ලාංකිකයන් මෙතරම් මැට්ටන් වූයේ කෙසේද?

On 2010 මැයි 9, in කාලීන, තාක්ෂණික, by ප්‍රවීන් ඉන්ද්‍රනාම

ඊයේ දිවයින සිසාරා පැතිර ගිය ජංගම දුරකථන “වෛරස“ භීතිකාව නැවත වතාවක් මේ ශ්‍රී දිවයිනේ අරක්ගෙන සිටින්නේ ටොප් ක්ලාස් මැට්ටන් විශේෂයක් බව ඔප්පු කර පෙන්වීය. මේ පිලිබඳව දැනට ඇති තරම් බ්ලොග් ලිපි ලියැවී තිබුණද මේ සම්බන්ධයෙන් මගේ දැක්මද ලියා තැබීම වටිතැ‘යි සිතුනෙන් මෙසේ ලියමි.

සාමාන්‍ය පරිද්දෙන් ගෙවී ගිය ඊයේ උදෑසන 10ට පමණ මගේ විශ්වවිද්‍යාල මිතුරියක් මා හට දුරකථන ඇමතුමක් දී පවසා සිටියේ ජංගම දුරකථන වලට නන්නාඳුනන අංක කීපයකින් පැමිණෙන දුරකථන ඇමතුම් විශේෂයක් ඇති බවත්, ඉන් අධි සංඛ්‍යාත නාදයක් නිකුත්වන බවත්, එයින් මොලයට හානි වී කීපදෙනෙකු මියගොස් ඇති වග ආරංචි වී ඇති බවත් ය. මෙය DD News නම් චැනලයක පල වූ පුවතක් බව ආරංචි යැයි පැවසූ ඇය DD News යනු කුමක්දැයි මගෙන් විමසා සිටියාය. එවැන්නක් මා අසා නැති බව මම කීවෙමි. කෙසේ වෙතත් ඇයට අවශ්‍ය වූයේ මේ ආරංචිය සත්‍යයක්දැයි දැනගැනීමටත්, යම්හෙයකින් සත්‍යයක් නම් අපේ මිතුරන් සියලු දෙනා වෙත ආරංචිය ලබාදිය හැකි මාර්ගයක් සෙවීමත්ය.

මා නැවත දුරකථනයෙන් බැහැරව පරිගණකය වෙත පැමිණ වාඩි වන විට මා සම්බන්ධ වී සිටින Facebook group එකකින් මේ සම්බන්ධ පණිවුඩයක් පැමිණ තිබුනි. එය මෙස් විය,

Hi All,
Its very important news for all of you. Do not pick up calls from the Under given numbers.
9888308001,
9316048121,
9876266211,
9888854137,
9876715587 ,
These numbers will come in red color, if the call comes up from these numbers. Its with very high wave length, and frequency. If a call is received on mobile from these numbers, it creates a very high frequency and it causes brain ham range.
It’s not a joke rather, its TRUE. 27 persons died just on receiving calls from these numbers. Watch Aaj Tak (NEWS), DD News and IBN 7.
Forward this message to all u’r friends and colleagues, and relative







Share








මෙහි DD News යනු ඉන්දියානු දූරදර්ශන් රූපවාහිනිය බවත්, IBN යනු තවත් එවැනිම ඉන්දියානු චැනලයක් බවත් මට සොයාගත හැකි විය. එහෙත් එම අඩවි දෙකෙහිම ඔය කියන වර්ගයේ Breaking News එකක් දක්නට නොලැබිණි. මගේ ඊලඟ පියවර වූයේ මා සාමාන්‍යයෙන් කරන පරිදිම ගූග්ල් සර්ච් එන්ජිමේ පිහිට පැතීමයි. මා කලේ නිකමට මෙන් මෙහි සඳහන් මුල් අංකය වන 9888308001 යන්න සෙවුමක් කර බැලීමයි. සමස්ත සිද්ධිය පිලිබඳවම පූර්ණ අවබෝධයක් ලබාගැනීමට එය ප්‍රමාණවත් විය.

පිලිගත් වෙබ් අඩවියක් වන About.com හි මෙම අංකය ඇතුලත් ලිපියක් මගේ අවධානයට යොමු විය.[1] එහි මාවෙත ලැබුනු ලිපිය කිසිදු වෙනසකින් තොරව සම්පූර්ණයෙන්ම පාහේ අඩංගු විය. එහි සඳහන් වූ ආකාරයට මෙය 2007 අප්‍රේල් 13 වෙනි දින මුලින්ම පාකිස්ථානයේ ප්‍රචාරය වූ අසත්‍ය ප්‍රචාරයකි, එනම් hoax[2] එකකි!

