මම මෙච්චරකල් බ්ලොග් ලිපි ලිව්වා මිස ඒ ලිපි වල තේරුම කියාදෙන්න තවත් ලිපි ලියන්න සිදු වුනේ නෑ නේ. ඔන්න දැං ඒ වැඩෙත් කරන්න සිදුවෙලා :) (හරියට ජෝක් එකක් කරලා ඒකෙ තේරුමත් කියලා දෙනවා වගේ :P)
මෙන්න මේකයි සිද්ධිය. මම ගිය සතියේ අපේ ගමේ පන්සක කඨින පෙරහැරක සිදුවුන විගඩම් ටිකක් විවේචනය කලා නේ. මේ ලිපිය අනවසරයෙන් එක් පුද්ගලයෙක් කොපි කරලා එලකිරි.කොම් ෆෝරමයේ පෝස්ට් කරලා. මෙහිදී එතන මගේ නමත් සඳහන් කරලා තිබුනත්, මම මේ බ්ලොග් එකේ පැහැදිලිව දක්වා තියෙන විදියට මගේ අවසරයක් නැතිව කොපි කිරීම මම අනුමත කරන්නේ නෑ. ඒ විතරක් නෙමෙයි. මේකයි හොඳම සීන් එක. මේක කොපි කරපු මනුස්සයා මගේ බ්ලොග් එකේ RSS feeds වලට email මගින් subscribe වෙලා. ඉතින් ලිපිය email වෙනවනේ උන්නැහේට. මේ මනුස්සයා අර ෆෝරම් එකේ මගේ ලිපිය දාලා තියෙන්නෙ “මට මේක ඊමේල් එකකින් ආපු එකක්….” කියලා. දැන් හරියට මම මේක ඊමේල් මගින් පතුරපු එකක් වගේ.
ඉතින් මේක එලකිරියෙදි කියවපු ශ්‍රී ලාංකික ෆෝරම් වාසී සිංහල බෞද්ධ ජනතාව අම්බානෙක කිපිලා, හේතු දෙකක් මත. පලමුවැන්න මේක කොපි කරලා පෝස්ට් කරපු මනුස්සයා ඉස්ලාම් භක්තිකයෙක් වීම හා මට එලකිරි ජනතාවගේ ප්‍රතිචාර වලින් පෙනී ගිය විදියට මෙයා කලිනුත් ආගම්වාදී වැඩ කර තිබීම. මේක මට අදාල නෑ. මොකද මම නෙමෙයිනේ මෙයාට මේක එලකිරියට දාන්න කිව්වේ. මම මෙයාගෙන් මේ ගැන විමසුවාම කියනවා “සොරි බ්‍රෝ… කියන්න අමතක උනා…” ලු. !
දෙවන කාරනාව තමා මට වැදගත් වෙන්නේ. මේක ලියපු එකා, ඒ කිව්වෙ මම බෞද්ධ විරෝධියෙක්ලු, කාලකණ්නියක්ලු, blah blah blah…. ඔන්න ඔය වගේ කතා ගොඩක් තිබ්බා ඉතිං. මේක ගොතපු කතාවක්ලු, මොකද උන්නැහේලගෙ පලාත්වල පන්සල් වල මෙව්ව වෙන්නෙ නැතිලු. ඉතිං හත්දෙයියනේ මම නෑ කිව්වයැ ! මම මේ කිව්වෙ අපේ ගමේ වෙච්චි දෙයක් මිසක් රටේම කඨින පිංකම් ගැන නෙමේ නෙ. එක පොරක් කියලා තිබ්බා මම **තවත් ප්‍රසිද්ධ බ්ලොග්කරුවෙක්** වගේම අපේ දේවල් වලට ගරහන එකෙක්ලු.ඉතිං මම කිව්වා මම එහෙම ගරහපු දෙයක් කියන්න බලන්න කියලා. මේ පොර කියන්නේ මේ ලිපිය ගැනමයි. බලන්න මිනිස්සු එක දේකට අනිත් අය ගැන වෙනස් වෙනස් ආකල්ප ඇති කරගන්නවද කියලා ! :D මෙතන “පොරක්” කියල කිව්වෙ අගෞරව කරන්න එහෙම නෙමේ. උන්නැහේ හැබෑවටම පොරක් විත්තිය තේරිච්ච නිසා ! මොකද කඨින පිංකම් තියෙන දවස් මතක නෑ කියල මට දොස් කියලත් තිබුනා, එදා උදේට නැගිටින්න ලෑස්ති වෙලි ඉන්න. උන්නැහේට නං ඒ ඔක්කොම කටපාඩංලු.
