බඹ ලොව හා ලංකාව

On 2009 ඔක්තෝබර් 30, in පොත්පත්, සමාජයීය, හිත ගිය තැන්, by ප්‍රවීන් ඉන්ද්‍රනාම

මේ මහා සාහිත්‍යවේදී කේ. ජයතිලක මහතාගේ කෘතියකින් උපුටා ගත් කොටසක්. වැදගත්කමක් තියෙනවා කියලා හිතුන නිසා මෙහි පලකලා.

මෑතක සිට බ්‍රහ්ම ලෝකයේ ජනගහනය ශීඝ්‍ර ලෙස පහල බසින්නට විය. මිනිස් ලොවින් ගොස් එහි ඉපදිය යුතු පිරිස සළාවටක ජලය මෙන් එතැනම කරකැවෙමින් යළි යළිත් මෙලොවෙහිම උපදින්නට වූහ. මෙයින් මනුෂ්‍ය ලෝකය හා බ්‍රහ්ම ලෝකය අතර ජනගහන සමතුලිතතාව නැති වී ගියෙන් ඒ සඳහා වහාම ප්‍රතිකර්ම යෙදිය යුතු විය. පළමුවෙන්ම මීට හේතු සොයා පිළියම් යෝජනා කිරීම සඳහා කොමිසමක් පත් කරන ලදී. එම කොමිසමෙහි සොයා ගැණීම වූයේ වර්තමාන මනුෂ්‍යයන් අතර බ්‍රහ්ම ලෝකයේ උපදින්නට තරම් සුදුසුකම් සපුරාලන පිරිස හිඟ බවය. මෙය මගහැරවීම සඳහා යෝජනා කරන ලද්දේ දැනට බඹ ලොවෙහි ඉපදීම සඳහා අවශ්‍ය නීතිරීති මදක් ලිහිල් කල යුතු බවය.

අන් කිසි විසඳුමක් නැති තැන මෙය ක්‍රියාත්මක කිරීමට තීරණය විය. මේ අනුව සොරකම් හැර මිනීමැරුම් වැනි දරුණු අපරාධකරුවන් පවා එක්තරා ප්‍රමාණයකට බඹලොව උපත ලදහ. සොරකම් කරන්නවුන්ට ඒ අවසරය නොදෙන ලද්දේ දැනට එහි ඉපිද සිටින බ්‍රහ්මයන්ගේ වස්තුවට තර්ජන ඇතිවීමට ඉඩකඩ තිබූ හෙයිනි.

බ්‍රහ්මලෝකයට අලුතින් පිවිසීමට අවකාශ ලැබුවෝ වහාම “නව ප්‍රවේශකයන්ගේ වෘත්තීය සමිතිය” නමින් සංගමයක් පිහිටුවා ගත්හ. සංගමයක් ඇති කර ගත්තත් ඔවුන්ට ලබා ගැනීමට තරම් ඉල්ලීම් නොවීය. අවශ්‍ය හැම දෙයක්ම බ්‍රහ්ම ලෝකය තුල තිබූ බැවිනි. එසේ වුවත් ඉල්ලීම් ඉදිරිපත් කර සටන් නොකර වෘත්තීය සමිතියක් පවත්වාගෙන යාම උගහටය. මේ නිසා බොහෝ දුර සාකච්ඡා කර තර්ක විතර්කද ගෙන ඒමෙන් පසුව මිනීමරුවන්ගේ එක් ඉල්ලීමකට එකඟ වීමට තීරණය විය. එනම් දැන් කාලයක සිට ඔවුන් ලේ පිපාසයෙන් පෙලෙන නිසා එය සංසිඳුවීමට විශාල ලේ වැගිරීමක් කිරීමය.

“පැන්සලක් උල් කර ගන්න පෑන පිහියක් වත් නැති මේ බ්‍රහ්ම ලෝකයේ ලේ වැගිරීමක් ඇති කරන්නේ කොහොමදැ?”යි මෙහිදී මහා බ්‍රහ්මයා ප්‍රශ්න කර සිටියේය.

