් යතෑකියැ) ඒ වගේම 2011 වසර  මට සාමාන්‍යයෙන් හොඳයි කියලා හිතෙනවා. 2012 ත් ඒ වගේම වෙන්නයි කියලයි ප්‍රාර්ථනාව, මොකද ජීවිතේ වැදගත් සිදුවීම් වෙන්න ඉඩකඩ තියෙන නිසා :) සෑහෙන්න අලුත් මිතුරු මිතුරියන් රැසක් ඇතිකරගන්නත් 2011දි මට ඉඩකඩ ලැබුනා.

ලිපිය අවසාන කරන ගමන් මේ 2012 වසරේදී ඔබ සැමට ඔබගේ බලාපොරොත්තු ඉටුකරගන්න හැකිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

2011 පෙබරවාරි - ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය

2011 අප්‍රේල් - සයිබර් මිතුරන්ගේ අවුරුදු උත්සවය

2011 අප්‍රේල් - පවුලේ අය සමග කතරගමට

2011 ජුලි - විශ්වවිද්‍යාල මිතුරන් සමග සීගිරියට

2011 අගෝස්තු - පවුලේ අය සමග නුවරට

2011 සැප්තැම්බර් - කඩුගන්නාවේ සිට ඉහලකෝට්ටේට රේල්පාර දිගේ

2011 ඔක්තෝබර් - පට්ටිපොල සිට ඉදල්ගස්හින්න, ඇල්ල සිට දෙමෝදර, බදුල්ල දුම්රිය මාර්ගය දිගේ

2011 ඔක්තෝබර් - කාර්යාලීය සගයන් සමග නුවරඑළියට

 

2011 දෙසැම්බර් - ග්‍රේට් වෙස්ටර්න් සිට තලවාකැලේ රේල්පාර දිගේ

2011 දෙසැම්බර් - ඉඟුරු ඔය සිට ගලබොඩ රේල් පාර දිගේ

තවත් පින්තූර කිහිපයක් දැකගන්න, මගේ Flickr ඇල්බමයත් බැලුවොත් නරකද?

 

14 Responses to මගේ 2011 වසර ගැන සමාලෝචනයක්

  1. kumaraya පවසන්නේ:

    ෂා .. ෂා … අලුත් අවුරුද්දෙ ඉරිසියා හිතෙනව අප්පා …
    කොහොම වුනත් ඔබ තුමන්ටත් .. ඔන්න සුබ නව වසරක් වේවා කියල පතනවා.

  2. සාබිත් පවසන්නේ:

    සූභ අළුත් අවුරුද්දක් වේවා ඔබටත්!

  3. kathandarakaraya පවසන්නේ:

    මං ෆයිනල් ඉයර් එකේ දී ඉන 28. වැඩට ගිහින් නයිට් කරලා ඒක 26 ට බැස්සා. ඒ ජොබ නැවැත්තුවා විතරයි 34 දක්වා වැඩි වුණා.

    ප්‍රචේසමෙන් ඉන්දරේ!

    HNY2012-2U!

  4. පූසා පවසන්නේ:

    අලුත් අවුරුද්ද සුභ වේවා!

  5. Dar[K] පවසන්නේ:

    ඔබ තුමන්ටත් .. ඔන්න සුබ නව වසරක් වේවා කියල පතනවා.

  6. Niroshini පවසන්නේ:

    මගේ DSLR සිහිනයත් 2011 අවුරුද්ද අන්තිම සැබෑ උනා :D මම ගත්තේ canon 1100D එක zoom lense එකත් එක්කම…

    සුභ අලුත් අවුරුද්දක් ඔයාටත්!

  7. නෙරංජි පවසන්නේ:

    හම් අපූරු ලිපියක්!!!!

  8. WickZ පවසන්නේ:

    අප්පච්චියේ කෝමද මේක මට මගඇරුණේ :O
    එල එක උඹට මේ අවුරුද්දත් චාරිකා ලෝකයක් වෙයි ;)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>