දස්කොන් – ප්‍රමිලා

On 2010 මාර්තු 23, in සංගීතය, හිත ගිය තැන්, by ප්‍රවීන් ඉන්ද්‍රනාම

දස්කොන් අදිකාරම්ගේ සහ ප්‍රමිලා බිසවගේ ප්‍රේම කතාව සමහර විට සමහරු අහලා නැති වෙන්නත් පුුලුවන්. මේක නිකං ප්‍රේමයක් නෙමෙයි අසම්මත ප්‍රේමයක් නිසා ඒකට ඒ හැටි වටිනාකමක් ලැබෙන්න නැතුව ඇති අපේ සංස්කෘතිය ඇතුලේ. (ඒත් කොහොමද ඉන්දියාවේ ක්‍රිෂ්ණාගෙයි රාධාගෙයි අසම්මත ප්‍රේමයට තියෙන තැන!). අද මේ කියන්න හදන්නේ මේ කතාව හා සම්බන්ධ වුනු ගීතයක් ගැන. ඒත් මම ඊට කලින් මේ ප්‍රේම කතාවේ සුලමුල විස්තර කරන්නම්.

දස්කොන්ගේ පියා, ගැස්කොන් කියන්නේ ලංකාවේ වෙරලට පාවී ආපු ප්‍රංශ නැවක සේලරුවෙක්. දෙවැනි රාජසිංහ රජු විසින් මේ නැවියන් අල්ලා සිර කෙරුනු ලැබූ අතර කාලයකට පසු ඔවුන්ට නිදහස ලැබුනා. එවිට මේ ගැස්කොන් උඩරට ප්‍රදේශයට සංක්‍රමණය වෙලා එහි සිටි පෘතුගීසි කාන්තාවක් හා විවාහ වුනා. මේ දෙපලට ලැබුනු දරුවා තමයි පේදෲ ගැස්කොන් – හෙවත් අපේ සිංහල මිනිසුන්ගේ කටවහරට හුරු වූ විදියට දස්කොන්. මේ කාලේ සිංහල රාජසභාවේ විදේශිකයනුත් හිටියා. ගැස්කොන් පවුලත් ඒ ආශ්‍රයෙන් තමයි රජවාසල හා කිට්ටු වුනේ. දෙවැනි රාජසිංහ රජ පුත් ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ කුමාරයා සමග කුඩාකල සිටම මිතුරු වූ දස්කොන්ට පසුව මේ කුමරා රජ වූ විට අදිකාරම් තනතුරකුත් ලැබුනා. කවියෙක් වුනු දස්කොන් මේ අතරතුර කවි ලිවීමේ දක්ෂතා තිබූ රජුගේ ප්‍රමිලා බිසව සමග හාදකමක පැටලුනා.




Share




මේ කාලයේ රාජසභාවේ හිටපු විදේශිකයෝ සිංහල රදලයන්ට, සංඝයාවහන්සේලාට විරුද්ධව කුමන්ත්‍රණ කල අතර සිංහල රදලවරුන්, සංඝයාවහන්සේලාත් අනිත් අතට විදේශිකයන්ගෙන් පලි ගන්නට මාන බැලුවා. මෙන්න මේ ගැටුමේ ප්‍රතිඵලයක් විදියට දස්කොන්ගේත් ප්‍රමිලාගේත් අසම්මත ආදරේ රජතුමාගේ කණට ගියා කියලා තමයි කියවෙන්නේ. සිදුවීම අවසන් වූයේ දස්කොන් අදිකාරම හිසගසා දැමීමෙන් මරණයට පත් කිරීමෙන්.

