Tsunami | පස් වසරකට එපිට මගේ මතකය

On 2009 දෙසැම්බර් 26, in ඇසි-දිසි, මට වෙච්ච දේවල්, by ප්‍රවීන් ඉන්ද්‍රනාම

සුනාමි ව්‍යසනය සිදුවෙලා අවුරුදු 5ක් ගෙවෙන අද වගේ දවසක සුනාමිය ගැන මගේ මතකයත් අවදි කරන්න ඕනෙ කියලා හිතුනා. සුනාමියෙන් අනතුරට පත්වෙච්ච නගරයක ජීවත්වීමත්, ඒ ඔක්කොටම වඩා අනතුර අතපොවන මානයේ සිට දිවි ගැලවීමත් නිසා මගේ අත්දැකීම් නොලිය කොහොමද. ඒ නිසා තමයි ඊයෙ දවසෙ ඉඳන් මේ දීර්ඝ ලිපිය ලිව්වෙ.

සුනාමිය ගැන කියන්න කලින් සුනාමියට කලින් දවස ගැන කියන්නම්. ඒ 2004 නත්තල් දවස, සෙනසුරාදාවක්. ඒ කාලෙ මම උසස්පෙල කරනවා. සෙනසුරාදා සවස 5.30 – 7.30 මට රසායන විද්‍යා පංතියක් තියෙනවා ගාලු නගරයේ. ආපහු ඉරිදා උදෑසනත් 8 – 10 දක්වා ඒ පංතියම තියෙනවා. ඔන්න ඉතින් සෙනසුරාදා රෑ පංතිය ඉවරවෙලා අපේ ගැන්සිය ඇලෝසියස් පල්ලිය පැත්තෙත් රවුමක් ගහලා (නත්තල් දවස නිසා ලයිට් එහෙම දාලා බලන්න ලස්සනයි) බස් ස්ටෑන්ඩ් එකට එනකොට අපි කාටවත් යන්න බස් නෑ! මට ඕනෙනම් විනාඩි 15ක් පයින් ගිහින් ගෙදර යන්න පුලුවන් උනත් අනිත් කට්ටියත් එක්ක ඔන්න ඔහේ ඉන්නවා කියලා හිතලා අපි බස්ස්ටෑන්ඩ් එකේ තාප්ප කෑලි උඩ වාඩිවෙලා කයිය ගහ ගහ හිටියා. එච්චර වෙලාවක් බස්ස්ටෑන්ඩ් එකේ වල බැස්ස මුල්ම වතාවත් ඒකද කොහේදෝ. කොහොමහරි හෙට වෙනකොට මේක පොලවට සමතලා වේවි කියලා අපි කාටවත් හිතුනෙ නෑ.




Share



පහුවෙනිද උදේ සුපුරුදු විදියට මම 7.45ට විතර පංතියට ගියා. පංතිය තියෙන්නෙ ගාලු නගරයෙම කලුවැල්ල කියන හරියේ. ඔය පංතිය 8ට පටන්ගන්නවා කිව්වට මොකද අපේ මිස් එන්නේ 9ට. අපිට එතකං කරන්න ටියුට් එකක් දීලයි තියෙන්නෙ. කෙල්ලො මහන්සි වෙලා ඕක කරත් අපි නං කරන ටියුට් එකක් නෑ, ඔය පැය අපි පංතියෙ පිටිපස්සට වෙලා කයිය ගහන එක තමයි කරන්නෙ. මිස් ආපුගමන් අපි කරන්නෙ මෙච්චර වෙලා ටියුට් එක කරන්න මහන්සිවෙච්ච බවක් අඟවලා උදේට කන්න කියලා ඉන්ටර්වල් එකක් ඉල්ලගන්න එක. :D එදා මිස් එනකොට 9.10 විතර ඇති. අපි ඉතිං සුපුරුදු විදියට ඉන්ටර්වල් එකක් ඉල්ලගෙන උදේට කන්න යන්න කියලා එලියට බැස්සා.

ඔය කලුවැල්ල කියන හරියේ මුහුද අයිනේ තියෙන්නේ අනවසර ඉදිකිරීම් නිවාස ටිකක්, මම හිතන විදියට. පාරට වඩා මීටර් 50ක් විතර දුරින් තමා මුහුද තියෙන්නේ, නමුත් පාරේ ඉඳන් මුහුද පේන්නේ නෑ. ඔන්න ඔය ගෙවල් අතරේ මුහුද අයිනේ තියෙනවා දෙමල ජාතිකයෙකුට අයිති සයිවර් කඩයක්. ඕකේ කෑම රස නිසා අපි ඕකෙන් උදේට පරාට කනවා. ඔන්න එදාත් අපි සුපුරුදු විදියට ඔය කඩේට ගියා. එදා පෝය දවසක් නෙව. කඩේ වහලා! කඩේ අයිතිකාරයගෙ ගෙදරත් වහලා දාලා තිබුනේ. අපි ඉතින් ආපහු පාරට ආවා වෙන තැනකින් කනවා කියලා හිතලා. අපි ඔය ගිය කඩේ ලඟ ඉඳන් පෙනෙන මානයේ මුහුද තිබුනත් අපිට ඔය දිහා බලන්න එච්චර උවමනාවක් තිබ්බෙ නෑ. ඔය වෙලාවෙ මුහුද තියෙන්න ඇත්තේ අර වාර්තා වුන විදියට පස්සට ගිහින්. ඒත් අපිට විතරක් නෙමෙයි, ඒ හරියෙ හිටපු කාටවත් මීටර් වෙච්ච බවක් නම් පෙනුනේ නෑ. හැබැයි ඒ හරියේ ගෙවල්වල මිනිස්සු නැගිටින්නේ නං පරක්කු වෙලා. ඒ අය ඕක දකින්නත් නැතුව ඇති.

