දුම්රියේ මරණය

On 2009 ඔක්තෝබර් 27, in ඇසි-දිසි, මට වෙච්ච දේවල්, by ප්‍රවීන් ඉන්ද්‍රනාම

අද අමුතු දවසක්. සමහර විට ජීවිත කාලෙටම අමතක නොවෙන. මොකද කිව්වොත් අද මම ජීවිතේ පලමු වතාවට මිනිහෙක් මැරෙන හැටි දෑසින් දැක්කා.

මම අද උදෑසන කෝච්චියේ කොළඹ එන්න පිටත් උනා. ගාල්ල ස්ටේෂමෙන් කෝච්චිය පිටත් වෙද්දී ඒ වෙනකොටත් තරමක වේගයක් ලබා සිටි කෝච්චියට නගින්න උත්සාහ කලා මනුස්සයෙක්, දුවගෙන ඇවිත්. ඒ මම හිටිය පෙට්ටියේ දොරකින්මයි. මේ වන විට මමත් ජනේලයෙන් මේ දිවඑන මනුස්සයා දෙස බලාගෙන හිටියේ.

අවාසනාවක් මහත ! අර වේගයෙන් යන දුම්රියේ (ඒ වන විටත් කොහොමටවත් නගින්න බැරි තරම් වේගයකිනුයි දුම්රිය ගමන් කලේ) එල්ලෙන්න බැරි උනා අර මනුස්සයාට. ඔහු එක්වරම දුම්රියත් වේදිකාවත් අතර හිඩැසට ඇද වැටෙද්දී මම ඇස් පියාගත්තා.

මිනිසුන්ගේ කෑ ගැසීම සමග තිරිංග තද කර දුම්රිය නතර උනා. ගාඩ් මහතාත් මෙය දකින්නට ඇති. ඉන්පසු මිනිසුන් කතා කල දේ මට ඇසුනේ හීනයක වගේ. මගේ මුලු සිරුරම දහදියෙන් තෙත්වී ගිය අතර ඇස් නිලංකාර වුනා. මද හෝ සහනයක් ලැබුනේ දුම්රියේ වැසිකිලියට ගොස්, උදේ ගෙදරින් එන්නට පෙර බඩට දමාගත් කෙසෙල් ගෙඩියත් කිරි තේ කෝප්පයත් ආපසු ආපු පාරෙන්ම හැලීමෙන්ම පසුවයි. ලඟ සිටි කෙනෙකුගෙන් වතුර ටිකක් ඉල්ලාගෙන බීව්වා ඉන් පස්සේ. දුම්රිය කලුතරට එනවිටත් මම හිටියේ අසිහියෙන් වගේ.

මට මේ තරම් මේ සිදුවීම හිතට වැදුනේ ඇයි? මම මීට පෙර කෙදිනකවත් මිනිසෙකු මැරෙනවා දැක නැහැ, චිත්‍රපටයක මිස. තිරයේ මැවෙන එවන් දසුනක් හැබැහින් දැකීම කෙතරම් කටුකද? අනෙක් වැදගත්ම කරුණ වූයේ මගේ තාත්තාද දිනපතා දුම්රියෙන් සේවයට යන්නෙකු වීමයි. එය සිහිවූ වාරයක් වාරයක් පාසා මගේ කොඳු ඇට පෙල සීතල වී ගියා.

කොලඹ ගොස් කරන්නට හිටි වැඩ බොහොමයක් අතහැරදමන්නට වූයේ මට කෙලින් කටින් සිටින්නට බැරි තරම් පණ නැතිවී ගොස් තිබූ නිසාවෙන්. නුගේගොඩ මගේ නවාතැනට ගොස් පැය තුනක් පමණ නිදාගත් පසුවයි තරමක පණක් ආවේ.

විශේෂ සිදුවීමක් උනා දවල් කොලඹ නගර ශාලාව අසලදී. ඒ තමයි නුදුටු මිතුරෙකු, බ්ලොග්කරුවෙකු මුන ගැසීම. ඒ තමයි රජරට පුත්‍රයා හෙවත් උදාර මදුශංක ධර්මසේන. පැය බාගයක් පමණ ඔහු සමග කතාබස් කලා බස් නැවතුමේ සිට.

