තෙවැනි ඇසක කතාව

On 2009 ජූලි 20, in ඡායාරූපකරණය, තාක්ෂණික, by ප්‍රවීන් ඉන්ද්‍රනාම

මුලින්ම කියන්න ඕනේ මේ කියන්න යන්නේ සංඛ්‍යාංක කැමරා (digital camera) වල ක්‍රියාකාරීත්වය නෙමෙයි. ඒවා එන්නට කලින් අපි කවුරුත් පාවිච්චි කල දල සේයා පටලයක් (film roll) සහිත කැමරා ගැනයි. සංඛ්‍යාංක කැමරා වල ආගමනයත් සමගම මේවා ශීඝ්‍රයෙන් වඳවී යාමේ තර්ජනයකට මුහුණපා තියෙනවා. ඒකේ හොඳ පැත්තක් වගේම නරක පැත්තකුත් තියෙනවා.

මුලින්ම කිව්වොත් මේ වර්ගයේ කැමරාවකින් කොහොමද කියලා ඡායාරූපයක් ගන්නේ, මෙහිදී සිදුවෙන්නේ ආලෝකය දලසේයා පටය මතට වැටීමෙන් එහි ඇති ආලෝකය සමග ප්‍රතික්‍රියා කරන සිල්වර් බ්‍රෝමයිඩ් සංයෝගය මගින් වැටෙන ආලෝකයේ ප්‍රතිබිම්බයක්. ඒත් ඉතින් හොඳ ඡායාරූපයක් ගන්න ඔය ටික විතරක් වෙලා මදි. වැටෙන ආලෝක ප්‍රතිබ්ම්බය පැහැදිලි කරගන්න වගේම ගුණාත්මක බවින් වැඩි කර ගන්න කාච යොදන්න ඕනේ.

සංකීර්ණ කාච පද්ධතියක්

සංකීර්ණ කාච පද්ධතියක්

ඊලඟට වැඩි ආලෝක ප්‍රමාණයක් දල සේයා පටය මතට වැටුනාම එය අධි-නිරාවරණය (over exposed) වෙනවා. එය වලක්වන්න ක්‍රමවේද එකක් නෙමෙයි දෙකක්ම පාවිච්චි කරනවා. පලමුවැන්න කාච විවරය (aperture). මෙය මේ කලින් කියපු කාච පද්ධතිය තුල ඇති ප්‍රමාණය වෙනස් කල හැකි විවරයක්. එය අඩුවැඩි කිරීම මගින් කාච හරහා පැමිණෙන ආලෝක ප්‍රමාණය පාලනය කල හැකියි.

කුඩා කල හා විශාල කල කාච විවරයක්

කුඩා කල හා විශාල කල කාච විවරයක්

ඊලඟට ඕනෑතරමි ආලෝකය දලසේයාපටයට වැටෙන්න දෙන්නත් බෑ. ඒ සඳහා පාවිච්චි කරනවා කාච ද්වාරය (shutter). මෙය දලසේයාපටයත්, කාචයත් අතර ඇති දොරක්. ඡායාරූපය ගන්නා විට මෙය නිශ්චික කාලයක් පමණක් ඇර නැවත වැසීමෙන් කුඩා ආලෝක ප්‍රමාණයක් පමණක් සේයා පටයට වැටෙන්න සලස්වන්න පුලුවන්. අපි සාමාන්‍යයෙන් ගන්න ඡායාරූපයකදි මෙම කාලය තත්පර 1/125, 1/250 වගේ කුඩා කාලයක් තමා ගන්නේ.

කාච ද්වාරය

කාච ද්වාරය

තත්පර 1ට වඩා දීර්ඝ වෙලාවක් මෙය ඇර තබන්න සිදුවන වෙලාවල් තියෙනවා. ඒ තමා රාත්‍රි අහස ඡායාරූපගත කිරීමේදී. හේතුව හිතාගන්න පුලුවන් නේ?

මෙන්න මේ මූලික ක්‍රියා පිලිවෙල අනුව වැඩ කරන කැමරා වර්ග ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා.