ඉතින් කවීන් වුනු මේ දෙදෙනාගේ ආදර හසුන් කොයි තරම් කාව්‍යාත්මක වුනාද කියලා දන්නේ දෙයියෝ තමයි. මේ දෙදෙනා කවියෙන් තම අදහස් හුවමාරු කරගත් බවට සාධක තියෙනවා. ඉතින් මේ ප්‍රේම කතාව අලලා ලියැවුනු ගීතයක් ගැන තමයි මේ කියන්නේ. ඒ කරුණාරත්න දිවුල්ගනේ සමග සමිතා මුදුන්කොටුව ගයන “සක්මන් කරන මලුව පාලුයි දේවී” ගීතය.

හරිම ශෝකී සංගීතයක් තියෙන මේ ගීතයට මම හරිම ආසයි. පද මාලාවත් ඉතාම අගේට වචන ගලපලා කියලා කියන්න පුලුවන්. මේ ගීතය ලියපු කවියා එක්ක බැලුවාම එහි පුදුමයකුත් නැහැ. ඔහු මගේ ගමේම වසන කවියා රත්න ශ්‍රී විජේසිංහයන්. මේ ගීතය සංගීතවත් කරලා තියෙන්නේ ගායකයෙක් විදියට වැඩි ප්‍රසිද්ධියක් තියෙන ගුණදාස කපුගේ ශූරීන් කියලා දැනගත්තොත් ඔබ ඇතැම්විට පුදුම වේවි.

දස්කොන්:
සක්මන් කරන මළුව පාලුයි දේවී
මං විතරයි, ඔබ කිසි දිනෙක නොඒවී

ප්‍රමිලා:
ඉක්මන් ගමන් එපා පා පැකිලේවී
දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරි

දස්කොන්:
සෙංකඩගල වටකල පවුරු වලල්ලේ
පෙම් ගී ගැයු විහඟුන් හැපී වැටෙන්නේ

ප්‍රමිලා:
රන්තරු දෑස පියන රෑ හඳපානේ
අත්තන මලක් වෙලා ඔබ ලඟ ඉන්නේ

දස්කොන්:
වාසල මිණිබැඳි දොර අරින වෙලාවේ
දෑසින් වැටෙන කඳුලු මට සිහිනොවුනේ

ප්‍රමිලා:
ඒ ආදරය ගියත් ඉක්මන් ගමනේ
මා තනිකරන්නෙපා මතු සංසාරේ

මේ තියෙන්නේ සිංදුව. අහන්න නම් සිංදුව මත ක්ලික් කරන්න. ඩවුන්ලෝඩ් කරගන්න නම් රයිට් ක්ලික් කරලා Save Target As කරන්න.

http://www.mp3srilanka.com/files/Karunarathna_Divulgane_Daskon_Pramila.mp3

[ඡායාරූපය: චම්පා බුද්ධිපාලගේ 'දස්කොන්' නාට්‍යයෙන්]

Tagged with:  

32 Responses to දස්කොන් – ප්‍රමිලා

  1. Chejana පවසන්නේ:

    මාත් අහන්න ගොඩක් ආස සින්දුවක් මල්ලි, ඒ වගේම ඔයා දස්කොන් ගැන නොදැන හිටිය ලොකු විස්තරයක් ලස්සනට ලියල තියෙනව..

  2. LishWish පවසන්නේ:

    කොහොමත් ලංකාව ඇතුලේ තමා සම්මත අසම්මත කතා ඔලුව උඩ තියාගෙන ආදරය කියන සංකල්පයත් ඒ මිම්මෙන් ම මනින්න බලන්නේ.., ආදරයට සීමා මායිම් නැ ඒක අපි කවුරුත් ඇදහිය යුතු දෙයක්. එහෙම ගත්තම දස්කොන් ප්‍රමිලා පෙම් කතාවට වටිනා කමක් හිමිවෙන්නේ ඒවටා පිරුණු අර ඔබ කියූ කාව්‍යාත්මක ගතිය නිසා වෙන්නට පිලිවන්.
    අවාසනාවකට වගේ මේ පේම පල දරන්නට අපේ සම්මත සමාජය එවකට නියෝනය කරන “රජතුමා” නැමති චරිතය විසින් අදිකාරම් තුමාව හිසගසා මරා දමනු ලබන්නේ හරියට අසම්මත පෙම් කතා වලට මේ දෙරණ තුල ඉඩ නැති බව අපි ට අඟවන්නට වගේ.