සවස නැවත ගෙදර එන්නට ගිය විට මට දුම්රියේ එන්න බෑ වගේ මොකක්දෝ අමුතු හැඟීමක් ආවා. ඒ පාර මම බස් එකේ ආවා.

ගෙදර ආ විගස කලේ ධාවනය වන දුම්රියේ කිසිදිනක නගින්නට උත්සාහ නොකරන මෙන් තාත්තා ගෙන් පොරොන්දුවක් ගැනීමයි.

Tagged with:  

29 Responses to දුම්රියේ මරණය

  1. Chathura W පවසන්නේ:

    හ්ම්ම්… කෝච්චියේ නිතර ගමන් කරන කෙනෙක්ට නම් මේක අමුතු දෙයක් නෙමෙයි. සමහර කට්ටිය වැටෙනවා. සමහර කට්ටිය පනිනවා. කොහොම හරි එක දිගට කෝච්චියේ යනකොට කවද හරි දකින්න ලැබෙන සිද්දියක් මේක. පව් ඉතිං අසරණ මනුස්සයා. හදිස්සි උන නිසා කරගත්ත හදියක් :(

    ඉන්දරේ හරිම සංවේදියි නේද? :P

  2. තමීර පවසන්නේ:

    හප්පා මගෙත් ඇඟ හීතල වෙලා ගියා. මිනිස්සු කොච්චර නම් ඔහොම අන්තිම මොහොතෙ නගිනවද? හැබැයි ළඟදි මේ වගේ කතාවක් ඇහුවමයි.

  3. සුපුන් සුදාරක පවසන්නේ:

    අප්පා… මාත් තාම හැබැහින් දැකලා නැහැ මේ ‍වගේ දෙයක්. අඩුගානේ මනුස්‍සයෙක් මැරෙන හැටි වත්. පිස්සු හැදෙනවා නේ… :(

  4. රවිමල් පවසන්නේ:

    මමත් “යන බස්” වලට නගින්න ගිහින් නූලෙන් බේරුනු අවස්ථා තියනවා… පස්සේ තමයි හිතෙන්නේ වැටුන නම් මොකකින් මොකක් වෙයිද කියලා… ඉතිං ආයෙත් ඒ විදිහට නැග්ගේ නෑ. ලංකාවේ මිනිස්සු හුඟ දෙනෙක් හොඳ ගණන් කාරයෝ…. එන වාහනේ දැක දැක හීන් සැරේ පාර මාරුවෙන්නේ සාපේක්ෂ ප්‍රවෙගය ගැන ඇති අසීමිත දැණුම සහ විශ්වාසය නිසයි. රියදුරන්ද ඒක හොඳට දන්න නිසා නිකමටවත් වේගය බාල නොකරයි. බෙහෝවිට ගෑවීනොගෑවී යන තරම් ඔවුන් දක්ෂලෙස ස්ථාන ගතවෙයි. දුම්රිය ගමන් ආරම්භ කලාට පසුවත් දිව ගිහින් එල්ලෙන්නේ ඔය විශ්වාසය හින්දමයි. හරි යන්න තියන අවස්ථා ගණන එමටයි. ඒත් වරදින්න තියන්නේ එක අවස්ථාවයි. කරුමෙට ඒ වගේ අවස්ථා අපිට දකින්න ලැබෙනවා. මම නම් එච්චරම අවාසනාවන්ත වෙලා නෑ. ඒත් ප්‍රවීන්ගේ අවාසනාවට ඒ වගේ වැරදුනු අවස්ථාවක් දකින්න ලැබිලා.. මොනා කරන්නද බං… ඒ මනුස්සයා හීනෙකිං වත් හිතන්නෙ නැතුව ඇති වුනු දේ ගැන..

  5. -බිன்ku- පවසන්නේ:

    මටත් මචං මේ වගේ දෙපාරක් අත් විදින් ලැබුණා. ඒත් ඒ එක්වරක් නම් මම දැක්කේ නෑ වැටෙනවා. ඒත් ඒ කෙනාගේ කුඩු පට්ට වුණ දේහය තාමත් මතකයි. ඒ අවාසනාවත්ත සිදුවීම වුණේ ගම්පහ පාලමේදී, කාර්්‍යාල දුම්රියක හවස්වරුවක.

