Analog හා Digital කැමරා සංසන්දනය
ඊයේ ලියපු කැමරා ගැන ලිපියට ලැබුනු ප්‍රතිචාරයක් තමා ඇනලොග් හා ඩිජිටල් කැමරා ගැන සංසන්දනයක් ලියන්න කියලා. ඉතින් ඔන්න අතගැහුවා ඒ වැඩේට. මුලින්ම කියන්න ඕනේ මම මෙහි ඇනලොග් කැමරා යනුවෙන් අදහස් කරන්නේ සාමාන්‍ය fixed focus කැමරා නොව Single Lense Reflex (SLR) වර්ගයේ ඒවා බව. ඒ වගේම ඩිජිටල් කැමරා යනුවෙන් අදහස් කරන්නේ Digital SLR නොවෙයි, සාමාන්‍ය ඩිජිටල් කැමරා. මේ දෙකේ වෙනස ගැන දැනගන්න, මගේ කලින් ලිපිය බලන්න.
මුලින්ම කතා කරමු Analog Camera ගැන.

ඇනලොග් කැමරාවේ ප්‍රධානතම වාසිය තමා අති පැහැදිලි ඡායාරූප ගැනීමේ හැකියාව. රසායනික ප්‍රතික්‍රියාවක් මගින් සිදුවන මෙම ප්‍රතිබිම්බ සටහන් කර ගැනීමේ ක්‍රමය මගින් ඉතා තියුණු ඉමේජ සටහන් කරගත හැකි වනවා. මෙය වඩාත්ම බලපානුයේ ඡායාරූපයක් විශාලනය (enlarge) කිරීමේදී. 12 Mega Pixel කැමරාවකින් ගත් ඡායාරූපයක් උනත් උපරිම විශාලන හැකියාවේ සීමාවක් තියෙනවා. එපමනක් නොව විශාල ඩිජිටල් ඉමේජ වල තිත් තිත් ස්වභාවය (noise/grain) ඔබ නිරීක්ෂණය කර ඇති. විශාලනයේදී මෙය තවත් දෝෂ සහිත ලෙස වැඩි වනවා. මෙම ඩිජිටල් ඉමේජ වලට වඩා ඉහල තත්වයකින් (image quality) යුතුව දල සේයාපටලයකින් ඡායාරූපයක් විශාලනය කරන්නට පුලුවන්. වඩාත් ඉහල ISO/Din අගයක් ඇති සේයාපටල භාවිතා කිරීමෙන් වඩාත් ඉහල තත්ත්වයක් ඇති ඡායාරූප ලබාගන්නට පුලුවන්. 36×24 mm ප්‍රමාණයේ කුඩා නෙගටිව් ඉමේජයක් එතරම් විශාල කරන්නට පුලුවන් වීම සැබැවින්ම පුදුමයක් නේද?
ISO අගය යනු දලසේයාපටලයක් ආලෝකයට දක්වන සංවේදීතාවය පිලිබඳව අන්තර්ජාතික සම්මත මිනුමක්. කෙසේ වෙතත් ජර්මානු නිෂ්පාදකයන් ඔවුන්ගේම මිනුමකුත් මේ සඳහා භාවිතා කරනවා. එය තමා Din (Deutsches Institut für Normung) කියන්නේ. දලසේයාපට ගැන කතා කලොත් සාමාන්‍යයෙන් අප වැඩි වශයෙන් භාවිතා කරන්නේ ISO/Din 100/21° වර්ගයේ දලසේයාපට. දැකලා ඇති Kodak GOLD 100 නැත්තම් Fujicolor Superia 100 වගේ වෙලඳනාම.
මෙන්න මේ ISO අගය ඉහල යන තරමට ඉමේජයේ තියුනු බව වැඩිවෙනවා.
වේගවත් අවස්ථා (Fast Motion) ඡායාරූපකරණයට ඇනලොග් කැමරා ලොකු පිටිවහලක්. වේග චලන නිවැරදිව capture කල හැකි ඩිජිටල් කැමරා අධික මිලෙන් යුක්ත උනත් සාමාන්‍ය fixed focus කැමරාවකින් වුවත් අධිවේග චලනයක් නිවැරදිව capture කරගන්න පුලුවන්.