අපේ වැසියන් ඊයේ බිය වී ඇත්තේ වසර ගණනක් පැරණි මෝඩ ජෝක් එකකටය! මෙය ලංකාවේ පැතිරීමේ මූලය කුමක්දැය නොදන්නා නමුත් මා සැක කරන්නේ එය fm චැනලයක ආනුභාවයෙන් සිදුවූවක් විය හැකි බවය. අන් චැනල පරදා පැයෙන් පැය කීමට උණුසුම් පුවත් එක්කාසු කරන අතරතුර chain email එකක් සේ පැතිරී ඇති ඔය කියන පණිවුඩය චැනලයේ කිසිවෙකුට ලැබෙන්නට ඇත. එය දුටු තැනැත්තා සොයාබැලීමකින් තොරව වහා එය ප්‍රචාරය කරන්නට ඇත.

මගේ මිතුරියට නැවත කෝල් කර බියවීමට කරුණක් නැති බවත්, මෙය බොරු ප්‍රචාරයක් බවත් දැනුම් දුන් මා ඊලඟට කලේ ඒ බව facebook status message එක ලෙසද පලකිරීමයි. පණිවුඩය එවා තිබූ facebook group එක වෙතද මෙවන් බොරු සඳහා ප්‍රචාරය දීම නවත්වන්නැ‘යි කියා උත්තර ලිවීමෙන් පසුව මා කලේ පෙර කී පණිවුඩය හොඳින් කියවා බැලීමයි. එහි රසවත් තැන් රැසක් දක්නට ලැබේ.

  • පණිවුඩයක් පැමිණෙන දුරකථන අංක නිවැරදිව දන්නවා නම් ඒවා බ්ලොක් කිරීම දුරකථන සමාගම් වලටම කල නොහැක්කේ මන්ද?
  • “These numbers will come in red color“ – මින් අදහස් වන්නේ ඇමතුම පැමිණෙන විට අංකය රතු පැහැයෙන් තිරයේ දිස් වන බවද? කිසිදු දුරකථනයක පැමිණෙන ඇමතුමක CLI විස්තරය ඇමතුමට ඕනෑ හැටියට පාට පාට කිරීමට පහසුකම් නැත. එපමණක් නොව ඒක වර්ණ (monochrome) තිර සහිත දුරකථන වලදී මෙම ඇමතුම් කෙසේ පෙනේවිද?
  • “Its with very high wave length, and frequency“ – ලියා ඇති සැටියෙන් හැඟෙන්නේ අදාල ශබ්දය අධි තරංග ආයාම හා අධි සංඛ්‍යාතයෙන් යුතු බවකි. විද්‍යාව ඉගෙන ගෙන ඇති අය මෙය කිසිසේත් සිදු විය නොහැක්කක් වග දන්නවා ඇත. තරංගයක තරංග ආයාමයත්, සංඛ්‍යාතයත් අතර ඇත්තේ ප්‍රතිලෝම සම්බන්ධයකි. එනම් එකක් වැඩිවේ නම් ඊට සාපේක්ෂව අනික අඩුවේ. v = fλ යන තරංග සමීකරණයෙන් මෙම සම්බන්ධතාව දැක්වේ.
  • GSM ජාලයක් හරහා යැවිය හැකි උපරිම තරංග සංඛ්‍යාතය පිලිබඳව මා නොදනී. නමුත් ජංගම දුරකථනයේ ඇති දුර්වල ස්පීකරයෙන් මිනිසාට හානිකර මට්ටමේ අධි සංඛ්‍යාතයක් නිපදවිය හැකියැයි මා නොසිතමි. දුරකථනයේ ස්පීකරය ශ්‍රව්‍ය පරාසයේ ඇතැම් සංඛ්‍යාත වලට පවා සංවේදී නැත. ඇතැම් ශබ්ද ඉන් නෑසෙන්නේ එහෙයිනි. දුරකථනයේ ස්පීකරයෙන් අමිහිරි ශබ්දයක් නිකුත් වේ නම් අවිඥාණිකවම අප කරන්නේ වහා දුරකථනය කණෙන් ඈත් කිරීමය. අදාල හඬ අපට ඇසෙන කාලය තත්පරයකටත් අඩු විය හැකිය. එසේනම් තත්පරයකටත් අඩු කාලයකදී මිනිසෙක් මරාදැමිය හැකි වීමට එය සුපිරි ශක්තියකින් යුත් තරංගයක් විය යුතුය. නමුත් පරහකට ඇත්තේ ජංගම දුරකථනය යනු වොට් 2ක පමණ කුඩා ශක්තියක් පමණක් නිපදවිය හැකි දුර්වල යන්ත්‍රයක් වීමයි.
  • අහවල් චැනලයේ මේ පිලිබඳව ප්‍රචාරය වූවායැයි කියා තිබෙනවා මිස ඒ සඳහා පිලිගත හැකි සාක්ෂියක්, අඩු තරමේ වෙබ් පිටුවක ලින්ක් එකක්, හෝ පල කර නැත. මේ ආකාරයෙන් පැමිණෙන්නේ සත්‍ය තොරතුරු නොව chain letters බව ඊමේල් සමග ගණුදෙනු කරන්නන් හොඳින් දනිති.