    අනිත් ඒක වුණේ අපිට පෙට්ටි දෙකක් එහා හිටි කෙනෙක්, ඒ එඩේරමුල්ලේදී කොහේද. ඒ දවස් අළුතින් උස් කරලා හදපු පදික වේදිකාවට කකුල අසුවෙලා යාත්තමින් උරහිසට පදික පුවරුව වැදී පණ ‍‍බේරුණ කොළඹ ප්‍රකට විදුහලක සිසුවෙක්. එදා ඔහු නගපු අනෝදනාව වගේම ඔහුගේ පෙම්වතිය සිහිසුන් වීම හා සිහිය ආවිට ඇයත් ‍මරදාන නැවතුම් පොලේදී මැරෙන්න වගේ හැදුවේ. ඒවා තාමත් මට මතකයි සහෝ.

    මොකක්ටවත් බය නොවුණත් ලේ වලට වේලාවකට සවේදීවන (විශේෂයෙන් හඳුනනා අයගේ) මම එදා මේකී දෙවැනි සිදුවීම නිසා සතියක් දෙකක් යනතුරුම හිටියේ අවසිහියෙන්.

    ඇයි මන්දා, ඒත් පස්සේ මාසයකින් පස්සේ වගේ සුපුරුදු පරිසිම මම පා පුවරුවේ ගියා ඇතැම් වේලාවට ( එල්ලීලා නම් ගියේ නෑ)‍. කොහොම වෙනත් එදායින් පස්සේ දුවගෙන නැගීම වගේම සෙනඟ පිරුණු දුම්රියක පාපුවරුවේ යන්නට කැමැත්තක් දැක්වුවේ නෑ.

    අපි කාටත් මේ හොඳ පාඩමක්. පැය හෝ විනාඩි කිහිපයක ප්‍රමාදය නිසා ජිවිතය පරදුවට තියන්න වෙන තරම් එයාලාගේ ජිවිත හා රක්ෂාව ව්‍යාකුල වෙන්නට ඇති නේද?

  6. ශාකුන්තල පවසන්නේ:

    බොහෝම කණගාටුදායක සිද්ධියක්. :(

    මීට කලකට ඉහතදී මමත් ඔය වගේ දේවල් වලට බොහොම සංවේදී මනුස්සයෙක්.

    හැබැයි 2004 දෙසැම්බර් 26 වෙනිදායින් පස්සේ ඒ තත්වය වෙනස් වුණා. දැන් ඕනම දෙයක් වෙච්ච මළ මිනියක් දැකීම මට nothing! බොහොම උදාසීන හැඟීමක් එන්නේ මට මළ මිනියක් දැක්කාම… මිනිස්සු උපදිනවා… මැරෙනවා…

    හැබැයි මනුස්සයෙක් මැරෙනවා නම් තාම දැකල නෑ. දකින්න ලැබෙන්නත් එපා කියල තමයි පතන්නේ!

    ඉන්දරේ මේක දැක්කෙ නැතුව ඇති මං හිතන්නේ: http://blog.shaakunthala.com/2008/11/blog-post_07.html

  7. rasika පවසන්නේ:

    All trains in Australia operate with doors closed. There are no handles, bars or steps outside the train. Doors only open once the train comes to a complete halt at the station.

    http://www.railway-technology.com/contractor_images/design-resource/1-oscar-train.jpg

    මං වැඩ කරන ආණ්ඩුවේ ආයතනයේ ප්‍රචාරක පාඨයක් මෙන්න.

    DONT DIE FOR A DEADLINE.

    හොඳට හිතල බැළුවහම – මසුරං කියමනක්!

  8. rasika පවසන්නේ:

    මේක වෙනස් ආකාරයක අදහසක්.

    පසුගිය දවස් වල බෝම්බ වලින්, යුද්දෙන් කී දාහක් මළාද? නමුත් ඇස් ඉදිරිපිට එක මරණයකින් සිත චංචල වෙන හැටි!

    මැරුණ කෙනා අප දන්නා කෙනෙක් නං, නෑයෙක්, යාළුවෙක් නම් ඔය දුක එක දෙගුණ දෙගුණ වෙනවා. නාඳුනන කෙනෙක් නිසායි ඔතනින් ඉවර වුනේ.

