බෙන්තොට ගලපාත විහාරය

On 2010 මාර්තු 5, in හිත ගිය තැන්, by ප්‍රවීන් ඉන්ද්‍රනාම

පසුගිය පෝය දවසේ ගමේ ගිය නිසා මට අවස්ථාවක් උදා වුනා ලංකාවේ තියෙන පැරණිම රජමහා විහාරයකට ගොඩවැදිලා එන්න. කණගාටුවකට වගේ වෙනත් රජමහා විහාර වගේ මේ විහාරයට එතරම් ලොකු ප්‍රසිද්ධියක් හෝ වැඩි කළඑලියක් නෑ. මේ විහාරය තමයි බෙන්තොට ගලපාත විහාරය. පිහිටා තියෙන්නෙ බෙන්තොට හන්දියෙන් ඇල්පිටිය පාරට හැරිලා කිලෝමීටර 2ක් විතර ගියාම.





Share




පුරාණ වංශකථා වල සඳහන් ආකාරයට මෙය සාදවා ඇත්තේ (දුටුගැමුණු රජ සොයුරු) සද්ධාතිස්ස රජතුමා විසින්. ධූතාංගධාරී භික්ෂූන්වහන්සේලා අතුරින් අගතැන්පත් මහා කාශ්‍යප මහ රහතන්වහන්සේගේ (රදනක) දන්ත ධාතුවක් මෙසමයේදී සිරිලකට වැඩමවා තියෙනවා. මේ දන්තය උන්වහන්සේ ජීවත්ව සිටියදීම මුඛයෙන් ගිලිහුනු දන්තයක් බව සඳහන් වෙනවා. මේ ධාතූන් වහන්සේට රැකවරණ සැපයීමට තමයි මේ විහාරය ඉදිකරවා තියෙන්නේ. සද්ධාතිස්ස රජතුමා විසින් මෙම විහාර භූමියේ දළදා මන්දිරයක් ගොඩනංවා එම දන්ත ධාතුව තැන්පත් කල බව සඳහන්. මෙසේ දළදා මන්දිරයක සියවස් කීපයක්ම රැකී තිබූ මේ දන්ත ධාතුව දෙවැනි පරාක්‍රමබාහු රජතුමා විසින් වැඩි ආරක්ෂාව පිණිස චෛත්‍යයක් ඉදි කරවා එහි නිදන් කල වග සඳහන් වෙනවා. නිදන් හොරුන්ගේ කොල්ලකෑම් වලට හසු නොවී ආරක්ෂා වූ මේ දාගැබ තුල අදටත් එම මහා කාශ්‍යප දන්ත ධාතුව අඩංගු බව සඳහන් වෙනවා.

මේ හැරුණු විට නිශ්ශංකමල්ල, මහා පරාක්‍රමබාහු, සවැනි පරාක්‍රමබාහු හා කීර්ති ශ්‍රී රාජසිංහ ආදී ලක් නරපතියන්ද වරින් වර මේ විහාරයට විවිධ පුද පූජා සත්කාර කල බව විහාරභූමියේ ඇති ශිලාලේඛණයේ සඳහන් වෙනවාලු. මෙම විහාරය පිලිබඳව මහාවංශය, පූජාවලිය, නම්පොත ආදී ග්‍රන්ථ වල සඳහන් වන්නේ සෙලන්තරමූල, සෙලන්තරායතන, ශෛලාන්තරමූල, ශෛලාන්තායතන, ගලතුරුමුල ආදී පැරණි නම් වලින්.

විහාරගෙයි පැරණි සිතුවම්

විහාරගෙයි පැරණි සිතුවම්

විහාරගෙයි ඇති දැන්වීමේ සඳහන් ආකාරයට මෙය ගලතුරුමුල සංඝරාජ හිමියන්, විල්ගම්මුල හිමියන්, වීදාගම මෛත්‍රෙය  හිමියන් වැනි සුප්‍රකට සංඝපීතෲවරුන්ගේ මූලස්ථානයයි. ඊට අමතරව මෙහි නමින් ගම්‍ය වෙන ආකාරයට මෙය ගලතුරුමුල නම් සංඝ පරම්පරාවේ මූලස්ථානය වූ බව සිතිය හැකියි. එවකට සංඝ සමාජය තුල තිබුනේ අද මෙන් නිකාය භේදයක් නොවෙයි. කවුරුන්හෝ ශ්‍රේෂ්ඨ යතිවරයෙකුගේ ගෝල පරපුර යම් කිසි සංඝ පරම්පරාවක් ලෙස නමකින් හැඳින්වුනා. විල්ගම් මුල, මහනෙත්පා මුල, ගලතුරු මුල එබඳු පරම්පරා කීපයකට උදාහරණ වෙනවා. ඉතිහාසයේ සඳහන් පරිදි පෙර රජ දවස එවන් පරම්පරා 8ක මූලස්ථාන (අෂ්ඨ මහා මූලායතන) පැවත තියෙනවා. මින් එකක් මේ ගලපාත විහාරයයි.

මෙම විහාරය පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස නම් කර තියෙනවා. ඒත් වෙනත් සුප්‍රසිද්ධ රජමහා විහාර වගේ මේකට ඒ තරම් ප්‍රසිද්ධියක් නම් නැහැ. මේ පන්සලේ සංවර්ධනය හීන වෙන්න හේතුව නිසි නායක යතිවරයෙක් නොසිටීම කියලා තමයි දැනගන්න ලැබුනේ. කොහොම වුනත් ඇතැම් සිද්ධස්ථාන වලට පුද පඬුරු වැසි වසිද්දී සමහර ඒවා කවුරුත් දන්නෙ නැතුවම අභාවයට යන එක නම් ලොකු අපරාදයක්.  ඔබත් ගාලු පාරේ බෙන්තොට පහුකරගෙන යන අවස්ථාවක වෙලාව තියෙනවනම් ගලපාත විහාරයට ගොඩවැදිලා යන්න අමතක කරන්න එපා.

Tagged with:  

9 Responses to බෙන්තොට ගලපාත විහාරය

  1. සමන් පවසන්නේ:

    මම ගියා. ලගදි මේකෙ බොදු වැඩසතහනක් තිබුනා..

  2. Dayan Senavirathna පවසන්නේ:

    වැදගත් ලිපියක්.
    බලන්න ගියේ නැති උනාත් පින්තුරයක් හරි දැක්කා
    ඔබට බුදුසරණයි!!!!!

  3. Raven පවසන්නේ:

    ආසයි මචන් මේ වගේ තැන් වලට යන්න. වන්දනාමාන වලට වඩා පැරණි නිර්මාණ දකින්න. ස්තූතියි මේ ලිපියට.

  4. kathandara පවසන්නේ:

    සිරීපාදේ ගියා, බෙන්තොට ගලපාත ගියා, ඊ ලඟට කොහේද වන්දනා ගමන යන්නේ?

    කකා

  5. kathandara පවසන්නේ:

    ඇයි මේ හැමෝටම බබා ල ගෙ පින්තූර???

  6. Bunny පවසන්නේ:

    එළ කිරිස්. යන්න ඔනේ බලලා එන්න ඒ පැත්තෙ :D

  7. අයියා මේ ලිපියත් එක්කම අපේ දැනුමටත් යමක් දීලා තියෙනවානේ. ලිපිය නම් ගොඩාක් වටිනවා :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>