    මේ ආදර කතාව යටින් කියැවෙන එවකට තිබෙන සමාජ කියැවුම නම් හරිම සිත් ගන්නා සුලුයි. යටත් විජිතවාදී ජීවන ක්‍රමය ගැන හොඳ අදහසක් මේ තුලින් අපිට ලබාගන්නට පිලිවන් කියලා මට හිතෙනවා. ස්තූතියි අපිව දැනුවත් කලාට ප්‍රවීන්..!
    ජයෙන් ජය ම පතනවා…!

  3. සු පවසන්නේ:

    දස්කොන් – ප්‍රමිලා සම්බන්ධය රජුගේ කණට ගියේ කොහොමද කියලා දන්නවද ? :-)

    • අද බලි රූපේ ලපයක් තියෙන තැන පෙන්නන්න ගිහින්ලු නේද? :D හැබැයි ඒක ජනප්‍රවාද වල එන එකක් මිස ලිඛිත සාක්ෂි වල නෑ වගේ පේන්නේ. ඒවයෙ නම් කියවෙන්නෙ මේ දෙදෙනා එකිනෙකාට ලියපු විදියට සකස් කරපු තල්පත් කුමන්ත්‍රණකරුවන් විසින් රජතුමාට අහුවෙන විදියට යැවුවා කියලා.

    • Taboo Subjects පවසන්නේ:

      මා මේ කතාව අසා නැහැ. දැනගන්න කැමතියි.

      - Taboo

      • කතාව කියන්නම්. හැබැයි මේක දස්කොන්-ප්‍රමිලා කතාවට සම්බන්ධද, නැත්තං වෙන කතාවක එකක්ද කියලා මට හරියටම මතක නං නෑ. කොහේදිහරි මෙවැන්නක් අහපු බව විතරයි මතක.

        ඔන්න රජ බිසවට ඇති වෙච්ච රෝගයක් සඳහා ප්‍රතිකර්ම විදියට බලි යාගයක් පවත්වන්න සූදානම් කරලා බිසවගේ නිරුවත් බලි රූපයක් නිර්මාණය කලාලු. වැඩ අධීක්ෂණය කරන්න ආපු අදිකාරම් මේ රූපයේ නිර්මාපකයා ලවා තමන් දැක ඇති ඇගේ රහස් ප්‍රදේශයේ ඇති ලපයක් ද සලකුණු කෙරෙව්වාලු. පසුව රජතුමා රූපය දුටු විට තමා පමණක් දන්නා ලපයක් බලි රූපයට ආවේ කොහෙන්දැයි සොයාබැලීමේදී අදිකාරම්තුමා මාට්ටු උනාලු.

  4. සු පවසන්නේ:

    මේක කියවද්දි මතක්වෙන අනික් සිංදුව තමයි “දස්කොන් සකිසඳ ඉක්මන් ගමණින් නොඑනා ගමනකි යන්නේ..”.ඒක නීලා වික්‍රමසිංහ මහත්මියත් අමරදේව මහතාත් දෙන්නම ගායනා කරනවා… http://www.youtube.com/watch?v=Z9bk1KuR-aI
    මම නම් ඒකටත් කැමතියි.. තවත් එකක් තියෙනවා දැන් මතක නැහැ.

  5. සංදීප පවසන්නේ:

    ඇයි අර රූකයි ලේඛයි කියන “බිසවුනි ප්‍රමිලා” ගීතයත් ඕකට ගැලපෙනව මං හිතන්නේ …………. සිංදුවක අපි නොදන්න කොච්චර දේවල් තියනවද??? ස්තූතියි අපිව මේක ගැන දැනුවත් කලාට

  6. ගීතික පවසන්නේ:

    ස්තූතියි ගීතයට… ප්‍රවාදයක් සාහිත්‍ය රසයෙන් අනූන නිර්මාන කීයකට මූල බිජය වෙලා තියෙනවද.