    මං නං දුම්රිය ස්ථානයක කෙනෙක් මැරෙනවා දැක්කේ 1983 ජූලි වල දී ගණේමුල්ල ස්ටේෂන් එකේදීයි. කකුලෙන් ගහක එල්ලා පුච්චලා තිබුණු ඒ මියයන නිරුවත් සිරුර – I am glad that none of you young bloggers would ever see such a horrible thing.

  9. Uraj Deemantha පවසන්නේ:

    අපොයි පව්….. :( බොහොම දුක හිතෙන සිදුවීමක්… :( ඔය වගේමයි, බස් වලින් ඉස්සරහා දොරෙන්, එපා කියද්දි කට්ටිය බහිනවා….!! ගිය සතියෙත් කඩුවෙල බස් නැවතුම ලගදි කෙනෙක්ගේ කකුලක් යට වෙලා….!! එහෙම බහිද්දි මිනිස්සු හිතන්නේ නෑ බහින්න කලින් බස් එකේ රෝදේ කැපිලා තියෙනකොට ඉස්සරහා දොරෙන් බහින එක භයානකයි කියලා…..!!

  10. කණිෂ්ක පවසන්නේ:

    හම්මෝ… A/L class යනකොට මගේ යාලුවෙක් train එකේ දොරෙන් ලිස්සල වැටිල නැති උනා.. එදායින් පස්සෙ මම නම් දොරක් අහලක වත් යන්නෙ නෑ.. දුක හිතෙන කා‍රනේ තමයි එයා කවදාවත් දොරක එල්ලිලා ගියපු කෙනෙක් නොවීම.. train එක නවත්තද්දි ලිස්සල වැටුනෙ අස්සට..

  11. Thilina පවසන්නේ:

    මම නං කෝච්චියේ නිතරම නොයන නිසා මේ වගේ දෙයක් දැකලා නෑ. බොහොම කණගාටුදායක සිද්ධියක්.

  12. මේක ඉතාමත් වැදගත් සටහනක්.

    ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ “බේස් ලයින්” දුම්රිය පොළෙන් කැළණිවැලි කෝච්චියට දුවගෙන ඇවිත් නගින්න ගිහින් මටත් මේ වගේ අත්දැකීමක් තියෙනව. පොඩි කාලෙ ඉඳන් ලොකු වෙනකොට කොල්ලො හිතන්නෙ බස් එකේ, කෝච්චියෙ පාපුවරුවෙ එල්ලිලා යන එක, දුවගෙන ඇවිත් පාපුවරුවෙ එල්ලෙන එක “පොර” වැඩ කියල.

    මෙතනදි පුද්ගලයින්ගෙ වැරදි ප්‍රධාන උනත් අපේ රටේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ අඩුපාඩුත් ලොකු හේතුවක්. මට ගොඩක් අත්දැකීම් තියෙන කැළණිවැලි දුම්රිය මාර්ගය අවට ගොඩක් පැල්පත් නිවාස තියෙනව ඒව හෙවිල්ලල තියෙන ටකරං සමහර වෙලාවට කෝච්චියෙ වදින නොවදින ගණං. පාපුවරුවෙ කවුරුහරි ගියොත් අනිවාර්යයෙන්ම වැදිල තුවාල වෙනව. අනෙක පාදුක්ක නැවතුමෙන් පස්සෙ තැන් කීපයක් තිබුන හරියට කෝච්චියට ගොඩවෙන්න වේදිකාවක්වත් නැති. ඒව මේවගේ අනතුරුවලට අත වනන තැන්.

    මොනව උනත් මේවගේ සටහනක් ලිව්ව එක ගැන ඉන්දරේට තුති!