හොඳම ෆන් එක කට්ටිය මගේ ආගම predict කරලා ඒකටත් බනිනවා. සමහරු praveen කියලා ලියාගෙන ඒක මුස්ලිම් නමක් කියලා අර්ථ දක්වගෙන. එතකොට තවත් අය කියනවා “නෑ නෑ ඒ යකා කතෝලිකයෙක්” කියලා :) අනේ දන්නැති අයටයි මේ කියන්නේ, මම නං බෞද්ධයා. ඒ අතරෙ සැබෑ ආගම් ප්‍රේමියෙක් බුද්ධාගමට මම කරන නිගරුව ඉවසාදරා ගෙන ඉන්න බැරුව බ්ලොග් එකට ඇවිත් කුණුහරුප දෙකක් තුනක් ලියලා ගිහිල්ලත් තිබුනා :D
මම කිසිදාක සාමාජිකයෙක් නොවුන, නොවෙන්නට හිතාගෙන හිටිය ඒ ෆෝරමයේ මට සාමාජිකත්වය ගන්නත් උනා මට අන්තිමට, මේ විගඩමට උත්තර බඳින්න. අපේ යුරාජ් සහෝදරයා මට PM එකකුත් එවලා අහලා තිබ්බා “ඉන්දරේ අන්තිමට එලකිරියටත් ආවා නේද” කියලා. හෙහෙ… ආවා තමයි, හැබැයි රැඳෙන්න නම් බලාපොරොත්තුවක් නෑ. ආයෙත් එන්නේ මගේ ලිපියක් කොපි කරලා දාලා තවත් අවුලක් ගිය දවසට. :D
මම එලකිරියෙ වාද කරන්න ගියේ නෑ. හේතු දෙකක් නිසා. එකක්, මේක මම එතැන පෝස්ට් කරපු එකක් නෙමෙයි. අනික මම ස්වාධීන බ්ලොග්කරුවෙක්, මම බ්ලොග් එක ලියන්නෙ elakiri blogs platform එකේ වත් නෙමෙයි. ඒ නිසා එතැන තර්ක කරන්න මම බැඳී නෑ. ඒ නිසා සංවාද කරන්න කැමති අයට මගේ බ්ලොග් එකේ comment form එක විවෘතයි නේ.
මේ කියන්නේ ඒ ලිපිය තේරිච්ච නැති, ෆෝරම්වාසී කුක්කු බබාලට. ආයෙමත් කියවන්න, තේරෙන්නෙ නැත්තං දැනුම් තේරුං තියෙන වැඩිහිටියෙක්ගෙන් අහන්න ලැජ්ජ වෙන්න එපා. ඒ ලිපියෙන් විවේචනය වෙන්නෙ බුද්ධාගමවත්, කඨින පිංකමවත්, බෞද්ධ සිරිත්විරිත් වත් නෙමේ. අපේ ගමේ කොල්ලෝ ටිකක් ආගමට නිගරු කරපු විදියයි. හොඳට ඔලුවට දාගන්න, “අපේ ගමේ” කියන එක. මොකද මේ සිද්ධිය වෙන්නෙ රචකයගෙ ගමේ මිසක් ලංකාවෙ හැම තැනකම නෙමෙයි. මට ඇහැරුනේ හේවිසි නාදෙට බව හැබෑව. නමුත් මට හේවිසි වාදනයටවත් කඨින පෙරහැර ගැන වත් ක්‍රෝධ සිතුවිල්ලත් පහල උනේ නෑ. මට තද උනේ අර මෝලමත් ගහමින් විනෝද වුන ප්‍රේතයෝ රැල සමගයි. එහා ගෙදර බබා අවදිඋනෙත් ඒ මෝලමේ සද්දෙට බව විස්වාසයි. නැවතත් කියන්නේ, ලිපිය හොඳින් කියවන්න.
ඊලඟට කියන්න තියෙනවා කාරනා දෙකක්. වෙනත් මාතෘකාවලින් ලියවුනු ලිපි ආගම්වාදී ගැටුම් ඇති කරන්න යොදා ගන්න එපා කියලා ඉල්ලනවා බොහොම කරුනාවෙන්. ඒ වගේම අර සැදැහැවත් බෞද්ධයන්ට කියන්න තියෙන්නේ පොඩ්ඩක් ඇස් ඇරලා ලිපිය හොඳහැටි කියවලා බලලා එකඟ වෙන්න බැරි දේවල් එහෙම තියේනං ශිෂ්ඨ විදියට සංවාද කරමු කියලා. මේ ශිෂ්ඨ සංවාද නං ඔය ෆෝරම් සංස්කෘතියට ආගන්තුකයි නේ :P (මොකද එතන උනත් මේ ගැන සංවාදයක් ඇති වෙනවා වෙනුවට උනේ අර කොපි කරපු එකාටත් මටත් අම්බානෙක දෙහි කැපීම) කමක් නෑ, ටිකක් පුරුදු වෙන්න උත්සාහ කරමු. ඒ වගේම අකුරු කියවන්න බැරි අය නැනි නිසා ලිපිය සම්පූර්ණයෙන් කියවලා වාද කරන්න, උඩිව් පල්ලෙන් බලන්නෙ නැතුව.








සැලකිය යුතුයි

Comments