අපි විශ්වවිද්‍යාලයට ආපු අවුරුද්දේ orientation වත්, english course වත් තිබුනෙ නෑ මුලින්. සඳුදා දවසක අපි ඇවිත් රෙජිස්ටර් උනා, අඟහරුවාදා ඉඳන් academic පටං ගත්තා. අඩුගානෙ ලෙක්චර් හෝල් තියෙන්නෙ කොහෙද කියලවත් දන්නෙ නැතුව එලෝ පොල් පෙනිල හිටිය අපිට උදව් උනේ ජ්‍යෙෂ්ඨ සිසුන්. ඒ නවක වදය දීලාවත්, “අඩෝ ෆ්‍රෙෂා.. මෙහෙ වරෙං පො***” කියලා කතා කරලාවත්, ඔවුන්ට “ජ්‍යෙෂ්ඨ උත්තමයන්” කියලා ආමන්ත්‍රණය කරවගෙනවත් නෙමෙයි. සුහදව “නංගී මල්ලී” කියලා කතා කරලා. විශ්වවිද්‍යාලයට එන්න කලින් අපේ ගම්පලාත් වල රැස්වීම් පැවැත්වුවා නවකවධ විරෝධී කණ්ඩායමෙන්. (ඒ රැස්වීමට මම ගියේ බයෙන් විතරක් නෙමෙයි එතනදි ඔවුන් නවකවධයට විරුද්ධව කියපු දේවල් වලට මම නිකමටවත් ඔලුව වැනුවෙ වත් නෑ. මොකද ෂුවර් නැති නිසා. මෙතනදි මමත් ඔය කියන ඒවට එකඟවෙලා පස්සෙ කැම්පස් එකේදි අල්ලගෙන රැග ඩබල් දුන්නොත්? :P) පස්සෙ තමා තේරුණේ ඒ ඇත්තම නවකවධ විරෝධීන් කියලා. එවකට ශිෂ්‍ය සංගමයේ සභාපති වුන සමීර අයියා කියපු කතාවක් තමයි “මල්ලී… ජ්‍යෙෂ්ඨයන්ට ගරු කරන සම්ප්‍රදායක් හැම කැම්පස් එකේම තියෙනවනේ. අපිට නං ඔය ජ්‍යෙෂ්ඨ උත්තමයො කියල කියන්න ඕනෙ නෑ. සීනියර් බැච් එකේ අයට අයියේ අක්කේ කියල කතා කරන්න, බැරි නං ඒත් කමක් නෑ අපි තරහ නෑ” කියලා. බලෙන් “උත්තමයන්” කියල කියවගන්නවට වඩා මේ කතාව කොච්චර සුන්දරද? හොඳටම ෆිට් උන ජ්‍යෙෂ්ඨයන් කීපදෙනෙකුට පසුකාලීනව “මචං” කියන්න පටන්ගත්තත් අනිත් අයට තාමත් අපි අයියේ අක්කේ කියලා කතා කරනවා, ඇතැමුන් මගේ වයසෙම උනත්.

ඕනෙම තැනක පොඩි පොඩි සම්ප්‍රදායන් තියෙවනෙ. අපේ ෆැකල්ටිය තුල තියෙන එවැනි සම්ප්‍රදායන් ගැන අපිට කියල දුන්නෙත් ඒ ජ්‍යෙෂ්ඨයන් බොහොම කාරුණික විදියට. අපේ ෆැකල්ටියෙ සම්ප්‍රදායන් ඔය සමාජවාදී පීඨ වල තියෙන ඇතැම් සමයං නං නෙමෙයි. මම මේ ලිපියට අදාල වන උදාහරණ දෙකක් කියන්නම්. සිරිතක් විදියට අපි බැම්මක වාඩි වී සිටියදී එතැනින් ආචාර්යවරයෙක් පයින් ගමන් කලොත් අපි නැගී සිට ආචාර කරනවා. (දැං කෙනෙකුට හිතෙන්න පුලුවන් මේක ඉස්කෝලයක් වගේනේ කියලා :D ඒත් ඉතින් ඔය වැඩේ ඇති වැරැද්දකුත් නෑ නේද?) ඒ වගේම පරිගණක විද්‍යාගාරයේ “Lecture On” පුවරුව නංවා තියෙනවනම් කිසිවෙක් දොර ඇර බලන්න යන්නේ නෑ. රැග් සීසන් එකක් නැතත් මුල් සති දෙක තුන තුල කටින් කට පැතිරෙන විදියට තමා ඔය වගේ පොඩි පොඩි දේවල් කියලා දුන්නේ.