  13. Tilantha පවසන්නේ:

    මටත් දුම් රියේ භයානක අත්දැකීමක් තිබුණා. ඒක මටම වුණු දෙයක්. මාතර යන්න කොටුව ස්ටේසමට ටිකට් අරන් ඇවිත් පස් වන වේදිකාවේ බලා සිටියා, ඒ වෙලාවෙ එතනට ආපු ගල්කිස්සට යන දුම්රියකටයි මා ගොඩවී තිබුනේ. එහි වැඩිය සෙනග නොසිටි නිසාත් අමුත්තක් දැනුන නිසාත් මට සිතුනා එය මාතර බලා යන දුම්රිය නොවේ කියලා. ඒ වෙනකොට දුම් රිය ගමන ආරම්භ කලත් එතරම් වේගයක් උත්පාදනය වී තිබුනේ නෑ. හම්මෝ…. මම ඒ ඇදී යන දුම්රියෙන් පැන්නා. එය අවසන් වූයේ වේදිකාවේ අන්තිම කොනේ සිට ගමන් කරමින් සිටි කෙනෙකුගේ ඇඟේ වැදීමෙන්. බැනුනුත් අහුවා ඒ කෙනාගෙන්. මගේ ඒ අනුවණ ක්‍රියාව මතක් වෙනකොට අදටත් මගේ සිත කීරි ගැහෙනවා.

  14. අනූ පවසන්නේ:

    මටත් ඔය වගේම සිද්ධියක් වුනා මරදාන පොලිසිය ඉස්සරහ මිනිහෙක් බස් එකකට යට වෙනව දැකල. මට කලන්තෙ හැදිල ලඟ තිබුනු ධවලගිරි හෝටලේට වෙලා ගොඩක් වෙලා හිටිය. දවස් ගානක් යනකං කන්න බොන්න බැරිව අප්පිරියාවෙ හිටියෙ.

  15. Maleesha පවසන්නේ:

    may lagadi Netherland kellekuth lankawata awith may wagema nathiwuna!

    athdakeem bedagathata thnkz……may wage anathuruwalata monawa hari wisadumak onea!

  16. Malinthe පවසන්නේ:

    මං කෝච්චි වල යන්න ගොඩක් ආසයි. ඒත් මොකක්හරි හේතුවක් හින්ද ඒවට පොඩි බයකුත් තිබුණ පොඩි කාලෙ.

    ළඟකදි ත්‍රීවිලර් එකක යන ගමන් දැක්ක ඉස්කෝලෙ යන ළමයෙක් යන බස් එකකට නගින්න ගිහිල්ල ලිස්සල වැටුණ. වාසනාවට මුකුත් වුණේ නෑ. ඒත් ත්‍රීවීලරේ හිටපු මනුස්සය කිව්ව ‘මං ඔය බස් එකේ ඩ්‍රයිවර් නම් බස් එක නවත්තල බැහැල ඔය කොල්ලගෙ කනට පැලෙන්න එකක් දෙනව’ කියල.

  17. ‍දේශිකා කාරියකරවන පවසන්නේ:

    මම නම් හිතන්නේ ප්‍රවීන් ඔය සිද්ධිය කොයිතරම් අහන්න දකින්න ආසා නැති වුනත් ඒ වගේ දේවල් හැමෝටම දැනගන්න දාන්නම ඕනා. විශේෂයෙන්ම පිරිමි ළමයින්ට…. එයාලා තමයි බස් එකෙයි, කෝච්චියෙයි පාපුවරුව වැඩ පෙන්නන්න පාවිච්ච්චි කරන්නේ… අද්දලා යන බස් එකේ ගිහින් එල්ලෙන එක ඔය තරම් වි‍නෝදයක් දෙනවද? තත්පරයක් එහා මෙහා උනාම ආයේ ඉතින් වැඩ පෙන්නන්න කෙනෙක් ඉතුරු වෙන්නේ නෑ…

    • ඔව්. මේ වගේ දේවල් ගැන දැනුවත් කෙරෙන්නම ඕනෙ. විශේෂයෙන්ම පාසල් යන කොල්ලො තමයි මේ වැඩ පෙන්නන්න ෆුට් බෝඩ් එකේ යන්නේ. අනිත් අතට සමහරු බස් එක ඇතුලෙ හිරවෙලා දාඩිය දාගෙන යනවට වඩා කැමතියි ෆුට් බෝඩ් එකේ හුලං වැදි වැදි යන්න !