[සිතියම විශාල කර බැලීමට ඒ මත ක්ලික් කරන්න]

අපි ඉතින් ආපහු පාරට ඇවිත් පාර අයිනේ තිබුනු ජංගම කෑම කරත්තයකින් මොන මොනවහරි අරගෙන කෑවා. ඔය හරියේ පාර අයිනේ දිගටම තියෙන්නේ ස්වර්ණාභරණ කඩ. ඔය කඩ අතරින් තියෙන කුඩා අඩිපාරවල් වලින් තමා මුහුද පැත්තේ මම අර කියපු කඩේ ඇතුලු ඒ ගෙවල් වලට යන්න තියෙන්නේ.

ඔන්න ඉතින් අපි කකා ඉන්නකොට එකපාරටම කලබලයක් වගේ සද්දයක් ඇහුනා. ඔය ප්‍රදේශයේ සංස්කෘතියේ වලි බහුල නිසා අපි හිතුවේ හොඳ මරාගැනිල්ලක් වෙන්න ඇති කියලා. මෙන්න ටිකකින් අර අතුරු පාරවල් වලින් මිනිස්සු පාරට දුවගෙන එන්න ගත්තා. කාන්තාවො එහෙම මෙලෝ සිහියක් නැතුව නයිටි පිටින්ම දුවගෙන එන්න ගත්තා විලාප තියමින්. ඒ පිටිපස්සෙන් සාමාන්‍ය තරමක වතුරපාරක් ඇවිත් පාරේ පැතිරෙන්න ගත්තා.

දැකලා තියෙනවා නේද ජලසම්පාදන එකෙන් දුරට වතුර ගෙනියන්න පාවිච්චි කරන අඩි දෙකක් පළල වතුර බට? විශ්වාස කරන්න, මම හිතුවේ මේ හරියෙන් යන එහෙම වතුර බටයක් පිපිරිලා වතුර ගලනවා වෙන්නැති කියලා. ගෙවල් ඇතුලට වතුර ආපු නිසා වෙන්නැති මේ මිනිස්සු කෑගහගෙන පාරට දුවගෙන එන්නේ කියලයි මට එකපාරටම හිතුනේ. අපි කවදාවත් අහලා නෑ නේ මුහුද ගොඩගලනවා කියලා කතාවක්!

අපි හිටපු හරියේ උස ගොඩනැගිල්ලකට තිබුනේ අපේ පංතිය තිබුනු ගොඩනැගිල්ල තමා. ඒක තට්ටු 4ක බිල්ඩිමක්. ඉතිං මිනිස්සු දුවගෙන එන්න ගත්තා මේ පැත්තට. දුවගෙන එන මිනිස්සු කෑගහගෙන ආවේ “මුහුද ගොඩගලනවා” කියලා. අපිට මේ වෙන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න බැරිඋනත්, එනපොට හොඳ නෑ වගේ පෙනුනු නිසා අපිත් බිල්ඩිම පැත්තට දුවගෙන ආවා. අපි පංතියට එනකොට මිස් ගෑනුලමයි ටිකට ගණං වගයක් කියලා දෙනවා. අපි කලබලෙන් වගේ දුවගෙන ආපු නිසා මිස් එලියට ඇවිත් බැලුවා. “මිස්! මුහුද ගොඩගලනවලු!” මම කිව්වේ පංතියේ අයටත් ඇහෙන්න ටිකක් සද්දෙන්. එකපාරටම කෙල්ලො ටික හිනාවෙන්න ගත්තා! :D මම උදේපාන්දර හොඳ ජෝක් එකක් දානවා කියලා හිතන්න ඇති! :D මිස් කෝකටත් කියලා එබිලා බැලුවා පාර දිහා, එතැනට පාර පේනවා. පාරේ මේ වෙනකොට ඇලක වගේ වතුර පිරිලා තිබුනේ. මිස් පාර දිහාට යන්න උත්සාහ කලත් අපි ඊට ඉඩදුන්නේ නෑ. අපි මිස්වත් ගෑණුලමයිටිකවත් උඩ තට්ටුවට යවලා ආයෙ පාර දිහාට ආවේ කාටවත් උදව්වක් දෙන්න පුලුවන් නම් කරන්න කියලා හිතාගෙන.

මේ වෙද්දි මිනිස්සු සෑහෙන්න අපේ බිල්ඩිම දිහාට දුවගෙන එනවා. හැමෝම වගේ හොඳටම තෙමිලා. මොකද මේ වෙනකොට පාරේ ඉනක් තරමට වතුර. සමහරු පොඩ්ඩක් තුවාල වෙලා. අපි පුලු පුලුවන් විදියට ඒ අයව බිල්ඩිමේ උඩ තට්ටුවට යැවුවා. ටික වෙලාවකින් මට එලෝපොල් පෙනුනේ ඉරිදා උදේ කියන්නේ අපේ තාත්තා බඩු ගන්න ටවුන් එකට එන වෙලාව බව මතක් වෙච්ච නිසා. ඔය කාලෙ අපේ අතේ මොබයිල් නෑ. එකම එකයි තිබුනේ, දැන් music.lk සයිට් එක කරන අපේ මිත්‍රයා හිරාන් අතේ. මම උගෙන් ෆෝන් එක ඉල්ලගෙන ගෙදරට කතා කරලා බැලුවාම යාන්තං ඇති තාත්තා ගෙදර :)

විනාඩි 15න් විතර ටිකකින් වතුර අඩුවෙලා ගියාම අපි සෙට් එක ටවුම දිහාට පයින් යන්න පිටත් උනා. අපි හිටපුහරියේ කඩවල්වල තිබුනු දේවල් දොරවල් කැඩිලා ඒවෙනකොට තිබුනේ පාරේ.  කවුන්ටර් වල තිබුනු මුදල්, ස්වර්ණාභරණ පවා. සුද්ධෝදන පොරවල් ඒ වෙනකොටත් සීන් එකට එන්ටර් වෙලා හිටියේ. අපි ටවුන් එක පැත්තට යනකොට ඈත පෙනුනා බස් පෙරලිලා තියෙන හැටි. ටවුන්හෝල් එක ලඟට යනකොට අපි මුල්ම මිනිය දැක්කා. (ඒ වෙනකනුත් අපිට හිතිල තිබුනෙ නෑ මේක මාරාන්තික ව්‍යසනයක් වෙන්න ඇති කියල.) ටවුන්හෝල් එකේ මිටි තාප්පෙ උඩ කවුරුහරි තියලා තිබුනා වයසක ආච්චි කෙනෙකුගේ මල සිරුරක්. මේක දැක්කාම අපිට ටිකක් බය හිතුන නිසා අපි ටවුන් එකට යන අදහස අතෑරලා ආපහු පන්තිය තිබුනු තැනට ආවා.