ඔන්න ඉතිං විශ්වවිද්‍යාල පරිපාලනය ඊලඟ අවුරුද්දේ ඉඳං පටං ගත්තා අලුත් වැඩක්. නවකයන්ට මුල් සති දෙක තුල academic නැතුව Orientation Program එකක් පටන් ගත්තා.  මේකේ සාධනීය ලක්ෂණ තියෙනවා. physical science batch එකට අයිති අපි biological departments ගැනවත් ඒවයෙ lecturersලා ගැනවත් දන්නෙ නෑ. නමුත් මේ orientation එකේදි ෆැකල්ටියේ සියලුම ඩිපාට්මන්ට් වලට සිසුන් එක්කගෙන ගිහින් ඒ ඒ ඩිපාට්මන්ට් ගැන කියල දුන්නා. ඒක බොහොම වටිනා දෙයක්.

ඒ වගේම මේ orientation එක තුලදි ඒ සිසුන්ට ඉගැන්නුවා ජ්‍යෙෂ්ඨ සිසුන් හා කතා කිරීම පවා මහා පාපයක් විදියට. :D මේකෙන් බලාපොරොත්තු උනේ දැනට ජ්‍යෙෂ්ඨ සිසුන් අතර තියෙන බෙදීම් අලුත් බැච් එකට යන්නට නොදී ඔවුන් එක බැච් එකක් විදියට  අර දෙපැත්තටම නැතුව එකමුතු කිරීමලු. (ඕවා අහලා අපිට පණ යනකං හිනා ! ඔය වැඩේ කරන්න නං වෙනම හොස්ටල් එකකුත් හදන්න ඕනෙ. දැං තියෙන හොස්ටල් වලට යන එවුං ජෙප්පො වෙන එක නවත්තන්න බෑ නේ :D) ඉතිං මේ තත්වෙ උඩ ජූනියර් බැච් අපිත් එක්ක කතා කිරීම සීමා උනා. එයින් වුන ලොකුම පාඩුව තමා අර පෙර කියපු සම්ප්‍රදායන් ගැන ජූනියර් බැච් එක දැනුවත් නොවීම. අපි හිතුවේ විශ්වවිද්‍යාල පරිපාලනය හා ආචාර්ය මණ්ඩලය එකතුවෙලා කරපු oriemtation එකේදි එව්වා කියල දෙන්න ඇති කියලා. නමුත් අනිත් මොනවා කියල දුන්නත් ජූනියර් බැච් වල එවුන්ට කැම්පස් එක තුල හැසිරෙන හැටි නම් කියල දීලා නැති බවයි අපිට පෙනී යන්නේ.

