වීඩියෝ කෝල් ගන්න පුලුවන් 3G දුරකථන අද සමාජයේ ගොඩක් භාවිතයේ තියෙනවනේ. ඇත්තටම කිව්වොත් වීඩියෝ කෝල් එකක් කියන්නේ දුරකථනයක අමතර දෙයක් මිස අත්‍යාවශ්‍ය අංගයක් නෙමෙයි. නමුත් වීඩියෝ කෝල් එක අත්‍යාවශ්‍ය දෙයක් වෙච්ච පිරිසක් මම පහුගිය සති අන්තයේ නිවෙස බලා යන බස්රථයේදී දැක්කා. ඒ තමයි කථා කිරීමේ අපහසුතා වලින් පෙලෙන අපේම සහෝදරවරුන්.
මේ ගැන කලිනුත් බ්ලොග් ලිපියක් ලියැවී තිබුනා මතකයි, නමුත් අවාසනාවකට වගේ මොන බ්ලොග් එකේද කියල නම් දැන් මතක නෑ.
ගොඩක් දෙනා දන්නව ඇති කථා කිරීමේ දෝෂ ඇති වන්නේ බොහෝ දුරට ශ්‍රවණාබාධ නිසා කියලා. ඒ කියන්නේ කුඩා කාලයේ අනුන් කථා කරන දේ ඇහෙන්නෙ නැති වෙනකොට කථා කරන්නත් බැරි වෙනවා. මොකද අපි කථා කරන්න ඉගෙන ගන්නේ අනුකරණය කරලා. ඉතින් ජංගම දුරකථනය මේ කියල පිරිසට කොහෙත්ම වැඩක් නැති උපාංගයක් වෙලයි තිබුනේ. නමුත් වීඩියෝ කෝල් පහසුකම පැමිණීමත් සමගම ඔවුන්ටත් ජංගම දුරකථන පාවිච්චි කරන්න අවස්ථාව ආවා. අනිත් අයත් එක්ක වීඩියෝ හරහා හස්ත මුද්‍රාවෙන් කතා කරන්න පුලුවන් නිසා.
බස් රියේදී මා දුටුවේ එබඳු පුද්ගලයන් දෙදෙනෙක් වෙනත් තැනක සිටි තම මිතුරෙක් සමග දුරකථනයෙන් හස්ත මුද්‍රාවෙන් කතා කරන ආකාරයයි. (මුලින්ම මගේ අවධානය ඔවුන් වෙත යොමු වුනේ මගේ වර්ගයේම දුරකථනයක් ඹවුන් අතේත් තිබීම නිසයි.) කෙසේ වෙතත් මා නිරීක්ෂණය කල ආකාරයට ඔවුන්ට වීඩියෝ කෝල් එක ගැනීමේදී යම් යම් දුෂ්කරතා ඇති උනා. එතම දේ දෙතුන් පාරක් පවසන්න සිදුවුනා වගේ මට පෙනුනා. මම හිතන්නේ මීට හේතුව 3G දුරකථන වල වීඩියෝ කෝල් එකක frame rate එක අඩු වීම වෙන්නැති. ඔවුන් වේගයෙන් කරන හස්ත සංඥා සියල්ල කැමරාවෙන් ග්‍රහණය වෙන්නෙ නෑ. ඒ නිසා අනෙක් පස ඉන්නා පුද්ගලයාට ඒ ඔක්කොම දකින්න ලැබෙන්නෙ නෑ.
කෙසේ වෙතත් ජංගම දුරකථන සමාගම් මෙබඳු අයට සහන මිලට වීඩියෝ කෝල් ගන්න පුලුවන් පැකේජ හඳුන්වා දෙනවානම් ඒක ඔවුන්ට කරන ලොකු උපකාරයක් වේවි.








සැලකිය යුතුයි

Comments