කෙසේ වුවද මේ කිසිවක් නොසලකා දිවයිනේ වැසියෝ හොඳහැටි කලබල වූහ. නූගත් ගැමියන් ඉන් කලබල වීම සාධාරණය. නමුත් අධ්‍යාපන තත්වයක් ඇති උගත් මිනිසුන් පවා දුරදිග නොබලා මේ බොරු ආරංචිය මුදල් වියදම් කරගෙන අන් අයට sms මාර්ගයෙන් පතුරා හරිනු දැකිය හැකි වීම කණගාටුවට කරුණකි. අන්තර්ජාලයේ ගැවසෙන්නන් හට මෙය අන් අයට ඊමේල් කිරීමට, facebook message යැවීමට පෙර නිකමට ගූග්ල් සෙවුමක් කර බැලුවේ නම් සත්‍යය සොයාගන්නට ඉඩ තිබිණි.

සාමාන්‍යයෙන් මේ රටේ සිදුවන පරිද්දෙන්ම පසු පසු වන විට මේ කටකතාව පැතිරී තිබුනේ තවත් විකෘතිවීම් රැසකට බඳුන් වී ය. ඉන් ඇතැම් කතාවකට අනුව පැමිණෙන්නේ sms එකකි, ඉන් දුරකථනය පුපුරා විනාශ වේ. ඇතැමුන්ට අනුව පැමිණෙන sms එකෙන් රෝග කාරක වෛරසයක් බෝ වේ. විද්‍යුත් මාධ්‍යයක් හරහා ජෛව වෛරසයක් පැතිරිය හැකි යැයි සිතන මිනිසුනුත් මෙහි සිටීද! අදාල ඇමතුම් පැමිණි විට දුරකථනයෙන් විෂ වායුවක් පිටවන කතාවක් ද පැතිරී ඇතැයි ආරංචි වුවද එහි සත්‍යාසත්‍යතාවය නොදනිමි. මගේ තවත් මිතුරියකට ඇය හඳුනන හෙදියක් විසින් පවසා ඇත්තේ ඇය සේවය කරන රෝහලට අසනීප වූ මිනිසුන් ද ගෙන ආ බවය! බියෙන් මුසපත් වූ ඇය මිතුරන්ට sms එකක් ගසා වහා දුරකථනය විසන්ධි කල අතර ඊයේ දවස පුරාම ඇය සම්බන්ධකර ගැනීමට නොහැකි විය! හෙදියක් එබඳු කතාවක් පැතිරවීම වඩාත් දරුණු තත්වයක් බව නොකිවමනාය.

කලක් තිස්සේ මා නිරීක්ෂණය කල ආකාරයට ලාංකිකයන් පුරුදු වී ඇත්තේ ආරංචියක් ලැබුනු විට එය පිලිබඳව දෙවරක් සිතා බැලීමට නොව එය ඉස්මුදුනෙන් පිලිගෙන හොඳහැටි කලබල වීමටත්, අන් අයද කලබල වන අයුරින් එය පතුරවාහැරීමටත් ය. මෙය ලාංකිකයන් ගේ ජාන වල වැරැද්දක්ද, සංස්කෘතියේ වැරැද්දක්ද, හැදියාවේ වැරැද්දක්ද, නැතහොත් ලැබූ අධ්‍යාපනයේ වැරැද්දක්දැ‘යි සිතා බැලීම ඔබට බාර කරුණකි.


