සිරිපා කරුණාවේ චාරිකා සටහන්

On 2010 පෙබරවාරි 9, in මට වෙච්ච දේවල්, හිත ගිය තැන්, by ප්‍රවීන් ඉන්ද්‍රනාම

ඔන්න ඉතින් පසුගිය සතියෙ මටත් සිරීපාදෙ කරුණා කරන්න අවස්ථාව උදා වුනා නෙව. මට මේක වැදගත් වුනේ ඒ මම සිරීපාදෙ ගිය පලමු වතාව නිසා, ඒ කිව්වෙ කෝඩුකාරයෙක් නිසා. විභාගෙටත් කලින් ඉඳන්ම අපි ප්ලෑන් කර කර හිටියේ කොහේ හරි ට්‍රිප් එකක් යන්න. කැම්පස් යාලුවොන්ගෙන් වෙන්වෙලා යන්න තව තියෙන්නෙ මාස 6ක් වගේ කාලයක් වීමත්, 3 වසරේ බැච් ට්‍රිප් එක තවමත් ගියේ නැති වීමත් ඊට හේතුවක්. කොහොමහරි විබාගේ අතරම අපේ කට්ටිය ට්‍රිප් එකක් සෙට් කරලා තිබ්බා. ඒ තමයි රත්නපුරේ ඉන්න අපේ මිතුරියක් වන නිෂාරාගෙ ගෙදර ගිහින් ශ්‍රීපාද වන්දනාවේ යන්න. ඔන්න ඉතිං විබාගෙ අතරම අපි ටික facebook එකේ මැසේජ් වලින් ට්‍රිප් එක ප්ලෑන් කලා. (ලොකුම කරදරේ උනේ ඒ මැසේජ් ත්‍රෙඩ් අතර දේශපාලනික විවාදත් යාම තමයි :D ) 5 වෙනිදා රත්නපුර යන්න තමයි තීරණය වුනේ.

සිංහල විකිපිඩියාවේ තියෙන ආකාරයට සමනල කන්ද මුදුනට යන්න පාරවල් 6ක් තියෙනවා. කොහොම උනත් මේ පාරවල් සියල්ල එකතු වෙලා කඳු මුදුනට ඇතුල් වෙන්නේ පාරවල් දෙකක් පමණයි. මේ පාරවල් 6න් ප්‍රසිද්ධම පාරවල් 3 තමයි නල්ලතන්නියෙන් ඇරඹෙන හැටන් මාර්ගය, එරත්නෙන් ඇරඹෙන කුරුවිට මාර්ගය හා පලාබද්දලින් ඇරඹෙන රත්නපුර මාර්ගය. මින් දිගම මාර්ගය කුරුවිට මාර්ගය වන අතර කෙටිම වෙන්නේ හැටන් මාර්ගය. අපේ සැලසුම වුනේ කුරුවිට මාර්ගයෙන් කන්ද නැගලා රත්නපුර මාර්ගයෙන් බහින්න.

පස්වෙනිදා උදෙන්ම මම ගෙදර ඉඳන් විශ්වවිද්‍යාලයට ගියා ට්‍රිප් එක යන්න. මෙන්න උදේ 9 විතර වෙනකොට එනවා හොඳ බඩේ අමාරුවක්! වැඩේ හොඳටම අබ්ලික් වෙන පාටක් තිබුනේ. කොහොමහරි අන්තිමේදී ෆාමසියෙන් බෙහෙතක් අරන් බිව්වා, පට පට ගාලා වැඩේ ගොඩ :P (බෙහෙතෙ නම Imodium, කොළ-අළු කැප්සියුලයක්. ඔන්න ඔබටත් මේ ආබාධය critical වෙලාවක ඇතිවුනොත් අත්දුටු බෙහෙත !) දවල් අපි 7 දෙනෙක් (මම, රවිමල්, සුප්පා, බමුණා, ඇලා, චින්තක, නදීර) විශ්වවිද්‍යාලයෙන් පිටත් වුනා රත්නපුරේට. රත්නපුරේට ලඟාවුනේ සවස 6ට විතර. මේ වෙනකොට අපේ ගයියා සහ ඔහුගේ නැගනිය, රවිමල්ගේ මල්ලී, සහ අපිව එක්කන් යන්න නිෂ් රත්නපුරේට ඇවිත් හිටියා. මදක් රෑ වෙලා තිබුනත් අපි මුලින්ම කලේ සමන් දේවාලයට යාම. ශ්‍රීපාද වන්දනාවේ යන්න කලින් සමන් දේවාලයට යාම සිරිතක් නිසා.