  7. වැප් පවසන්නේ:

    ස්තුතියි … අද තමයි නිදාන කතාව දැන ගත්තේ …

  8. දුකා පවසන්නේ:

    ප්‍රවීන් මම තවත් කතාවක් අහලා තියෙනවා හැබැයි ඇහුවේ දැක්කේ කොහේද කියලා මතක නෑ.
    නරේන්ද්‍රසිංහ රජ්ජුරුවෝ සමරිසි සබඳකමක් තිබුනා කියනවා ගැස්කොන් එක්ක. කියන විදිහට ගැස්කොන් සුදු හමක් තිබුනු ඉතාම කඩවසම් තරුණයෙක්. මේ රජාගේ හිතවත් කම උඩ රජ වාසලට නිතර යන්න එන්න වුනායින් ප්‍රමිලා එක්ක සබඳකමක් ඇතිවුනා කියලා තමයි කියන්නේ.

    උඹේ ලිපියෙන් ගොඩක් කරුනු දැන ගත්තා මලේ. නියමයි

    • මේකත් වෙන්න බැරි නෑ.
      මේ කාලේ හිටපු රජවරු යුරෝපයෙන් ආපු කඩවසම් සුදු හම ඇති අයට ඇලුම් කල නිසා තමයි ඔවුන්ව සිරභාරයට ගෙන රටේ රඳවා ගත්තේ කියලා කියවෙනවා. මේ සිර කිරීම හිරකූඩුවක සිර කිරීමකුත් නෙමෙයිනේ. රොබට් නොක්ස් ට වගේ රටේ ඕනෙ තැනක ඇවිදින්න අවසර තිබුනා. රටෙන් පිටවීමට විතරයි අවසර නොතිබුනේ.

    • Taboo Subjects පවසන්නේ:

      දුකාගේ මේ කතාව මා අසා නැහැ. නමුත් මහනුවර රාජධානියේ අවසාන සිංහල රජ වූ නරේන්ද්‍රසිංහ දැඩි ලෙස කම් සැප විඳි පුද්ගලයකු බව ප්‍රකටයි. ඔහු මිය යන්නේද ලිංගිකව සම්ප්‍රේෂණය වන සිෆිලස් (උපදංශ) රෝගයෙන්. මොහුගේ අවසාන කාලයේ වෙදකම් පිණිස බටහිර වෛද්‍යවරයකු පහත රටින් අරගෙන යනවා. තමන්ට වැළදී ඇති රෝගය කවරක්ද කියා රජු අසන ප්‍රශ්නයට වෛද්‍යවරයා පිළිතුරු සපයන්නේ නැහැ. “ඉදින් මා පිළිතුරු දුන්නේ නම් මටද දංගෙඩියට යා හැකිව තිබිණි.” කියා ඔහු පසුව දිනපොතේ ලියනවා. නරේන්ද්‍රසිංහගේ මරණයෙන් පසුව බිසවගේ පාර්ශවයේ නායක්කාර් ඥාතීන් රජකම හා බලය අත්පත් කර ගන්නවා.

  9. ගීතික පවසන්නේ:

    අපට වෙච්ච දේ………..
    අමරදේව මහත්මයා විතරක් ගායනා කරන ගීතයකුත් තියෙනව නේද ?
    මහනුවර රාජධානියේ රජවරුන්ගේ වැඩ ගැන තවත් කියවන්න හිතෙනව මේව දැක්කහම.

    • ඕක මහනුවර රාජධානියේ රජවරුන්ගේ වැරැද්දක් නෙමෙයි. ඔවුන් මෑතකාලීන නිසා ඔවුන් ගැන ලිඛිත සාධක වැඩියෙන් හොයාගන්න තියෙනවා. අනුරාධපුර වගේ යුගවල හිටපු රජවරු ගැන සාධක වලට තියෙන්නේ අතිනුත් කෑලි දාලා ප්‍රබන්ධ කරපු මහාවංශය වගේ වංශකථා විතරයිනේ.