මේ වෙනකොට පන්තිය හරියේ වතුර බැහැලා තිබුනු නිසා අපි පන්තියේ ලමයි ටික ගලවා ගැනීමේ rescue mission එක ආරම්භ කලා. ටවුමට නොගිහින් වෙනත් පාරකින් පංතියේ ලමයි ටිකත් අරගෙන මිස්ගේ ගෙදරට අපි ගියා. පස්සෙයි දැනගත්තෙ අපි ඒ ගිහින් ටික වෙලාවකින් ආපහු වතුර ඇවිත් තියෙනවා කියලා.

අපේ නලින් මේ කාලෙ digital camera එකක් අරගෙන තිබුනෙ (digital camera කියන්නෙත් ඒ කාලෙ අපි වගේ පොඩි මිනිස්සුන්ට දුලබ දේවල්) හිතගිය ගෑණුලමයගෙ හොරෙන් පොටෝ ගන්න :P ඉතිං මෑන් ඕක හැමදාම පංති ගේනවා. කරුමෙට මේ දවසෙ මේ යකා මේක ගෙනත් නෑ. නැත්තං අපේ මතක සටහන් කැමරා ඇසින්ම සටහන් කරගන්න තිබුනා.

ගෙදර ඇවිත් බලනකොටයි දැනගත්තෙ අපේ ආච්චි තවමත් ගෙදර ඇවිත් නැති වග. අම්බලන්ගොඩ ඉන්න අපේ පුංචිඅම්මලැයි ගෙදර කලින් දවසෙ ගිය ආච්චි එදා උදේ තමයි ආයෙ ගෙදර එන්න අම්බලන්ගොඩින් පිටත්වෙලා තිබුනෙ. සවස් වෙනකනුත් බලලා තාත්තා රෝහලටත් ගියා බලන්න. ඊලඟ දවස් කීපයෙම හැම තැනම හොයලා,(මලසිරුරු ගෙනගියා කියල ආරංචිඋන) බටපොල රෝහලට පවා ගිහින් බැලුවත් ආච්චි ගැන ආරංචියක් හොයාගන්න බැරිඋනා. ඒ හෙවිල්ල ලේසි වැඩක් උනේ නෑ, ගාලු පාර අවහිර වෙලා නිසා වාහන යන්න බැරි තත්වයක් තිබුනේ. ෆුට් සයිකල් වලින් තමා අම්බලන්ගොඩටම ගියේ. අදටත් අපි දන්නෙ නෑ අපේ ආච්චිට මොනව උනාද කියලා. නාඳුනන පිරිසක් එක්ක අවසන් ගමන් යන්න එයාට සිද්ධ වෙන්න ඇති.

අදටත් අපේ ගැන්සිය කතා වෙන්නෙ එදා පෝය දවසක් නොවී අර අපි වෙනදා කන දෙමල කඩේ ඇරල තිබ්බනං අපිට මොකද වෙන්නෙ කියලා. ඒ කඩේ රේඩියෝව දාලා තියෙන සද්දෙට අපිට ඔය කලබල අනිවාර්යයෙන්ම ඇහෙන්නෙ නෑ. වතුරෙ ගිලෙනකංම  අපි පරාට ගිල ගිල ඉඳීවි. සුනාමියෙන් පස්සෙ දවසක් අපි ඒ කඩේ පැත්තෙ ගියා. එදා මිනිස්සු ගමනක් ගිහින්ලු තිබුනේ. ගෙදර බඩුමුට්ටු ඔක්කොම විනාස වෙලා තිබුනා කිව්වා. අපි හිටපු පංතියේ ඉඳන් මුහුදට ඒ හැටි දුරක් තිබ්බෙ නැතත්, ඒ හරියේ මුහුද අයිනේ ඉදිකිරීම් ගොඩක් තිබුනු නිසා රැල්ල ඒවායින් ප්‍රතිරෝධයකට ලක්උනා. ඒ නිසා අපිට රැල්ලෙන් බලපෑමක් උනේ නෑ, පාර අයිනේ තිබ්බ ගොඩනැගිලි කඩාවැටුනෙත් නෑ. නමුත් ඒ හරියේ මුහුද අයිනේ ගෙවල් වල සැලකිය යුතු මිනිස්සු සංඛ්‍යාවක් මිය ගිය වගත් අපිට පස්සේ දැනගන්න ලැබුනා.

සුනාමියෙන් පස්සේ සති දෙකක් විතර යනකං ජීවත් වීම ලේසි දෙයක් උනේ නෑ. කඩවල්වල බඩු නෑ, ෂෙඩ් වල තෙල් නෑ. ඇයි ඉතිං සැපයුම් නෑ නෙ. හොඳ වෙලාවට අපේ තාත්තා කලින් දවසෙ ටවුන් ගිහින් ඊලඟ සතියට සෑහෙන්න බඩු ටිකක් ගෙනත් තිබුනු නිසා ටිකක් විතර ෂේප් උනා. මේ බඩු හිඟය වෙන බව කල්තියාම දැක්ක අපේ බාප්පා ඒ පැත්තෙ කඩවල් වලින් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ටිකක් ගෙනැත් දීපු නිසා අපේ ආහාර ප්‍රශ්න විසඳුනා. අපිටත් මෙච්චර අමාරු උනානං සුනාමියට අහුවෙලා බඩුමුට්ටු දේපල විනාස වෙච්ච අයට ජීවිත ගැටගහගන්න කොච්චර අමාරුවෙන්න ඇත්ද?