  1. About.com : ‘Death Calls’ / ‘Killer Phone Number’ Warnings
  2. Wikipedia : Hoax

Tagged with:  

19 Responses to ලාංකිකයන් මෙතරම් මැට්ටන් වූයේ කෙසේද?

  1. බුධාජීව පවසන්නේ:

    ඔතන තියෙන්නේ දන්න කස්ටිය අනිත් අය බය කර ආතල් ගැනීම සහ නොදන්න අය සිරාවට බය වීම! :P

  2. Sudantha පවසන්නේ:

    its a real joke ,even shame on lot of educated ppl also like believing this crap ,anyway i just took a call for one of this number , it didn’t connected but after some time it stated to give missed calls to me !

  3. ගයාන් තාරක පවසන්නේ:

    තල් අත්ත උඩට බෙලි ගෙඩිය වැටුනම දුවපු හාව ගැන අහල ඇතිනේ. මේකත් ආං ඒවගේ වැඩක් තමයි. අපේ අයටත් අහස කඩන් වැටෙනවා කියන්න මේ වගේ පුංචි දෙයක් ඇතිවෙයි. මාධ්‍ය කියන්නෙත් කලාවත් හැබයි ඒක වගකීමකින් යුතුව කරන්න ඕන

  4. Niroshinie පවසන්නේ:

    හික්ස්. මේ වගේ කතාවක් ගැන කියවෙන නව කතාවක් නම් තියෙනවා. කට්ටිය ඒක කියෙව්වොත් මොනවයින් මොනව වෙයිද!
    මෙන්න නව කතාව!

  5. මනුශාන් පවසන්නේ:

    මම දැනන් හිටියෙ නෑ මේ සීන් එක මෙච්චර දුර දිග ගිහින් කියලා පෙරේදා රෑ ස්කයිප් චැට් එකකින් ඔය සිද්දිය දැනගත්තත් මමත් ඒක නොසලකා හැරියා මොකද ඉන්ටර්නෙට් එකේ ඔය වගෙ ගොන් පාර්ට් අනන්තවත් දැකලා තියෙන නිසා
    ඉයේ බලද්දි ඒක රටෙම මාතෘකාව වෙලානේ :P

  6. v පවසන්නේ:

    ඉන්දරේ කොම කොම හරි ඔයගේ ඔය ස්ටේටස් මැසේජ් හුගක් දුර ගිහින් තිබ්බා.හුග දෙනෙක් ඔයාගේ නමත් එක්කම ඕක දාල තිබ්බා මෙහෙම

    නොදන්නා නම්බර් වලින්, මොලයට damage කරන high frequency phone call එනවාය කියලා පැතිරෙන කතාව විශ්වාස කරන්න එපා. ඒක hoax එකක්. ඔය බොරුව ලඟදි ආපු එකකුත් නෙමෙයි, 2007 දි පැතිරෙන්න පටං ගත්ත බොරු කතාවක්. ඒක chain letter එකක් වගේ ආයෙ ආයෙ පැතිරෙනවා. ඔය වගේ බොරු විශ්වාස කරන්න එපා. (උපුටා ගැනීම ඉන්දරේගේ තාප්පයෙනි)

  7. bunny පවසන්නේ:

    ඔය මගුල කෙසේවෙතත්. අපෙ රටෙ ටෙලීෆෝන් සමාගම්නම් ලොකු අදායමක් ඉපෙයුවා ඊයෙ දවසේ… :-D

  8. indika kumara පවසන්නේ:

    මට ඔය කෝල් එක ආවහම මම කිව්වෙ
    යෝදියෙ පෝන් එකෙ බෝම්බයක් සෙට් කරල තියෙනවද ඔහොම ඩැමේජ් වෙන්න…ඕකට සමහරු මල එල් ටී ටී එකත් ඇල්ලුව….

  9. සීසර් පවසන්නේ:

    ඒකට මට හිනා කියලා තමයි කියන්න තියෙන්නේ. වයිරස් එකකින් අපේ ෆෝන් ඩිස්ප්ලේ එක රතු වෙනවා…හෙහ්…හෙහ්…

    මතකනේ කාලයක් වතුරට වහ දැම්මා.. ඒකනම් සාධාරණයි කියන්න පුලුවන්… ඒත් මේක??