      කොහේ හිටියත් රජවරු රජවරුම තමා :P බලය තියෙනකොට හොඳ හොඳ සෙල්ලං දානවා :D

      • Taboo Subjects පවසන්නේ:

        මේ කතාවට මා එකඟ නැහැ. ලංකා හා ලෝක ඉතිහාසයේ බුද්ධිමත් ලෙස පාලනය කළ රජවරුන් විශාල සංඛ්‍යාවක් දැක ගත හැකියි. ලංකා ඉතිහාසයේ මෙවැනි රජවරුන් බොහෝ විට සිට ඇත්තේ පොළොන්නරු හා පැසුළු අනුරාධපුර යුගයේ. අද වැනි ‘ප්‍රජාතන්ත්‍රවාදයක්’ නොතිබුණත් ‘මහා සම්මතවාදය’ තුළින් ජනතාවට ප්‍රයෝජනවත් කාර්යයක් ඉටු කරමින්, ඔවුන්ගේ ප්‍රසාදය දිනා ගෙන තමාගේ පැවැත්මද ආරක්ෂා කර ගැනීමයි නුවණැතිව මොවුන් කර ඇත්තේ.

        නමුත් මහනුවර යුගයේ තිබුණාක් වැනි අස්ථාවර දේශපාලනික තත්වයක් යටතේ මෙවැනි රජවරුන් බිහිවන්නේ නෑ. එය ඔවුන්ගේ වරදක්ම නෙවෙයි. රටේ බල කේන්ද්‍ර ගණනක් ඇතිවුනාම පාලකයින් හැම කෙනකුටම ජීවත් වන්න සිදුවන්නේ බයෙන් හා සැකයෙන්. මන්ද සතුරාට නතුවීම මරණය නිසා. මෙවැනි පරිසරයක් තුළ පාලකයින් එකිනෙකා මරා ගන්නවා හා සැප විඳිනවා හැරෙන්නට දීර්ඝකාලීනව සිතා විශාල ව්‍යාපෘති වලට අත ගසන්නේ නැහැ.

        මා මහාසම්මතවාදය ගැන පෝස්ටයක් ලියාගෙන යනවා ඉංගිරිසියෙන්. තව ටික දවසකින් පළ කළ හැකියි.

  10. ගීතික පවසන්නේ:

    මාත් ඔය කනින් කොනින් මහනුවර යුගය ගැන ඇහුවට වැඩිය යමක් කියවන්න ලැබිල නැහැ.සමහර විට මේවත් අර ඩොයිලි ගොයියල උන්ගෙ සනුහරේ ඇත්තො පුරුදු කරපුව වෙන්නත් බැරි නෑ.ඉස්කෝලෙ යන දවස් වලම ඔය යකාගෙ දිනපොත කියවපු මම හිතුව මූ නම් ලෝක අණ්ඩයා කියලා.දැන් නම් අස්ථාවර දේශපාලනික තත්වයක් නැති නිසාත් බල කේන්ද්‍ර ගණනක් නැති නිසාත් පාලනය යහපත්ද මන්දා…….. :p
    ටැබූ දැන් සිංහලෙන් ලියන නිසා ඉංගිරිසි නොදන්න අපට සාදාරනයක් කරයි නේද?

  11. සමනලී පවසන්නේ:

    ලස්සන ගීතයක්…. සමනලී මේ ගීතයට හරිම ආසයි…..! ඒත් ඒ කතාව ගැන නම් මේ තරම් දැනුවත් වෙලා හිටියේ නෑ….
    ස්තූතියි ප්‍රවීන්…!

  12. විශ්මි පවසන්නේ:

    මං හුඟක් කැමති ගීතයක්…. මට මතක විදියට මේක ගායනා කරන්නෙ කරුණාරත්න දිවුල්ගනේ මහත්මය සහ සමිතා මුදුන්කොටුව මහත්මිය…. ස්තුතියි …..