සුනාමියෙන් පස්සේ දවස් කීපයක්ම මම ටවුන් එක බලන්න ආවා. නමුත් බය කොච්චරද කියනවානං රැල්ලක් දැං එයි දැං එයි කියලා බයෙන් තමයි ගියේ. ඒ වෙනකොට ටවුන් එකට කිට්ටු වෙන්න බැරි තරම් ගඳයි, කුණු පල්වෙලා. සුන්බුන් අස්කරලා ටවුන් එක ටිකක්හරි ගොඩගන්න සති දෙකක් විතර ගියා මට මතක විදියට.

ඔන්න දැං කියන්න හදන්නේ තාක්ෂණික පසුබිම ගැන. කොහොමද ගාලු නගරයට සුනාමියෙන් හානි උනේ කියලා.

මුලින්ම මේ සිතියම බලන්න.

මේ ගාලු කොටුව ගොඩබිමට සම්බන්ධ වෙලා තියෙන විදිය. බලන්න ඒකෙ දෙපැත්තෙන් බොකු දෙකක් හැදිලා තියෙන විදිය. මේ පිහිටීම නිසා කොටුව දෙසට මුහුදෙන් එන රැල්ලෙන් එන වතුර කොටුව දෙපැත්තෙන් ගිහින් අර බොකු දෙකෙන් ටවුමට ඇතුලු වෙනවා. මේවා ක්‍රිකට් පිට්ටනියත් යටකරගෙන ගිහින් බස් ස්ටෑන්ඩ් එක තියෙන හරියට එනවා.

දැං මේ සිතියම බලන්න.

[සිතියම විශාල කර බැලීමට ඒ මත ක්ලික් කරන්න]

මේ ගාල්ලේ බස් ස්ටෑන්ඩ් එක ආශ්‍රිත ප්‍රදේශය. මම නිල් පාට ඊතල වලින් දක්වා තියෙන විදියට, ටවුන් එකේ ඔය හරිය ගොඩබිම දෙසට බෑවුම. ඒ කියන්නේ පාර තියෙන්නේ උසින්. ඉතින් කොටුව පැත්තෙන් එන වතුර පාර මුලු බස් ස්ටෑන්ඩ් එක ප්‍රදේශයම හෝදගෙන බෑවුම තියෙන ගොඩබිම දෙසට යනවා. ඒ කියන්නේ ඇල හා ගොඩබිම දෙසට තියෙන පාරවල් 3 ඔස්සේ වතුර ගොඩබිමට ගලායනවා. ඔය සිතියමේ ලකුණු කරල ඇති අන්තර්ජාතිකව ප්‍රසිද්ධ උන අජන්ත සමරවික්‍රමගේ වීඩියෝ එකේ හිටපු ගෑණුලමයි ටික හිටපු තැන. ඒ අය වේගයෙන් ඕලන්ද ඇල දෙසට ගසාගෙන ගියෙත් ඒ නිසයි. [ඒ වීඩියෝ එක Youtube හි නරඹන්න]

බස් ස්ටෑන්ඩ් එකේ මැද තියෙන තට්ටු දෙකේ කොටස හැර ඉතිරි සියල්ලම විනාශ උනා. ඒ දවස්වල කට්ටිය පොර ටෝක් නං දුන්නා බස් ස්ටෑන්ඩ් එක අලුතෙන් තට්ටු දෙකට හදනවා, අරක, මේක, කියලා. හැබැයි වෙච්ච දෙයක් නං නෑ.  ජනතා විමුක්ති පෙරමුනේ අය එකතු වෙලා ශ්‍රමදානයක් දාලා සති දෙකෙන්ද කොහෙද තාවකාලිකව බස් ස්ටෑන්ඩ් එක හැදුවා. ඒ තාවකාලික එක තමා මෑතක් වෙනතුරුම තිබුනේ :P ජේවීපී එක නොහිටියනං අපිට බස් එනකං ඉන්න වෙන්නේ අවුවේ !

හිතුවට වඩා පෝස්ට් එකත් දික් උනා. ගාල්ලේ අයටත් වඩා දරුණු විදියට ව්‍යසනයට මුහුණ දුන්නු පැරෑළිය හා හම්බන්තොට වගේ ප්‍රදේශවල ජනතාව ගැනත් මතක් නොකර බැහැ. ලංකාවෙන් විතරක් 50,000ක් විතර මියගිය මේ ව්‍යසනයේ දුක්බර අතීතය ඇවිස්සුවා මේ ඇති කියලයි හිතෙන්නේ. සුනාමියෙන් දිවි අහිමිකරගත් මගේ ආච්චී ඇතුලු සියලු දෙනාට තමතමන් ඇදහූ ආගම් වලට අනුව විමුක්තිය කරා යන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.

තරමක් හද සසල කරන මේ ඡායාරූප දෙසත් ටිකක් බලන්න. මේවා පලකරන්න හේතුව මේ සිදුවීම ඇසින් නොදුටු බොහෝදෙනාට මෙහි දරුණුකම ගැන එතරම් feeling එකක් නොමැති වීමයි. මම විශ්වවිද්‍යාලයේ මිතුරන්ට මේ සිද්ධිය විස්තර කරනකොටත් වැඩි දෙනෙකුට මේක එච්චර “ලොකු සීන්” එකක් ලෙස දැනුනේ නෑ. ඇතැම් සංවේදී අයට මේවා බලන්න ටිකක් අමාරුවෙන්න පුලුවන් නිසා මම ඡායාරූප මෙහි පල නොකොට ලින්ක් කරනවා.