Trip ගියත් SBU promote කරන්නට අමතක කලේ නැත.

Trip ගියත් SBU promote කරන්නට අමතක කලේ නැත.

පසුදින උදේ අපි රත්නපුරේ ඉඳන් කුරුවිට ට ගියා. මෙතැන් සිට තවත් බස් එකක එරත්න වෙත යන්න ඕනේ. මේ මාර්ගය නම් ගන්න දෙයක් නෑ. අලි නාවන්න පුලුවන් සයිස් එකේ වලවල්. බස් එකේ ගියාට මොකද මට දැනුනේ බෝට්ටුවක මුහුදේ යනවා වගේ :P මග දිගටම පෝස්ටර් ඇලවී තිබුනා රජයෙන් පාර පිලිසකර නොකිරීමට විරුද්ධව. කෙසේ වෙතත් කුරුවිට පාර ඇරඹෙන තැන පාලමක් එහෙම ඉදිකෙරෙමින් පැවතීම පාර පිලිසකර කිරීම ඇරඹී ඇති බවට ලකුණක්.

කොහොමහරි උදේ 10 වෙනකොට එරත්නට ලඟාවුනු අපි උදේට කාලා සිරිපා කරුණාව ආරම්භ කලා. මග දිගට ඉතින් විශේෂ දෙයක් කියන්න නම් නෑ. කෙටියෙන් කිව්වොත් අපි හවස 5ට විතර තමයි සීත ගඟුල ලඟට ආවේ. එතනදි නාලා ‘දවල්ට’ කෑවා :D සීත ගඟුලෙන් එහා පැත්තේ කුඩා මඩුවක් වගේ එකක් ගහලා එතැන හාමුදුරු නමක් හිටියා. අපිට කිව්වා පන්සිල් දෙන්න එන්න කියලා. අපිත් ඉතින් ගියා. ඔන්න මුලින්ම පන්සල් ඒවායේ මූලික පරමාර්ථ වලින් එහා ගිහින් තියෙන විදිය ගැන ලොකු දේසනාවක් දුන්නා. ඒ කිව්ව දේවල් බොරුම නොවුනත් මම කල්පනා කලේ ඒවා කියලා මෙතනට ඇති පලේ මොකක්ද කියලා. ඒ නිසාම මට පොඩි සැකයකුත් ඇති උනා. උන්නාන්සේ කිව්වේ තමන්ට රාජකීය පණ්ඩිත විචිත්‍ර භාණක ආදී මෙකී නොකී ටයිටල් ඔක්කොම තියෙන බව. නමුත් ‘සරණාගමනං සම්පුණ්නං‘ පාඨය කිව්වට පස්සේ අපිට කියන්න කිව්වේ ‘අහං භන්තෙ‘ මිසක් ‘ආම භණ්තෙ‘ (එසේය ස්වාමීනි) කියලා නෙමෙයි. ඔතනදි ‘අහං භන්තෙ‘ (මම ස්වාමීනි) කියල කීමේ තේරුමක් නෑ නේද. රාජකීය පණ්ඩිත හාමුදුරු කෙනෙකුට කොහොමද ඒක වැරදුනේ කියලා මම කල්පනා කලා. මෙන්න පන්සිල් දීලා ඉවරවෙලා කියනවා කෙලින්ම ආධාරයක් කරන්නලු එයාගෙ පන්සලේ වැඩ වගේකට. දැන් ඉතින් කොටි වලිගෙ අල්ලගත්ත වගේ නිසා කරන්න දේකුත් නෑ. සල්ලි දුන්නාම කියනවා තව මාස දෙකතුනක් මෙහෙම පන්සිල් දීලා (ඒකෙන් අදහස් කරන්න ඇත්තේ තව කීයක් හරි එකතු කරගෙන කියන එක වෙන්න ඇති) එහාපැත්තෙන් බැහැලා ඇහැලියගොඩට යනවලු. ඒ නිසා ලඟදි ඔය පාරෙන් සිරීපාදේ යන අයට මේ කියන්නේ, ඔය චීවරධාරියාට අහු වෙන්න එපා. පන්සිල් ඕනෙ නෑ කියලා මාරුවෙලා එන්න.