  13. sampathjt පවසන්නේ:

    මේ සිංදුව අහල තිබුණට දස්කොන්, ප්‍රමිලා ගැන අහලා තිබුණෙ නෑ…Thanx…

  14. මුචලින්ද පවසන්නේ:

    ස්තූතියි මචන් පෝස්ට් එකට.කමෙන්ට්ස් වලිනුත් වැඩි දෙයක් දැනගත්තා.

  15. ~බිன்ku~ පවසන්නේ:

    ලිපියටත් ලිපිය තුළින් ඇති වුණු ක්මෙන්ට් වලට ඔබටත් ටැබූටත් අනිත් අයටත් ස්තුතියි.

  16. rasika පවසන්නේ:

    ඔය ෆොටෝ එකේ ඉන්නේ දිනේෂ් පෙරේරා සහ හිමාලි සයුරංගී.
    මං චම්ප ගේ දස්කොන් ගැන ලියපු විචාරය (in English) මෙතනින් බලන්න.

    http://bit.ly/9kTdk9

    සිංහල පරිවර්තනයක් ද තිබේ. URL නැත.

  17. Dasun Sameera Weerasinghe පවසන්නේ:

    දස්කොන් ස්ත්‍රීන් බොහෝමයක් සමග සම්බන්ධතා පැවත්වූ සල්ලාලයෙක්. මේ ගැන රාජසභාවේ බොහෝ දෙනෙක් කල කිරිල ඉඳල තියෙනවා. බොහෝ දෙනා ගෙන් කනින් කොනින් මේ සම්බන්ධතාව ගැන රජුට දැනගන්න ලැබුනත්, දැඩි මිතුරු කම නිසා මොහු බේරි සිටියා.(බොහො විට ඔය කියන සමරිසි සම්බන්ධතාවය හේතුවෙන්නත් ඇති) ඔය බලියේ කතාවත් රජුතුමා විසින්ම ඔහුව පරික්ෂා කරන්න අටවපු උගුලක් කියලයි මං අහල තියෙන්නේ. නමුත් දස්කොන් බොහෝ දෙනාගේ අනුකම්පාවට දිනාගන්න දක්ෂයි. අවාසනයේ දංගෙඩියට යන විට රජුට දෙන්න කියා ඔහු විසින් කවියක් ලියා දී තියෙනවා. කවුරුන් විසින් හෝ එය රජුට නොලැබෙන ලෙස ප්‍රමාද කර තියෙනවා. ඒ රජුගේ අනුකම්පාව ලැබ දස්කොන් බේරෙයි යන බිය නිසා. ඒ කවිය මොකක්ද කියලා අදටත් කවුරුත් දන්නෑ.

  18. janaka පවසන්නේ:

    mama ahala tiyenawa daskon maha amati wela hitiya kiyala???
    daskon meruwata passe pramila bisawa marunada?
    me katawa gena dannawanam tawat wistara kiyanna.
    godak dewal denaganna lebuna.hemotama booma istutiy

  19. Las- vi පවසන්නේ:

    Thavath sinduwak thiyenawa guwan widuli sansthawe, mata mula mathaka ne.meda pada me wage Sakman maluwedi bendihada daskon amathaka nehe neda Ikaman gamanin yanawada Ada obe jeevithe denavada ……. me wagei pada, harima mihiri thanuwak thiyenne.Puluwannam ekath hoyal publish karanna.
    Ehema hamu unoth matah kiyanna.

  20. Sugath පවසන්නේ:

    Daskon Paramila gena liyawunu ” Alaya Anduruda Naha Neda Daskon ada amathakaveeda ” kAviya Danna Kenek Ewanna

  21. randika පවසන්නේ:

    mee sinduwa
    mage jeewithema wenaskara
    mage dewani ipadeema

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>