  1. ඒක කාච පරාවර්තන (single lens reflex) (SLR)
  2. ද්වි කාච පරාවර්තන (twin lens reflex) (TLR)
  3. නාභිගත (fixed focused)

මුලින්ම කියන්නම් මේ fixed focused වර්ගය ගැන. ඒවා තමා ඔය බහුතරයක් භාවිතා වන,  වෙලඳපොලේ අඩු මිලට ලබාගන්න පුලුවන් කැමරා. ඒවායින් ඡායාරූප ගන්න ඡායාරූප ශිල්පය ගැන දැනුමක් අවශ්‍ය නෑ. මේවා සාමාන්‍යයෙන් කැමරාවේ සිට අඩි 5ක සිට අනන්තය දක්වා සියලුම වස්තූන්ට නාභිගත වී ඇති ආකාරයටයි නිපදවා ඇත්තේ.

ඊලඟට මේ SLR වර්ගය ගැන. මේවා නම් දැකලා ඇති, විවාහ මංගල උත්සව හෝ වෙනත් උත්සව ආවරණය කරන්න එන ඡායාරූප ශිල්පීන් අතේ එහෙම දැකලා ඇති මේවා.

SLR කැමරාවක්

SLR කැමරාවක්

මම මේ SLR කැමරාවක් භාවිතයෙන් ඡායාරූපය සේයාපටයේ ඇඳෙන හැටි විස්තර කරන්නම්.

අපි  ඡායාරූපය ගන්න කලින් කැමරාවේ පිහිටීම තමා මේ තියෙන්නේ. ආලෝකය කාචය හරහා ඇවිත් දර්පණයෙන් පරාවර්තනය වෙලා ප්‍රිස්මය මගින් නැවත පරාවර්තනය වෙලා View Finder එකට අපි ඇස තියලා බැලුවාම දකින්න පුලුවන්. ඒ කියන්නේ ඡායාරූපයේ සටහන් වෙන සැබෑ දර්ශනයම අපිට මුලින් බලාගන්න පුලුවන්. ඡායාරූපය ගන්න බොත්තම එබුවාම සිදුවෙන්නේ එක්වරම දර්පණය ඉහලට එසවීමත්, ඒ සමගම කාච ද්වාරය (shutter) ඇරී නැවත වැසීමත්. එමගින් ප්‍රතිබිම්බය සේයාපටයේ සටහන් වෙනවා.

ඊලඟ ජාතිය, TLR නං ගොඩක් දෙනෙක් දැකලත් නැතුව ඇති. මමත් එකම එක වතාවයි අල්ලලා තියෙන්නේ. දැන් පාවිච්චි වෙන්නෙම නැති තරම්. බලන්න අඳුරගන්න පුලුවන්ද කියලා.

TLR කැමරාව

TLR කැමරාව

මේකෙ ක්‍රියාවලියත් SLR එකට බොහෝදුරට සමානයි, මෙහිදී අපිට පෙර දර්ශණය බලාගන්න එක කාචයකුත්, ඡායාරූපය සඳහා ප්‍රතිබිම්බය ලබාගැනීමට තවත් කාචයකුත් භාවිතා කරනවා. මෙහි තවත් විශේෂත්වයක් තමා ප්‍රතිබිම්බය කැමරාවේ උඩ පැත්තේ තිරයක සටහන් වීම. ඒ නිසා ඡායාරූප ගන්න වෙන්නේ මෙහෙම.

දැන් සංසන්දනය.

Fixed focus එකේ වාසිය තමා ඡායාරූපකරණය ගැන දැනුමක් අවශ්‍ය නොවීම. අනිත් දෙක සඳහා ඒ දැනුම ඕනේ. මේ දැනුම කියන්නේ, කැමරාව නාභිගත කිරීම (focusing)(කාච පද්ධතිය මගින් පැහැදිලි ප්‍රතිබිම්බයක් ලාබාගන්න ඒක නාභිගත කරන්න එපායැ), කාච විවරයය හා කාච ද්වාරය සුදුසු අගයන්ට සැකසීම (මේ සඳහා පසුකාලීනව ඉලෙක්ට්‍රොනික මීටර ආවා), කැමරාව ටිකක් බර නිසා භාවිතයේ පොඩි පලපුරුද්දක් ඕනේ.

අනිත් දෙකට සාපේක්ෂව SLR එකේ වාසිය තමා ඡායාරූපයේ සටහන් වන රූපයම අපිට කලින් දැකගත හැකිවීම. අනිත් දෙකේ මේ සඳහා පාවිච්චි කරන්නේ වෙනම විවර දෙකක් නිසා සටහන් වන රූපයට වඩා වෙනස් කෝණයකින් තමා අපිට පෙනෙන්නේ. අර බෙල්ල නැති ෆොටෝ වදින්නේ එතකොට තමා.