අපි සෙට් එක
අපි සෙට් එක2

අපි සෙට් එක

ඔය අතරේ කැලේ මැදදි ධාරාණිපාත වර්ෂාවකට මුහුන දෙන්න සිදුවුනා. ඇඳන් හිටිය ඇඳුම්, බෑග් හොඳටම තෙතබරි උනා. ඒවා ඇඳගෙන තමයි ඉතින් මුලු ගමනම ඉන්න උනේ. සපත්තු ඇතුලට වතුර ගියාම දැනෙන සනීපෙ අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නේ. ඒ මදිවට වැස්සත් එක්ක කූඩැල්ලෝ ඇවිස්සිලා අපේ ආතල් එක දෙගුණ තෙගුණ කලා. කොහොමත් අපේ කට්ටියම ලේ පයින්ට් දෙක තුනක් කූඩැල්ලන්ට පූජා කරන්න ඇති.

මුලින්ම අපි උඩමලුව දකිනකොට රෑ 8/9 විතර ඇති. එතැන ඉඳන් කෙලින්ම ගිහින් අවසානයේ අපි උඩමලුවට ලඟා වෙනකොට උදේ 2යි. ඒ කියන්නේ අපි පැය 14ක ගමනක් ඇවිත්, හැතැප්ම 16ක දුරක්. නරක නෑ නේද? කොහොමහරි උඩ මලුවේ විවේක අරගෙන උදේ ඉර සේවය බලන්න ගියත් එදා නැගෙනහිර ක්ෂිතිජය වලාකුලු බර වීම නිසා ඉර සේවය දකින්න ලැබුනෙ නෑ. ඉන්පසු අපි උඩමලුවට ගිහින් ශ්‍රී පාදය වන්දනා කලා. සෙනග නිසා ඉක්-ඉක්මනින් මිනිස්සු යවන්න ඕනෙ නිසා එතන හිටපු කපු මහතා කලබලෙන් අපේ ඔලු අල්ලලා ශ්‍රී පාද ලාංඡනයේ ගැහුව නිසා මට එතන තිබුනෙ මොනවද කියලවත් බලාගන්න වෙලාවක් ලැබුනෙ නෑ. ඔය කරුණු කාරණා ඉවරවෙලා අපි උදෑසන 9ට පමණ ආපසු එන්න පිටත් වුනා.