ඡායාරූපය 1

මේ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ මල සිරුරු ගොඩගසා තිබුනු ආකාරය. හඳුනා නොගත් මලසිරුරු සිය ගණනක් මේ ආකාරයට සතියක් පමණ රෝහලේ මේ ආකාරයට විවෘත පරිසරයේ තබාගෙන (freezer පහසුකම් කොයින්ද මෙච්චර සිරුරු ගොඩක් දාන්න?) අවසානයේ ඒවා සමූහ සුසානයක මිහිදන් කෙරුනා.

ඡායාරූපය 2

සිරුරු හඳුනාගැනීමේ පහසුව සඳහා අංක කර තිබුනා. මේ එක් සිරුරක ඉහලට එසැවී තිබුනු අතක අංකයක් එල්ලා තිබුනු ආකාරයයි.

සුනාමි ගැන තාක්ෂණික පසුබිම දැනගන්න හොඳම වාර්තා වැඩසටහනක් තමයි මම කලිනුත් සඳහන් කල Seconds From Disaster වැඩසටහනේ Asian Tsunami කියන episode එක. කැමතිනම් ඒක මෙන්න මෙතැනින් බාගෙන (ටොරන්ට් එක) බලන්න, ඉතාම හොඳ වැඩසටහනක්.

Tagged with:  

29 Responses to Tsunami | පස් වසරකට එපිට මගේ මතකය

  1. ගයාන් තාරක පවසන්නේ:

    අපේ ගේ තියෙන්නෙත් බටපොල රෝහල අසලමයි. ඔය වෙලාව එද්දී අපට ලයිට් තිබුණෙ නෑ. මම ඒවෙලාවෙ පොඩි රේඩියෝ කෑල්ලක් හද හද හි‍ටියේ. ටියුන් වෙලා තිබුණු චැනල් එකෙන් මුහුද ගලනවා කිවුවට අපි හිතුවේ සීනිගම හරියේ පාරට වතුරදානව වගේ වෙන්නැති කියලා. ටිකවෙලාවකින් රෝහල පැත්තෙන් විලාප හඬක් ඇහිලා තමයි බලන්නගියේ. කවුදෝ අසරණයෙක් මුහුදුවැලි පිටින් ඇඳක හිටියා. :( ඒ වෙලාවෙ තමයි දැනගත්තෙ වෙච්ච වින්නැහිය. කොහොමින් කොහොම හරි ටික වෙලාවක් යනකොට වැල නොකැඩී රෝහල පැත්තට කට්ටිය එන්න ගත්තා.

    මට තාමත් මතකයි දිය පාරට අසුවෙලා ගහගෙන යද්දී තමන්ගේ බෑග් එක ගහක පැටළිලා ජීවිතේ බේරුන එක්කෙනෙක් ඒ බෑග් එක බදාගෙන‍ “මේක තමයි මා‍ව බේරුවේ” කිය කිය රෝහල ඉස්සරහ වාඩිවෙලා හිටපු හැටි.

  2. කணிshක පවසන්නේ:

    කියලා වැඩක් නෑ අ‍ැත්තටම දුකයි… සුනාමියෙන් පස්සේ ඔය පැත්ත දියුණු වුනා නේද?

    • දියුනු?? මොන?? :D
      විනාශ වෙච්ච පාසල් කීපයකට නම් විදේශ ආධාර වලින් ගොඩනැගිලි ටිකක් හැදුනා.
      අනිත් විදේශ ආධාර නං ඉතිං බහිරවයා ගිල්ලා නොවැ :D
      මේ පැත්ත තාම තිබුණු විදියමයි…

    • අකිල පවසන්නේ:

      ඔව් ඔව් ගොඩක් දියුණු වුනා. ඒකනේ කැඩුනු බස් නැවතුම්පල වෙනුවෙන් හදපු තාවකාලික බස් නැවතුම්පල සදාකාලික එකක් වුනේ. අපි ඔය ගැන කථා නොකර ඉමු.

    • තමීර පවසන්නේ:

      පැත්ත කොහොම වුණත් සමහර පුද්ගලයො නම් හොඳට දියුණු වුණාණා

    • තිලංක පවසන්නේ:

      ඇයි සුනාමි අධාර මුවාවෙන් ආපු මූලධර්ම වාදියො ටික. උන් දනටමත් දුප්පත් පවුල් සෑහෙන්න ප්‍රමනයක් ක්‍රිස්තියනි ආගමට හරවගෙන.

      • හ්ම්.. ඒව නං ඉතිං කියල වැඩක් නෑ…

        හැබැයි ඔය වගේ බාල වැඩ (ප්‍රතිලාභ දීලා ආගමට හරවගැනීම) කරපු ඔක්කොම වගේ කතෝලික වත්, ක්‍රිස්තියානි (එංගලන්ත සභාව) වත් නෙමේ ඔය වෙන වෙන පොඩි රැඩිකල් බයිබල් කණ්ඩායම්. අපේ ගෙවල් පැත්තේ කට්ටියකුත් සුනාමි දවස්වල ඔය කියන ජීවිතේට නම අහල නැති ආගමකට මාරු උනා, හේතුව: ඔවුන්ට අර කට්ටිය ගෙයක් සාදා දීම.

        • ~බිன்ku~ පවසන්නේ:

          ඒ ගැන මුලදී රජය ගත් දුර්වල පියවර (පසුව එහිලා යම් දුරට අඩු වුණා) නිසාත් අපේම ඇතැම් බොහෝ දෙනෙක් කළ වංචා නිසා අහිමි වුණු අසරණයන් තමන්ට පිහිටක් ලැබෙන තැන එසේ මාරු කර ගන්න ඇති. හැබැයි එතැනදී ඔවුන්ට වැදගත් වුණේ තම ජිවිතය ගැට ගසා ගන්නයි, මේ ගැන මගේම අත්දැකීමෙන් කියන්නේ මචෝ, ජිවිතාරක්ෂණ සංගමයේ සාමාජිකයෙක් නිසා සුනාමියෙන් මිය ගිය සිරුරු ගොඩ නැඟිමට සංචේජා අත් උදව්කරුවන් ලෙස මෙන්ම විවිධ අවස්ථාවලදී අධාර කරන්නට හා සංචේජා සේවා කරන්න ගියාමයි අත් වින්දේ.