Disclaimer:
මේ ලිපියේ ඡායාරූප පමණක් වෙනත් අඩවි වලින් ගත්තත් ලිපියේ කරුණු කොහෙන්වත් අරගෙන පරිවර්තනය කරපුවා නෙමෙයි. නිශ්චල ඡායාරූපකරණය (Still Photography) ගැන ඩිප්ලෝමාවක් ගන්නකොට මට වයස අවුරුදු 12 යි. මේ ලිව්වේ මගේ අත්දැකීම්. මේ ඉන්නේ මගේ පරණ යාලුවා, Yashica FX 7, දැන් නම් ක්‍රියාවිරහිත තත්වයේ තියෙන්නේ. Digital SLR එකක් ගන්නවා රස්සාවක් කරන්න ගත්ත ගමන්ම.

yashica_fx7කැමරා බඳට සවි කරලා තියෙන්නේ 42-75mm zoom lense එකක්. පැත්තකින් තියෙන්නේ 135mm Tele lense එකක්. මගේ කුඩා කාලේ ඡායාරූප 200ට වැඩි ප්‍රමාණයක් තියෙන්නේ මෙයාගේ වැඩ නිසා තමා.

Tagged with:  

8 Responses to තෙවැනි ඇසක කතාව

  1. බුධජීව පවසන්නේ:

    මේවා සමග ඩිජිටල් කැමරා සංසන්‍දනය කරලා තව එකක් ලිපියක් ලියන්න. මම අනුමානව කරනවා හැම අතින්ම ඩිජිටල් කැමරා ඉදිරියෙන් ඇති කියලා. හැම අතින්ම නැති වුනත් මේ කැමරා වලට තරඟයක් දෙන්න බැරි තරමට ඩිජටල් කැමරා ඉදිරියෙන් ඉන්නවා කියල මම විශ්වාස කරනවා.

  2. sajith පවසන්නේ:

    ඩිජිටල් කැමරා වලන් ඡායාරූප ගැනිෙම් දි අවදනමක් තියනව ෙනද ?

  3. sajith පවසන්නේ:

    හුගක් වෙවලාවට memory card එක damage උනොත් photos එකක් වත් ගන්න බැරි ෙවනව ෙන්ද ?

  4. Thilina පවසන්නේ:

    මම දන්නා විදියට ප්‍රසිද්ධ කැමරා නිපදවන සමාගම් කිපයක්ම රීල් කැමරා නිපදවිම අත්හැරලා. දැන් ඔවුන් නිපදවන්නේ ඩිජිටල් කැමරා පමණයි. ඩිජිටල් කැමරා භාවිතයට පහසුයි හා වියදමත් අඩුයි කියලයි මටනම් හිතෙන්නෙ. සංසන්දනයක් බලාපොරොත්තු වෙනව.

  5. තමීර පවසන්නේ:

    ඔය කියපු දේවල් කරගන්න පුළුවන් ඩිජිටල් කැමරා නැද්ද? ඩිජිටල් කැමරා ගැන ලිපියකුත් ඉක්මනට දෙන්නකො!

  6. Akila DJ පවසන්නේ:

    කැම‍රා ජාති දෙකම හොඳා!

    Digital Cam වලින් ෆොටෝ ඕන ත‍රම්, මක මක ගන්න පුළුවන් එක තමයි වැදගත් ම!

    හැබැයි Quality+Price අතින් බැලුවොත් නම් film roll කැම‍රා ඉදිරියෙන් කියලයි මම නම් කියන්නෙ!
    මොකද රු 1200 Disposable හෝ රු 2500 Kodak, ලාබ සාමාන්‍ය කැම‍රාවකින් ගන්න ඡායා රූප වල Quality එක ගොඩක් ඉහලයි ලාබෙට තියන Digi Cam හෝ Camera Phone එකකට වඩා. ඒව කිසි අවුලක් නැතුව ලොකු ෆොටෝ කොල වල වදිනව. Color Quality එකත් මරු. මෙතනදි Resolution,DPI වලට වඩා වැඩි යමක් සලකන්න ඕනෙ!

    High Quality Digital Camera එකක් ඊට වඩා ගොඩක් වියදම්. සේයාපට වලට වියදම් ගියෙ නැතත් ආරම්භක වියදම ගොඩක් වැඩි නෙ!
    ඒත් ඒව පට්ට :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>