ජී. එස්. මාකලන්ද මෙනවිය අපේ පරිගණක විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු අධ්‍යයනාංශ ප්‍රධානතුමිය. එතුමියට පරිගණක ක්ෂෙත්‍රයේ කොතරම් දීර්ඝ ඉතිහාසයක් තියෙනවද කිව්වොත් ඇය COBOL භාෂාවෙන් Punch Card යන්ත්‍ර වල (එකල එකම යන්ත්‍රය තිබී ඇත්තේ මොරටුව විශ්වවිද්‍යාලයේ පමණයි) ප්‍රෝග්‍රෑමිං කරපු කෙනෙක්. අපේ විශ්වවිද්‍යාලයේ පරිගණක යන්ත්‍ර මුලින්ම ස්ථාපිත කරපු අවධියේ මුල්ම පරිගණක මධ්‍යස්ථාව ප්‍රධානී වී ඇත්තේ ඇයයි. උනන්දුවෙන් ඉගෙනගන්න අයට ඇය ඉතාම කරුනාවන්ත වුනත්, ලෙක්චර්ස් එන්නෙ නැති, වැඩ ටික හරියට කරන්නෙ නැති අයට නම් ඇය සමග වැඩ කිරීම එච්චර ලේසි උනේ නෑ. දේශණයට පරක්කු වී පැමිණීම ඇය තරයේ හෙලාදුටු දෙයක්.  ඇගේ මේ ගතිගුණ අපිට කියා දුන්නේ අපේ ජ්‍යෙෂ්ඨයන්. “මල්ලී මැඩම් මෙහෙමයි.. ඒ නිසා මැඩම් එක්ක සෙල්ලං දාන්න  යන්න එපා.. වැඩ ටික කරගෙන ඉන්න..” කියලා. නමුත් අපේ ජූනියර් බැච් එකට ඕවා කියලා දෙන්න කෙනෙක් හිටියේ නෑ නේ :P උන් ලෙක්චර්ස් කට් කරලා, පරක්කු වෙලා ලෙක්ඡර්ස් ගිහින්, ටියුට් කොපි කරලා මාට්ටු වෙලා ඇති තරම් මැඩම් සමග යකා නටා තිබුනා. අලුත් බැච් එක පිලිබඳව ඇය බොහෝ කණස්සල්ලෙන් හිටි බවකුයි අහන්න ලැබුනේ.

තවත් දෙයක් සිදුවුනේ ගිය සතියේ පරිගණක විද්‍යාගාරයේදී. ඒ වෙලාවේ ලෙක්චරර්ලා දෙන්නෙක් ලැබ් එකේ හිටියා, Lecture On පුවරුව දාලා තිබුනේ. අලුත් 1st Year බැච් එකේ (මේ කියන්නේ ඊයෙ පෙරේදා ආපු අපිට වඩා බැච් 2ක් පහල කට්ටිය) ලමයෙක් අර පුවරුව දැක දැකත් ලැබ් එකේ දොරට තට්ටු කරමින්, ඇතුලට එන්න උත්සාහ කරමින් සෑහෙන්න සෙල්ලමක් දැම්මා. මීට අර ආචාර්යවරුන් දෙදෙනාට සෑහෙන්න තරහ ගිය බවයි පෙනුනේ. “මේ ෆර්ස්ට් ඉයර් එවුංගෙ නම් කිසිම චාරයක් නෑ” කියල එක් ආචාර්යතුමෙකුගේ කටින් කියවුනේ ඒ තත්වය ඔවුන්ටත් දැනී ඇත් නිසා වෙන්න ඇති.

ලිපිය අනවශ්‍ය විදියට දීර්ඝ උනා. මම මේකෙන් කියන්න උත්සාහ කලා කාරණා කීපයක්.

  • විශ්වවිද්‍යාල පද්ධතියට නවකයන් අනුගත කරන්නත් සම්ප්‍රදායන් කියාදෙන්නත් නවක වධයක් අවශ්‍ය නෑ. ඒක බොහොම සුහදව කරන්න පුලුවන් දෙයක්.
  • නවක සිසුන් විශ්වවිද්‍යාල පද්ධතියට අනුගත කිරීම තනිකර පරිපාලනයට විතරක් කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. ඒ සඳහා සිසුන්ගේ සහය අවශ්‍යයි.
  • නමුත් මේ දෙවැනි කාරණයේදී ඇතැම් මානසික ලෙඩුන් මගින් නවක වධය මතුවෙන්න පුලුවන් නිසා ඒ වැඩේ අධීක්ෂණය කිරීමත් සිදුවෙන්න ඕනේ.

visit Facebook fan page here


©Copyright 2009-2010 by Pravin Indranama - All Rights Reserved