          මේ කාරණාවේ ගැඹුර නිසාත් වගේම ආගම් හා ජාතී අන්තවාදීන්ගේ කළ කැසිළි මෙතැන දාන්න ගන්න යන නිසාත් මේ ගැන මම මෙතැනදී කතා කරන්න යන්නේ නෑ. හැබැයි අත් විදී හා අසා දැක ඇති අය හෝ අපක්ෂපාතිව හිතුවොත් තේරෙවි.

        • Bhagya රාජපක්ෂ පවසන්නේ:

          අපේ බාප්පලාගේ ගෙදරටත් ආවා කස්ටියක් …
          ගෑණු දෙන්නෙක් ….
          ආහමට එන්න කියල යෝජනා කරන්න …
          බයිබලය කියල එකක් කියවන් ගියා…
          බාප්ප කිව්ව අපේ ත්‍රිපිටකය කියල පොතක් තියනවා ඒක මෙතනට ගේන්න නම් ලොරියක් ඕනේ වෙයි කියලා…
          දෙන්නම ලිස්සල ගියා ….

          සුනාමියට සම්බන්ධ නැති උනත් මේවත් වැරදි වැඩ…

  3. Thilina පවසන්නේ:

    ඉන්දරේ යාන්තමින් නෙවැ බේරිලා තියෙන්නේ..

  4. Gayantha පවසන්නේ:

    සුනාමියෙන් ජීවිතක්ෂයට පත් වෙච්ච අයව පෝලිමට තියල ෆොටෝ අරන් නේ මිහිදන් කලේ.. ඒ ෆොටෝ හෙන ගොඩක් මම බලල තියෙනව. අම්මෝ.. පිස්සු හැදෙනවා. යුද්දෙ තිබ්බ පැත්තක වෙච්ච සීන් එකක් වගේ.. :(

  5. බුධාජීව පවසන්නේ:

    මේ සිද්ධිය වෙන දවසේ මම අපේ ආච්චි – ඒකීවෙ අම්මගෙ අම්මා – ලාගෙ ගෙදර. ඒක තියෙන්නේ අපරැක්ක කියන ගමේ. කැකණදුරට යන්න පුළුවන් පාරක් මේ ප්‍රදේශය හරහා තියනවා. මට හොඳට මතකයි ඒ පාරදිගේ මිනිස්සු ගෙදරට ඇඳින ඇඳුම් පිටිං පයින්ම ඇවිදගෙන ගියපු හැටි! කොහේට යන්න කියල හිතාගෙන ගියාද දන්නෙ නම් නෑ හැබැයි.

    එදා විදුලි බලය නෑ, දුරකතන වැඩ කරන්නෙ නෑ අධික භාවිතය නිසා. වාහනේක ගුවන් විදුලියෙන් තමයි සේරම විස්තර ඇහැව්වේ.

  6. maneesh පවසන්නේ:

    2004 දෙසැම්බර් 26 වෙනිදා…9.25පෙ.ව….මම හිටියේ ආරුගම් බේ මුහුදු තිරයේ..ජිවිතය බේරුනේ ආශ්චර්යකින්…ඇස් පනාපිට ජීවිත සිය ගණනක් මුහුදට ගහගෙන ගියපු හැටි මට අද වගේ මතකයි…

  7. පහන් පවසන්නේ:

    එදා මම ඩියුටි ( ;) )යන්න කියල ආවා ගාලු පැත්තට පස්සෙ පුස්තකාලෙ පැත්තෙ රවුමක් ගහන්න හිතුනා.(වෙන මොකකටවත් නෙවෙයි පාඩම් කරන්න :D ) හොඳ වෙලාවට එදා පෝය කියල බස්එකට නැග්ගට පස්සෙ හරි මතක් උනා. ආයෙ ගෙ‍‍දර ආවා. අපේ ටීවී එක off කරලයි තිබ්බෙ. මිනිස්සු විලාප තියන්න ගත්තාමයි අපිත් දැනගත්තේ. මමත් මුලින් ගනං ගත්තෙ නෑ. ගෙදරට ටොම් පචේකුත් අතෑරලා මාරු උනා. සමහරු කිව්වා කරාපිටියත් වතුර දාලා යන්න එපෝ කියල. ඕං කරාපිටි ගියා කෝ කඩාගෙන බිඳගෙන එන වාහන විතරයි නෝ වතුර. ඊටපස්සෙ කියනවා කලේගානට වතුර දාලා කියලා. කලේගානට ගියා අපේ ලෝසන් කාරයා හම්බඋනා. මිනිහා කිව්වා ඔක්කොම සැපෙන් සනීපෙන් කියලා. :) ඊටපස්සෙ ගාලුපැත්තට ගිහින් වතුර කෙසේ වෙතත් අපේ අයියලාගේ වාහනවල වේගෙ දැක්කාම බයිසිකලෙන් නෙවෙයි පයින්වත් පාරෙ යන්න බැරි බවක් පෙනුන නිසා ආපහු හැරුනා. ‍ඒ ආපහු හැරිලා එනකොට බයිසිකලයක් චප්ප වෙලා පාර මැද තියෙනවත් දැක්කා.ඒකෙ ආපු කෙනාට මොනව උනාද දන්නෑ. ‍අපේ ගෙවල් තියෙන්නෙ කරාපිටිය කිට්ටුව. ඉස්පිරිතාලෙට ගියා අම්මෝ කියල වැඩක් නෑ. :( . දේශපාලකයෝ කෙසේ වෙතත් අවතැන් උන මිනිස්සුන්ට සාමාන්‍ය මිනිස්සුන්ගෙ දායකත්වය නම් ඉහලින්ම ලැබුනා කියලයි මට හිතෙන්නේ. ඉන්දරේ කිව්වා වගේ බස් ස්ටෑන්ඩ් එක මෑතක් වෙනකල්ම තිබ්බෙ තාවකාලිකව හදපු එක. ටීවි ‍එකේ නං සුනාමියෙන් පස්සෙ ගාල්ල අම්බානෙක දියුණු වෙන්න ඇති :D