  10. Nadun Dissanayake පවසන්නේ:

    සිරාවටම මටත් හිතාගන්න බෑ අපේ ලංකාවේ මෙච්චර මෝඩයෝ ඉන්නවාද කියලා. Live @8 එකේ මිනිස්සු එදා දවසේම Phones Off කරලා තිව්වා කිව්වම මට පොලව පලාගෙන යන්න හිතුනා. එහෙමත් කියන විදියට වැඩ කරනවානම් අපිට ප්‍රභාකරන් මීට කලින් බොහෝම ලේසියෙන් මරන්න තිබුණා. ඇමරිකාවට බින් ලාඩන් අල්ලන්න එච්චර මහන්සිවෙන්න ඕන නෑ එහෙනම්. ඇත්තටම අපි දියුනුයි කියලා කියාගත්තට, වසර දහස්ගණන් පැරණි ශිෂ්ධාචාරයක් තියනවා කිව්වට අපේ මිනිස්සුන්ට නම් මොලේ කළඳක් වත් නෑ කියලා තමයි මටනම් හිතෙන්නේ.
    ඇත්තටම ශ්‍රීලාකිකයන් විදියට මටම අපේ මිනිස්සුගැන ලැජ්ජයි.

  11. කසුන් නදීශන පවසන්නේ:

    මම හිතන්නේ ඕකට හේතුවෙලා තියෙන්නේ ලාංකීක ජනයා කුඩා දෙයකට උවත් දැඩි ලෙස කලබල වීම. අනෙක් හේතුව මෙවැනි තාක්ෂණික දේ ගෙන ලාංකීක බහුතර ජනයාගේ දැනුම අඩුකමත් හේතුවෙලා තියෙනවා. මම සෙනසුරාදා ගොඩක් අයට කෝල් කරන්න හැදුවත් ගොඩක් අයගේ පෝන් ඕෆ් කරලා ඔය වගේ කතාවක් එක එක අය කිව්වට මම ගණන් ගත්තේ නැහැ. මම නිකමට Facebook එකට ගියහම ඔයාගේ state එක දැක්කා. අනික රතු පාට නම්බර් එකකින් එනවා කියන කතාවෙන්ම ඕක බොරු කියලා තේරෙනවා. අධි සංඛ්‍යාත තරංග තියා කෝල් එකක් ගන්නත් සිග්නල් නැති රටක ඕක හිනායන කතාවක්.

  12. Atula Siriwardane පවසන්නේ:

    සිංහලයන් මේ තරම් මැට්ටන් වූයේ ඔවුන්ගේ දෙමව්පියන්, නෑ හිතවතුන් උපන්දා සිටම ඔවුන් මැට්ටන්, අබ්බගාතයන් හා අංගවිකලයන් ලෙස සලකා වඩාගෙන සුරතල් කරමින් ඔවුන් ජීවිතයට මුහුණ දීමට ඉගෙන ගන්නා වටිනාම කාලය ඉතා මුග්ධ අයුරින් කා දැමීම නිසාය.

  13. Nadun Dissanayake පවසන්නේ:

    ලාංකිය ජාතිය මේතරම් දුර්වල වුනේ මේ තියන විවාහ ක්‍රමයේ වැරැද්ද මචං. වාසනාවට දැන් ඉන්න අය නම් එහෙම නෑ. ඉස්සර ‍කවුරුත් බැන්දේ තමන්ගේ කුලයේ අය විතරයි. ඉතිං ඒ කුලයේ අයගේ දක්ෂතාවය බෙර ගැසීම කියලා හිතමු, එතකොට ඔවුන්ගේ දරුවන්ට අමුතු ජාන අලුතෙන් එකතු වුනේ නෑ. ඔවුන් ඒ අම්මලා තාත්තලාගෙම ලමුන් විතරයි.

    මේ කුල ක්‍රමය නැතුව වෙනත් කුල වල අය තමන්ට ගැලපෙන හෝ නොගැලපෙන කුල වල අය කසාද බැන‍්දොතින් අන්න එදාට ඔවුන්ගේ පරම්පරාවට අලුත් ජාන එකතු වෙනවා. එතකොට අලුත් නිර්මාණයක් බිහිවෙනවා.
    මගේ මතය නම් අපේ තිබුන සංස්කෘතියේ පොඩි වැරැද්දක් තමයි ඒක. නමුත් දැන් නම් එහෙම වෙන්නේ නෑ. අපේ අයියා කෙනෙක් පිටරට ගිහින් සුද්දියෙක් බැන්දා. ගෙදර අය කවුරුත් විරුද්ධ වුනා , තරහ වුනා. ඒ වුනාට ඒක අනුමත කරේ මම විතරයි. සිංහල ජාතියට ශක්තිමත් ජානයක් එයාගේ වැඩේ නිසා සිද්ධ වුනා.

  14. අචින්ත මදුශාන් පවසන්නේ:

    මේකත් අර බින් ලාඩන්ගෙ anthrax සීන් එක වගේ නේද ටිකක්?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>