“ඒක මෙහිම ඇති කරන්න ඕනෙ නෑ. අපට පෙනෙන වෙනත් ලෝකයක ඇති කළහම ප්‍රමාණවත්” බ්‍රහ්ම පෝතකයෝ පිලිතුරු දුන්හ.

“ඒ මොන ලෝකයේද? කොහොමද කරන්නෙ?”

“ඇයි මනුෂ්‍ය ලෝකයෙ? අපි එහේ මෘගසංවර්ෂාවක් ඇති කරමු”

“අපොයි ඒක මේ කාලයෙ ඇති කරන්නෙ කොහොමද? මෘගසංවර්ෂාව වස්සවන්න පුලුවන් කල්පාන්තයෙ ලෝක විනාශය සඳහා පමණයි”

“නෑ නෑ අපිට මෘගසංවර්ෂාවක් ඕනෑමයි” මෙය මහා බ්‍රහ්මයා සමග අරගලයකට සුදුසු ප්‍රශ්නයකැයි කල්පනා කල නව ප්‍රවේශකයෝ කොලහල කරන්නට වූහ “අපේ සාධාරණ ඉල්ලීම් අපට ඕනෑ” “මහා බ්‍රහ්මයා භංග වේවා!”

කලබල උග්‍රවත්ම දෙපක්ෂය සාකච්ඡා කර එකඟත්වයකට පැමිණුනි. මහා බ්‍රහ්මයා විසින් එය මෙසේ නිවේදනය කරන ලදී.

“කල්පාන්තයේ හැර වෙනත් අවස්ථාවක මහා මෘගසංවර්ෂාවක් ඇති කිරීම ලෝක ධර්මයට සම්පූර්ණයෙන්ම පටහැණි වේ. ඒ නිසා කප මැද මේ අවස්ථාවේදී අර්ධ මෘගසංවර්ෂාවක් පමණක් ඇති කරනු ලැබේ”

“ජයවේවා” “ජයවේවා” යි බ්‍රහ්ම පෝතකයෝ ප්‍රීති ඝෝෂා කලහ.

“හොඳයි. දැන් කොහෙද අපි මේ මෘගසංවර්ෂාව ඇති කරන්නෙ? කාටත් බලාගන්න පුලුවන් විදියට ලෝකය මැද තැනක් නම් ඉතාම හොඳයි”

“ශ්‍රී ලංකාවේ, ශ්‍රී ලංකාවේ” යි තරුණයෝ යළි කෑ ගැසූහ.

පිරිස සන්සුන් කර ආපසු යැවීමෙන් ඉක්බිතිව මහා බ්‍රහ්මයා වහා ක්‍රියාත්මක විය. පළමුවෙන්ම ඔහු වේරම්බ වාතය එවා රට තුල වූ සියලු සාරධර්ම උගුළුවා ගෙන ගොස් ඉන්දියානු සාගරයේ පතිත කරවීය. එසේ පතිත වූ සාරධර්ම එහි සිටි මත්ස්‍ය වර්ගයා විසින් එසැනින්ම ගිල ගන්නා ලදී. මෙය ඉව වැටී ඈත ජපානයේ සිට පැමිණි ධීවරයෝ එම මසුන් අල්ලාගෙන සියරටට ගෙන ගියහ. සාරධර්මයන්ගෙන් නියම ප්‍රයෝජනය ලබාගනුවස් ජපන් ජාතිකයෝ එම මසුන් පිසීමකින් පවා තෙරව අනුභව කලහ.

මිනිසුන් කෙරෙන් සාරධර්ම ඉවත්කර ලූ වේරම්බ වාතය සියලු ශාක වලට කෘත්‍රිම කෘමිනාශක හා පොහොර ඉස ඒවායේ පෝෂ්‍ය පදාර්ථයන් ඉවත් කලේය. ඉන්පසු පන්සල් පොත්ගුල් වලට වැදුනු එය එහි තිබූ පුස්කොලපොත් ගිණි ගොඩවල් කරා පියාසර කරවා යැවීය. බුදු පිලිම වල පවා ඇතුලත මදය ඉවත් කොට පිටත සායම පමණක් ඉතිරි කරන ලදී.