  8. malee_msg පවසන්නේ:

    අනේ අම්මෝ… මේක කියවද්දි නම් මොනාදෝ.. වෙලා ගියා හිතත් ‍එක්කම.. ජයාරූප ටික නම් පිස්සු හැදෙනවා.. පළවෙනි එකට වඩා දෙවෙනි එක..!! අනතුරින් ජිවිතකෂයට පත්වුනු සියලු දෙනාටම ඔබ කිව්වා වගේම තමන්ගේ ආගම් වල හැටියට විමුක්තිය ලැබේවා..!

  9. සුපුන් සුදාරක පවසන්නේ:

    ඔය දවසෙ මම හිටියෙ තිස්සමහරාමෙ අපේ ගෙදර. එදා උදේම අපේ ලොකු අම්මල ගාල්ලෙ ඉඳල මුහුද ආසන්න පාරෙන් අපේ ගෙදර ආවා විතරයි. ඒ අය වුනත් බේරිලා තියෙන්නෙ අනූ නවයෙන්. ඒ වෙනකොට මම හිතන්නෙ මම 8වසරට පාස් වුනා විතරයි. පොඩි එකා බයෙන් හිටියෙ මුහුදෙන් ගොඩක් ඈත ගෙදර තිබුනත් ගෙදරටත් වතුර ගලාගෙන ගලාගෙන එයි කියල…

    දැන්නම් නිකන් ඒ සිදුවීම හීනයක් වගේ…

  10. සරදියල් පවසන්නේ:

    සෑහෙන හොද ලිපියක් ඉන්දරේ… සෑහෙන මතකයන් අවදි කලා.
    මටත් එදා හොදට මතකයි. එදා මම සිරස ටී.වී එකේ මෑච් එක බල බලා හිටියෙ. එතකොට තමා සිරස Breaking news එකක් විදියට මේක කිව්වෙ.

  11. Buru පවසන්නේ:

    සුනාමි මතක එක්ක ඔයාගෙ කතාව හරිම සංවේදියි මල්ලි. ගොඩාක් වෙලාවට මට තාමත් මතක් වෙන්නේ ඒ දවස්වල ඊට සති ගනනකට පස්සේ උනත් දැනුනු කිලිටි ගඳ හා කෙලවරක් නැති මලකුනු. ඒ වගේම ඔයා මේ කියන පැත්තේ අයියලාගේ වැඩත් නම් අමතක වෙන්නෙ නෑ. අපි කෙල්ලෝ වෙලත් පාරවල් ශුද්ද කරද්දි වතුර බට යවද්දි වාහනත් පාක් කරගෙන ලංකාවෙ අයියලා බලං හිටපු හැටි නම් අමතක නොවෙන සිදුවීමක්. ඒ වගේම බෙහෙත් උනත් ගන්න ආවේ ඇත්තෙන්ම අසරන අය නෙමෙයි වගෙයි මට නම් දැනුනේ. අදටත් මට සුනාමි කීවම මතක් වෙන්නේ කටුනායක එයාපෝට් එකේ ඉඳන් පටන් ගත්තු හොරකම තමයි…ඒක ගාල්ලට වගේම කින්නියා වලටත් තිබුනා.
    මේක කියෙව්වම අතීතේ මතක් උනා මල්ලි. එදා තමයි මට මුලින්ම දැනුනේ මම ලංකාවට අයිති කෙනෙක් කියලා.

  12. ~බිன்ku~ පවසන්නේ:

    පෑරලිය දුම්රියේදී තම දරුවන් බේරා ගන්නට දුම්රියෙන් පිටතට දැමු තාත්තා කෙනෙක් ඔහු බේරි දරුවන්ගේ කුඩු වුණු සිරුර අල්ලා හැඬු ඒ දර්ශනය…

    මට හරි හැටි කතා කරන්න බැරි ආබාධයක් තිබෙන නිසා තමාගේ ගොළු බිහිරි දරුවා ගැන අඩමින් මා ඉදිරිපිටම මගේ මවට කී කතා….

    මල සිරුරු සෙවීමේ කාර්්‍යය සඳහා සහභාගි වුණත් අපිට සුද්ධ පවිත්‍ර කිරීමේ වැඩ වලට සහභාගි වෙලා අන්තීම දවසට පෙර දවසේදී රෝහල ළඟදී ඒ සිරුරු දැක මට කලාන්ත හැදෙන්න ගිය හැටි…

    ඇතැම් සිරුරු වල නිරුවත දැක්කාම මට දැනුණු ශෝකය හා සුනාමියේ මළ සිරුරු වලට හා අවතැන් වු කාන්තාවන්ට දුෂණ කළ න*සංකයන් ගැන ඇති වූ, තවම තිබෙන කෝපය…

    ***** අනේ මන්දා ඉන්දරේ අපි මේවා දැක දැක අත් විද විද අද අපි කිසි ගාණක් නෑ වගේ හිටියේ/ ඉන්නේ කොහොමද කියලා *****

    කොහොම වෙනත් මේ සිදුවීම තමා මගේ පරිගණක ඉන්ජිනේරුවෙක් වෙනවාට වඩා මනුෂ්‍ය වර්ගයාට සේවයක් කරන්න පුළුවන් එකක් උතුම් කියලා දැනෙන්න ගත්තේ. අද ඒක තමා මගේ පරම අරමුණ.

    බොහොම ස්තුතියි ලිපියට.