උඩමලුවට පෙනෙන ලක්ෂපාන ජලාශය

උඩමලුවට පෙනෙන ලක්ෂපාන ජලාශය

හිරු නැගෙන විට සමනල කන්දේ සෙවනැල්ල බටහිර අහසේ වැටී තිබූ අයුරු

හිරු නැගෙන විට සමනල කන්දේ සෙවනැල්ල බටහිර අහසේ වැටී තිබූ අයුරු

ආපසු ආවේ පලාබද්දල මාර්ගයේ කියලා කලින් කිව්වනේ. එහිදී මුලින්ම හම්බවුනු  වැදගත් තැන තමයි ධර්මරාජ ගල. මේකේ කලුගලේ ගල් පඩි පේලියක් කොටා තියෙනවා. මෙතන තියෙන පඩි ගණන නිවැරදිව ගණන් කරන්න බැහැ කියලා කතාවකුත් තියෙනවා. ටිකක් දුර එනකොට හමුදා සෙබලුන් විසින් මේ පාරේ පඩිපෙලක් බඳිනවා. මේ කාර්යය සඳහා වැලි කොට්ට අදිමින් සිටියේ තරමක් ලාබාල පෙනුමැති තරුණ පිරිසක්. ටික දුරක් ගියාම අඳුනන කෙනෙක් හමු වුනාම තමයි මේ අය කවුද කියලා දැනගත්තේ. ඒ මොරටුව විශ්වවිද්‍යාලයේ බෞද්ධ සංගමයේ අය. ඔවුන් එදා දිනයේ ශ්‍රමදානයක් ලෙස පහල සිට අර පඩිපෙල බැඳෙන ස්ථානයට වැලිකොට්ට කරමතින් ගෙන ගොස් උදව් දෙනවා. ඉතාමත්ම පැසසිය යුතු කාරණාවක්. මොරා ඩයල් අඳුරන එවුන් විස්සක් විතර හම්බුනා ඒ අතරදී. මම කලින් දැක නැති කෙනෙක් මගෙන් ඇහුවා ‘උඹ ඉන්ද්‍රනාම නේද?‘ කියලා. බැලින්නං අපේ තමීරගේ බෝඩිං සගයෙක්, සඳුන් රත්නායක :) බ්ලොග් එකෙන් තමයි අඳුරගෙන තියෙන්නේ. කොච්චර දෙයක්ද?

ඊලඟට හම්බුන වැදගත් තැනක් තමයි ලිහිණි හෙල. මෙතැනට මේ නම ලැබිලා තියෙන්නෙ ඈත අතීතයේදී ලිහිණි කියන නමින් යුත් කාන්තාවක් මෙතැනින් වැටී මියයාමෙන් පසුවයි. මෙතැනට ගිහින් ‘ලිහිණි අක්කේ අපි යනෝ‘ කියා කෑගැසූ විට ඇගේ අවතාරය පිලිතුරු දෙන බවත් ප්‍රචලිතයි. නමුත් සැබෑවටම වෙන්නේ හෙලේ විරුද්ධ පැත්තේ ඇති විශාල ගල් බිත්තියෙන් අපි කෑගසන දේ දෝංකාර දී නැවත ඇසීමයි. මෙතැනදී අපි නම් කතා කලේ ලිහිණි අක්කාට නෙමෙයි,’රොමේෂ් අයියා’ට, ඒ රු 50ක රිලෝඩ් එකක් ඉල්ලන්න :P

තුරු මුදුනක්

තුරු මුදුනක්

කොහොමින් හරි අවසානයේ හොඳටම කකුල් රිදීමත් සමග පලාබද්දලින් අපි එලියට එනකොට රෑ 7යි. ඒ කියන්නේ බහින්න පැය 10ක්! ඒ වෙනකොට පලාබද්දල සිට රත්නපුරට යන අවසාන බස් රථයත් පිටත්වෙලා. මොරටුවේ සොයුරන් කිහිපදෙනෙක්ම අපට ඔවුන්ගේ බස්රථයෙන් රත්නපුරයට යාමට ඉඩකඩ සලසා දෙන්න ඉදිරිපත් වුනත් ඔවුන් පිටත්ව යන විටත් අපේ නඩේ කිහිපදෙනෙක් පැමිණ නොසිටීම නිසා එය මගඇරුනා. අවසානයේ වාහනයක් කුලියට ගෙන එන්නයි සිදුවුනේ. ඒ වැඩේට නං ඒ ප්‍රදේශය එච්චර හොඳ තැනක් නෙමෙයි කියලයි අපිට හිතුනේ. සමන් දෙවියන්ගේ අඩවිය වුනාට මොකද මිනී කාක්කන්ද එහි අරක්ගෙන සිටින විත්තිය අපිට තේරුනේ වාහන වලට අයකරන අසාධාරණ ගණන් නිසාත් ‘ඇඟට එන්න’ දරන උත්සාහයත් නිසයි.