මෘගසංවර්ෂාව ආරම්භ වූයේ මින් පසුවය. වෙනදා වැසි පොද වැටෙන්නාහාම මිනිස්සු තිරිසනුන් බවට පත්වී උනුන් ඇනකොටා මරාගන්නට වෙති. මෙහිදී මහා බ්‍රහ්මයා ජීවිතයේ පලමුවෙනි වරට මවිතයට පත්කරමින් වැස්සට කොතරම් තෙමුනත් මිනිස්සු එකිනෙකාට කාරුණිකව සන්සුන්වම සිටියහ. මීට හේතු පරීක්ෂා කිරීමේදී ඔහුට පෙනී ගියේ සාරධර්ම කොතරම් නැතිව ගියත් මිනිසුන්ගේ ජාන වලට, ඇටට, මසට, කාවැදී තිබුනු බුදු දහම විසින් ඔවුන් පාලනය කරනු ලැබ සිටින බවය.

මේ වනාහි තම පරපුරේ බක බ්‍රහ්මයාටවත් ඉදිරිපත් නොවූ ප්‍රශ්නයකි. ඔහු තම පූර්ණ ඥාණ ශක්තිය යොදා දින ගණනක් කල්පනා කලේය. අහස පොලව ගැටලමින් කල්පනා කරන ඔහුට සිතාගත හැකිවූයේ එක් උපක්‍රමයක් ගැන පමණි. එනම් සමාජ සේවයක මුවාවෙන් රාජ්‍ය නොවන සංවිධාන විශේෂයක් ඇති කොට එහි නියෝජිතයන් ශ්‍රී ලංකාවට එවීමය. එවිට සමාජ අභිවෘද්ධියට කැමති මිනිසුන් එම රස ගුලිය ගිලිනුයේ එහි මැද රැස් කර ඇති විෂ පුංජයනුත් සමගය.

මහා බ්‍රහ්මයාගේ මේ උපක්‍රමය සිතුවාටත් වඩා සාර්ථක විය. රාජ්‍ය නොවන විෂ ගුලි ගිලීමෙන් ඉක්බිතිව, කලින් මිනිසුන් ගත මත පතිතව තිබූ වැහි බිඳුද ක්‍රියාත්මක වන්නට විය. ඔවුහු තිරිසනුන්ටත් වඩා දරුණු ලෙස එකිනෙකා කොටා මරා ගන්නට වූහ.

—————————————————————————————–
කේ. ජයතිලක – වර්ණය ඡන්දය හා මනාපය : පලමු මුද්‍රණය 2001, පිටු 11-14

Tagged with:  

8 Responses to බඹ ලොව හා ලංකාව

  1. Sidath පවසන්නේ:

    හප්පා…..!
    බොහොම කාලෝචිතයි.

  2. වැප් පවසන්නේ:

    නිය‍මෙට ගැලපෙනවා!!!

  3. රවිමල් පවසන්නේ:

    මහ බඹා මොන plan එක ගැහුවත් ආයේ දෙකක් නෑ එයා අහුවෙලා ඉන්නව ඇත්තෙත් ලංකාවෙන් ගිය මිනීමරුවෝ සෙට් එකකට වෙන්න ඇති.. රටේම එවුන් තමයි රටට කපන්නේ.

  4. Deshika Kariyakarawana පවසන්නේ:

    “මිනිසුන් කෙරෙන් සාරධර්ම ඉවත්කර ලූ” ඔන්න ගැටලුව……

  5. උපමාලි පෙරේරා පවසන්නේ:

    මේ වෙන දේවල් වල හැටියට මේ කතාව ඇත්ත තමයි.

  6. KaniRockz පවසන්නේ:

    ඒක නම් ඇත්ත.. කාලෝචිත ලිපියක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>