      මම නං ගොඩක් වෙලාවට වෙන කරන්න දෙයක් නැති නිසා තමයි ෆුට්බෝඩ් යන්න වෙන්නේ. දන්නවනෙ 163 බස් එක උදේට පාගොඩ පාරට කිට්ටු වෙනකොට කොහොමද තත්වේ කියලා. ඉතිං මම හැමදාමත් ඒකෙ ෆුට්බෝඩ් තමා. දවසක් මම නගින්න යද්දී බස් එක අද්දලා මම වැටුනා. වාසනාවකට තුවාල උනේ නෑ.

      • ‍දේශිකා කාරියකරවන පවසන්නේ:

        හපොයි 163 බස් එක ගැන මම හොදට දන්නවා. මම නම් ඉතින් නගින්නේ බත්තරමුල්ලෙන් නිසා යම්තම් සීට් තියෙනවා වාඩි වෙන්න. එත් ඉතින් අවාසනාවට පාගොඩ පාරට එද්දී ඒකේ සාඩින් පැක් කළා වගෙයි….

  18. ඉන්දික පවසන්නේ:

    මරණය කියන එක තරම් මිනිහෙක් සංවේදී කරවන තවත් දෙයක් නැහැ කියලයි මට හිතෙන්නෙ. මගේ දෑත් උඩ පණ ගියපු 15-20 තරම් මිනිසුන්ගෙ සිදුවීම් සියල්ලම පාහේ මට මතකයි අකුරක් නෑරම.
    රැකියාව අනුව කරන්න දෙයක් නැහැනේ..ඒවට මුහුන දෙන්න වෙනව!

  19. Madushan පවසන්නේ:

    රේල් පාරක ගේට්ටුව වහල තියෙන වෙලාවට කවදාවත් හොඳ අවදානයකින් මිස රේල් පාර හරහා යන්න එපා. ඔයාලා දැකලා තියෙනවද මිනිහෙක තමන්ගෙ ජීවිතේ නැති කර ගන්න කොහොමද දුම් රිය ඉස්සරහට දුවගෙන එන්නෙ කියල…. හොර්න් එක ගහගෙනම කොහොමහරි පිටි පස්සෙ මැදිරි වල ඉන්න දහස් ගනනකගෙ ජීවිතත් බේරෙන විදියට අර ඉස්සරහට දුවගෙන එන මනුස්සයගෙ ජිවිතෙත් බේරන්න රියදුරයි ,සහායක රියදුරයි ගන්න උතසාහය ඇස් දෙකෙන්ම දැකල තියෙනවද එන්ජිමෙ ඉඳගෙනම

  20. සමීර පවසන්නේ:

    සහෝදරයා, මම දුම්‍රියේ අවුරුදු 7ක් ඉස්කෝලේ ගියා.ඒ අවුරුදු 7ට මම ඔය වගේ දේවල් 32ක් දැක්කා.නොහිතපු විදිහට වුණු අනතුරු වගේම උවමනාවෙන්ම ජීවිතේ නැති කර ගන්න හදපු අවස්ථාත් ඕනෙ තරම්.මුල්ම සිදුවීම දැකලා සතියක් විතර කෑම කන්නත් බැරැව හිටියා.පහු වෙනකොට ඒ මළසිරැරැ වල කෑලි එකතු කරන්නත් සහය වුණා.සමහර අවස්ථා වල කෑලි වලට කැඩුණු සිරැරැ වල උණුසුමවත් ගිහින් තිබුනේ නැහැ.තවත් පහු වෙනකොට ඒ කෑලි එකතු කරලා මරදනේ ධවලගිරියට එද්දි කෑලි එකතු කරපු බව අමතක වෙලා අතහෝදන්නෙවත් නැතුව කෑම කාපු අවස්ථාත් තියෙනවා.

    හැබැයි එක දෙයක්,
    උදේ කාර්යාල දුම්‍රියන් වලට බෙල්ල තියපු මිනිස්සුන්ගේ හත්මුතු පරම්පරාවම මතක් කරලා මින්ස්සු බනින කොට (පරක්කු වෙලා එල දුම්‍රියට මිනිහෙක් අහු උනාම තවත් විනාඩි 15ක් විතර පරක්කු වෙනවනේ ) මම හිතා ගත්තා කවදා හරි ජීවිතෙ නති කරගන්න ඕනෙ උනොත් දුම්‍රියකට නම් බෙල්ල තියන්නේ නෑ කියලා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>