නැවතත් නිෂ්ගේ නිවසට එත්දී අපිට කෙලින් හිටගන්න පණ නෑ. ඇවිදගන්න කකුල් වාරු නෑ. කෑවයින් නොකෑවයින් අපි කෙලින්ම නින්දට වැටුනා. පසුවෙනිදා අපි ගෙවල් බලා එන්නට පිටත් වුනා. අනිත් මිතුරන් දවල් වෙද්දි ගෙවල් වල ගියාට මොකද දුරම හිටපු මම ගෙදර එනකොට රෑ 7යි ! ඒ වෙනකොට මගේ හොඳ පණ ගිහින් :’(

අමාරුවෙන් වුනත් අපි හොඳ ජොලියක් ගත්තා ඒ ගමනෙන්. වැඩිය ඡායාරූප ගන්න නම් බැරිඋනේ මගේ දුරකථනයේ බැටරිය පරිස්සම් කරගන්න සිදුවූ නිසා. රත්නපුරේ පැත්තෙන් යන පාරවල් දෙකම කැලෑව මැදින් වැටී ඇති දීර්ඝ පාරවල් නිසා ස්වභාව සෞන්දර්යය නරඹන කෙනෙකුට හොඳම මාර්ගය ඒවා තමයි. ඉතින් අපිට ගමන සංවිධානය කරලා ඒ ජොලිය ගන්න ඉඩ සලස්වපු නිෂ්ටයි ඇගේ ගෙදර අයටයි ස්තූති කරලම මේ චාරිකා සටහනට තිත තියනවා.

Tagged with:  

26 Responses to සිරිපා කරුණාවේ චාරිකා සටහන්

  1. h පවසන්නේ:

    මම නම් ගිහින් නෑ තාම. කුරුවිට පාර තමයිලු ඔය පාරවල් තුනෙන් ලස්සනම කියල දන්න අය කියනව. පින්තූර ගන්න බැරි වුණ එක නම් අපරාදේ. යාළුවො කට්ටියක් ගිය වෙලේක ගත්තු පින්තූර මම දැකල තියෙනව. ඇත්තටම නියමයි පරිසරය නම්.

  2. කල්ප පැතුම් පවසන්නේ:

    එළනේ. මමත් එදා ආවා. වැඩි විස්තර බ්ලොග් පෝස්ට් එකකින්ම දාන්නම්කො.

  3. ~බිன்ku~ පවසන්නේ:

    සාධු…///

    එලෙළ! දැන් මෝඩ නෑ ඔය ඇත්තෝ! :P
    මං ගියේ දඹදේණියේ ගමේක දන්න පවුලක් එක්ක නෙව. ඒ අයත් මාත් (මං විතරයි අපේ ගෙදරින් ගියේ) නැග්ගේ බැස්සේ සෙරප්පු නැතිව. මේක කියවලා ඒ දවස් වේදනාවත් එක්ක ගැග්ග තරම මතක් වේලා කකුලටත් රිදුණාද කොහේදෝ!!!

  4. උදාරි පවසන්නේ:

    විස්තරය නම් හරිම අපුරුයි……..අපි එතන නොහිටියත් එතන හිටියා වගේ හැගීමක් එනවා එක කියෙව්වහම.. හරිම අපුරුයි. එත් හිතට ටිකක් දුකක් දැනෙනවා මට එමට නොහැකිවීම ගැන…. කමක් නැහැ ඉතින් ඉලඟ සැරේ වත් යන්න බලනවා…….

  5. කසුන් චානක පවසන්නේ:

    ප්‍රවීන්, අපිත් සිරීපාදේ ගියා දෙසැම්බර් වල හැටන් පැත්තෙන්. ගමන කෙටි වුනාට රත්නපුර/කුරුවිට පැත්තෙන් යනකොට තියෙන ලස්සන නෑ එහේ (මමත් තාම එහෙන් ගිහින් නෑ. අනිත් අය කියන ඒවා විතරයි දන්නේ). අනික අපි ගියේ රෑ. ඊළඟ වතාවේ නම් අනිවා මම යන්නේ රත්නපුරෙන්. :-)

    මුහුණු පොතෙත් මම දැක්කා කස්ටියම ඡායාරූප දාලා තියෙනවා. :-)

  6. ෂා මරු..මමත් හරිම ආසාවෙන් ගිය ගමනක් තමයි සිරිපාදේ…ඔන්න බොහොම පිං ආයිත් මනසින් අපිව එක්ක ගියාට.

