මීට සති කීපයකට පෙර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ සිසු ගැටුමක් ඇති විය. මේ ගැටුමට ආසන්න සිදුවීම වූයේ පෙර දින දිවා ආහාර පැයේදී ශ්‍රවණාගාරයේ පැවැත්වූ පලමු වසර සිසු රැස්වීමකදී දෙපාර්ශ්වයක් අතර සිදුවූ උණුසුම් වචන හුවමාරුවකි. එමෙන්ම පසුදින ගැටුම හටගත්තේ විද්‍යාපීඨ ආපන ශාලාව තුලය.
නැවත මෙවන් සිසු ගැටුම් ඇති නොවීමට විද්‍යාපීඨ පරිපාලනය අපූරු විසඳුමක් දී තිබේ. එනම් දිවා ආහාර විවේකයේ දී හා දේශන නොමැති අවස්ථාවලදී ශ්‍රවණාගාරය වසා තැබීමය. ගැටුම් ඇති වන්නේ ශ්‍රවණාගාරයේ සිසු රැස්වීම් තිබූ විටය. එහෙයින් එය වසා දැමූ විට සිසු රැස්වීම් නොපැවැත්වෙන බැවින් නැවත ගැටුම් ඇති නොවනු ඇත. හරිම අපූරු විසඳුමකි !
විද්‍යාපීඨයේ ඇත්තේ එක් ආපනශාලාවක් පමණි. බැමි ඇත්තේ ද ඉතා අඩුවෙනි. එහෙයින් විශාල ශිෂ්‍ය සංඛ්‍යාවකට දිවා ආහාර ගැනීමට ඉඩකඩ ප්‍රශ්න ඇතිවේ. මෙතෙක් කල් වැඩි සිසු පිරිසක් ආහාර ගත්තේ ශ්‍රවණාගාරය තුල ය. එය දල වශයෙන් තුන්සියයකටවත් ආසන්න ය. මෙම ශ්‍රවණාගාරය වසා දැමීමේ තීරණයෙන් පහර වැදුනේ එවන් සිසු පිරිසකගේ දිවා ආහාරයට ය. මේ වන විට දිවා ආහාර වෙලාව ලඟාවත්ම ශ්‍රවණාගාරයත් C2 දේශන ශාලාවත් වසා දැමීම නිසා සිසුන්ට කැන්ටිමෙන්, පාර අයිනේ ජංගම වෙලඳුන්ගෙන් මිලට ගන්නා නීරස බත් පාර්සලය ගිල දැමීමට ඉඩක් සොයා ගැනීමට එහේ මෙහේ රස්තියාදු වීමට සිදුවී ඇත.
විද්‍යාපීඨයට ආපනශාලාවක් අවශ්‍ය නොමැති බවද එහෙයින් ආපනශාලාවද වසා දැමීමට පරිපාලනය තීරණය කර ඇතැයි ආපනශාලාව හිමිකරු අප සමග කීවේ ටික දිනකට කලින්ය. ගැටුම සිදු වූයේ ආපනශාලාවේ බැවින් එය වසා දැමීම අනාගතතයේ ගැටුම් ඇතිවීම වලක්වනු ඇතැයි පරිපාලනය සිතා ඇතුවාට සැක නැත. මෙම ආපන ශාලාව වසා දැමුවහොත් මේ දිනවල විද්‍යාපීඨයට ඊලඟට ලඟින්ම ඇති ආපනශාලාවද වසා දමා ඇති බැවින් තේ එකක් බීමට පවා සෑහෙන්න දුරක් ගෙවා යාමට සිදුවනු ඇත.
විද්‍යාපීඨයට ඇතුලු වීමට කුඩා ගේට්ටුවක් එකල තිබිණි. එය වසරකට පමණ පෙරදී වසා දමනු ලැබුවේද ගැටුම් වැලැක්වීමේ ක්‍රියාමාර්ගයක් ලෙසය. (අපිට කීවේ නම් ආරක්ෂක විධිවිධානයක් කියාය, නමුත් තිබෙන කුඩා ගේට්ටු වලින් වසා දැමූයේ අපේ එක පමණි.) ඉන් සිදුවූයේ පොටෝකොපියක් ගැසීමට, බත් එකක් ගැනීමට පාරට යාමට අමතර දුරක් ගෙවා ප්‍රධාන ගේට්ටුවෙන් රවුමක් ගැසීමට සිදුවීමය.
ජපුරේ සිසු ගැටුම් වැලැක්වීමට පරිපාලනය ගන්නා තීන්දු ඔන්න ඔහොමය ! සිසුන් අතර ගැටුම්, අසමගිකම් දුරලීමට නම් කල යුත්තේ සිසුන් මත තව තවත් මානසික පීඩණය වැඩි කිරීමදැයි මම පරිපාලනයෙන් අසා සිටීමට කැමැත්තෙමි.
ඉල්ලීමක්: මෙහි ඉදිරියේදී එක් වන කමෙන්ට් ඔබට ඊමේල් වන අයුරින් ඔබ Comments Subscribe වූනවා නම් කරුණාකර ඔබේ Spam folder එක මදක් බලන්න. මගේ බ්ලොග් අඩවියෙන් එන Comments notification ඊමේල් spam වෙත යන බව වාර්තාවී ඇත. එබන්දක් ඔබේ spam folder වෙත ගොස් තිබුනොත් කරුණාකර එය Not SPAM ලෙස mark කර මට සහාය වන්න.








සැලකිය යුතුයි
Comments