    ඒ ශෝකජනක සිදුවීමෙන් දිවි අහිමි වුණු සියළු සියල්ලෝටම තම තම ආගමේ විමුක්තිය අත් විදින්නට ලැබේවා කියාත් නැවතත් මෙවැන්නක නො වේවායැයි පතනවා.

  13. ගෝලයා පවසන්නේ:

    ලිපිය මරු ඉන්දරේ. මාව වසර පහක අතීතයකට ගෙන ගියා. ( එච්චර කාලයක් ගත වුනාද කියල නම් මට හිතාගන්නත් බැහැ )

    මගේ ගම කඳුකරයේ පිහිටි බණ්ඩාරවෙල වුනත් අපේ මුල් ගම් දෙවුන්දර නිසා සෑහෙන්න විශාල නෑදෑ පරපුරක් දෙවුන්දර, මාතර, තංගල්ල වගේ පැති වල ඉන්නවා. මට හොඳට මතකයි එදා මට සංයුක්ත ගණිතය පංතියක්. වෙනද පුරුදු විදියට මදුරුවා පිටේ නැගල පංතියට ආවම තමයි දැන ගත්තේ මෙහෙම වින්නැහියක් වෙලා කියල. හරියටම තේරුනේ “විහාර මහා දේවියගේ” කතාව වගේ කියල දැන ගත්තම.

    එතනින් එහාට නම් කියල වැඩක් නැහැ. එදා රෑ කඳුකරයේ අපිටත් නින්දක් නැහැ. හැම නෑ කෙනෙක්ටම කරදරයක් වෙලාද කියල හොයල බැලුවා. වාසනාවකට අපේ පවුලේ කගෙවත් ජීවිත වලට හානි වුනේ නැහැ. බණ්ඩාරවෙල කියන්නේ ගොඩ කාලෙකට ඉස්සර ලංකාවේ හතර දිග්බාගෙන් සංක්‍රමණය වුන මිනිස්සු ජීවත් වෙන ප්‍රදේශයක්. ඒ නිසා අපිටත් මේ සිදුවීම සෑහෙන්න දැනුනා.

    කට්ටිය කීවා වගේ මේ සිදුවීමෙන් මිය ගිය සැමට යහපත් ප්‍රතිසන්ධියක් ලැබේවා.

  14. පිස්සා පවසන්නේ:

    හප්පේ මල්ලි… මට මේක දැකලා මඤඤං උනා..
    මොකද මාත් ගාල්ලේ නිසා…
    අපේ පවුලේ කාටවත්ම නම් අනතුරක් උනේ නෑ, ඒත් දන්න අදුනන ගොඩාක් දෙනෙක් අවසන් ගමන් ගියා…
    මක් කොරන්නද?

  15. Sameera පවසන්නේ:

    ඇත්තටම හද කම්පා කරවන සිදුවීමක් තමයි සුනාමි ව්‍යසනය. මොකද කියනව නම් මේ සිදුවීමෙන් විශාල ජීවිත හානියක් සිද්ධ වුන. මටත් එදා ඒ මළ සිරුරු දකිනනොට ගොඩක් දුක හිතුනා.
    ලිපිය නම් ගොඩක් අගය කරන්න ඕනෙ ඡායාරූප ටික දැක්කම අවුරුදු පහක අතීතය ආයෙත් මතක් වුතා. අයියාගේ ආච්චී ඇතුලු සියලු දෙනාට තමතමන් ඇදහූ ආගම් වලට අනුව විමුක්තිය කරා යන්න කියලා මමත් ප්‍රාර්ථනා කරනවා.

  16. අනූ පවසන්නේ:

    අවුරුදු පහක් ගියාද කියලත් හිතෙනවා. මේ අවුරුදු පහ ඇතුලත අලුතෙන් මේ රටේ ලොකු වෙනසක් නං වුනේ නෑ. අලුත් ශ්‍රී ලංකාවක් කිවුවට වුනේ පරණ එකටම ප්ලාස්ටර් ගහපු එක තමා. ඒ කාලෙ ලංකාව දියුණු වෙච්ච වේගෙන්ම දිගටම ගියා නං ඔයිට වඩා දියුණුවක් දැං ලබල තියෙන්න තිබුනා.

  17. සුදම් පවසන්නේ:

    ඔය දවසේ මගේ බොහොම කිට්ටු ඥාති සහෝදරයෙක් නැති උණා. අදටත් මට ඒ කම්පනය තියෙනවා. ඒ අයව හම්බ වෙන්න යන්න යොදාගත්ත ගමනක් අන්තිම මොහොතේ කැන්සල් කලේ නැත්නම් මමත් ඔය වෙලාවේ ගාලු පාරේ…

    හොඳ ලිපියක් ඉන්දරේ… ඉන්දරේගේ ආච්චි ඇතුලු සුනාමියෙන් ජීවිත අහිමි උන සියලු දෙනාටම ඒ අයගේ ආගම් අනුව විමුක්තිය ප්‍රාර්ථනා කරනවා, අපේ අනිත් යාලුවෝ වගේම.

    සුනාමියක් ඇවිල්ලත් අපේ මිනිස්සු ටිකක් හරි වෙනස් උණාද කියන එක තවත් ප්‍රශ්නයක්….

  18. සීසර් පවසන්නේ:

    වෙලාවට පෝය නිසා පන්ති තිබිලත් ගෙදරට බොරු කියල පන්ති කට් කලේ…… මමත් එදා රෑ එලි වෙනකම්ම අපේ රොහලේ මෝචරියට මලසිරුරු ගෙනියන්න උදව් උනා….. :( හපොයි දෙයනේ ලොකු, පොඩි, හැම මස්සයෙක්ම එක ගොඩේ….. සති කීපයක් යනකම්ම ඒ මිනී කුනු ගද දැනුන මට හොදට මතකයි….හෆොයි දෙයියනේ අපහු නම් ඒ වගේ දෙයක් වෙන්න එපා..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>