  7. Dayan Senavirathna පවසන්නේ:

    ආ එකද මේ දවස් දෙක තුනක් නොහිටියේ
    සාදු! සාදු!! සා!!!

  8. suppa පවසන්නේ:

    ow machan.kapuwa mage oluwen allala bima anapu pära anune mage nalala neme..nahaya :D

    matat e hämuduruwan gana sakayak hituna.man oya dakkamai “ane mata tawa kiyakin hari ädärayak karannako” kiyana hämuduru kenek.attatama me wage wada siuratat nigäwak kiyalai mata hitenne

  9. සිරිපාදේ පළවෙනි වතාවටවත් ගිය එක ගොඩක් හොඳයි ලොකු අත්දැකීමකුත් ලබන්න ඇතිනේ ඒකට මම තාම සිරිපාදෙ ගිහිල්ලා නෑ :D

  10. Malee_msg පවසන්නේ:

    මම සිරිපාදේ යන්න හරිම ආස උනාට මොකෝ පොඩි කාලේ ගියාට පස්සේ තාම ගිහින් නැහැ.. ඔයාලා නම් හොද ගමනක් ගිහින්..හරි ශෝක්!

  11. බුධාජීව පවසන්නේ:

    මම දෙක වසරෙ ඉන්නකොට ගියා හැටන් පැත්තෙන්. ආයි සැරයක් යන්න ඕනේ.

  12. දේශිකා කාරියකරවන පවසන්නේ:

    මමත් ගිහින් නෑ තාම සිරිපාෙද්…. ඒත් ලිපිය කියවද්දී යන්න අාසා හිතෙනවා….

  13. චින්තක පවසන්නේ:

    සොභාව සෞන්ධර්ය්‍යය දැකීමට නම් රත්නපුර පාරවල් වලින් යන්න කියලා තිබෙන කථාව නම් ඇත්ත. ඒ වගේම උදය වරුවේ හැටන් පැත්තේ දර්ශණයද ඉතාමත්ම අලංකාරයි.

  14. ශාකුන්තල පවසන්නේ:

    අපිත් එක වසරෙ ඉන්න කාලේ ගියා මතකයි…. හැබැයි ගියේ කොල්ලොම සැට් එකක්.
    http://www.facebook.com/album.php?aid=34890&id=692976862&l=7096b529a9
    බ්ලොග් ලිව්වෙ නෑනෙ මං ඒ කාලේ.. :(

    ගිය ගිය තැන ෆ්ලර්ට් පාරක් ගහන මගේ සම්ප්‍රදායත් අතපසු කළේ නෑ මං… :D

  15. express පවසන්නේ:

    “එතන හිටපු කපු මහතා කලබලෙන් අපේ ඔලු අල්ලලා ශ්‍රී පාද ලාංඡනයේ ගැහුව නිසා”

    ඔහොම හැහුවට රිදෙන්නේ නැඅ කියන්නේ ඇත්තද?

  16. රන්දික පවසන්නේ:

    අපිත් මේ පාර සිරිපාදේ ගියේ කුරුවිට එරත්න පාරෙන්.අපිටත් ඔය කියන හාමුදුරුවෝ නුල් කෑලි,පින්තුර කොල වගයක් ව්කුණන්න හැදුවා.හැබැයි අපි නම් අහු උනේ නෑ.ඔයගොල්ලොත් සිරිපාදේ යනවානම් ඔය වගේ අයට කිසිම අධාර​යක් කරන්න එපා.මම ඉන්නෙත් රත්නපුරේ ඒ නිසා ඔය කපටියන් ගැන අපි හොදට දන්නවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>