ඊලඟ දේ තාක්ෂණික වාසියක් නෙමෙයි. ඒ නිසා සමහරු මේක වාසියක් කියලා ගණන් නොගන්නත් පුලුවන්. මම දකින් විදියට ඇනලොග් කැමරා මගින් ඡායාරූප ගැනීමට හුරු වීමේදී ඡායාරූපකරණය පිලිබඳව හොඳ අත්දැකීම් එකතු වෙනවා විතරක් නෙමෙයි වඩා හොඳ අවබෝධයක් පවා ලැබෙනවා. වෘත්තීය ඡායාරූප ශිල්පීන් තවමත් ඇනලොග් SLR වලට ආදරය කරන්නට හේතුව එය වෙන්නට ඇති නේද? “Digital cams are for kids. for big stuff, SLR is the best” වගේ ප්‍රකාශ මම ගොඩක් ඡායාරූප ශිල්පීන්ගේ ෆෝරම වල දැක තියෙනවා. මේකෙ ඇත්තක් තියෙන්න පුලුවන්. ඩිජිටල් කැමරා පාවිච්චි කරන විට අපි ආලෝක තත්වය, නාභිගත වීම ආදී කිසි දෙයක් බලන්නෙ නෑ නේද? තිරයේ පේන ඉමේජය capture කර ගැනීමට බොත්තම ඔබන්න විතරයි තියෙන්නේ. නමුත් ඇනලොග් කැමරාවක් භාවිතා කිරීමේදී ඒ සියලු දේ සැලකිල්ලට ගන්නට වෙන නිසා හොඳ අවබෝධයක් ලැබෙනවා. ඇතැම් විට මෙය වැදගත් වෙන්නේ සාමාන්‍ය එදිනෙදා ෆොටෝ එකක් ගන්න කෙනෙකුට නෙමෙයි වෙන්නැති, වෘත්තීය ශිල්පියෙකුට වෙන්නැති.
ඒ වගේම තවත් කරුණක් තමා ඇනලොග් කැමරාවෙන් එකවරකදී ගන්න පුලුවන් ඡායාරූප සංඛ්‍යාව සීමාසහිත නිසා හොඳ ඡායාරූප ගැනීමට පෙලඹෙනවා, ඒ වගේම ඒවා මුද්‍රණය කරගන්නවා. ඩිජිටල් කැමරාවෙන් අපි ඇතිතරම් ඡායාරූප ගන්නවා, ඒත් මුද්‍රණය කරන්නෙ කලාතුරකින්. ඩිජිටල් කැමරාවෙන් වෙච්ච එක වින්නැහියක් විදියට මම දකින්නේ අපේ මිනිස්සු ලස්සන දර්ශනයක් දැක්කාම ඒක ඇහින් දැකලා රසවිඳිනවා වෙනුවට කැමරා මානලා පුලුවන් තරම් ෆොටෝ ගහන්න යනවා.
ඇනලොග් SLR වල අවාසි ගැන කතා කරමු. ප්‍රධාන අවාසිය තමා cost එක වැඩි වීම. දලසේයාපටලය මිලදී ගන්න, එය develop කරන්න මුදලක් වැයවෙනවා. SLR කැමරාවක මිල උනත් සාමාන්‍ය ඩිජිටල් කැමරාවකට වඩා වැඩියි. දෙවැනි අවාසිය තමා තරමක දැනුමක් අවශ්‍ය වීම. නාභිගත කරන්න, ආලෝකය පාලනය කරන්න පොඩි දැනුමක් අවශ්‍ය වෙනවා. හැබැයි මෙය ක්ලාස් ගිහින් ගන්න ඕන දැනුමක් නෙමේ. පලපුරුද්දෙන් ලබාගත හැකියි.
ඊලඟට ඩිජිටල් කැමරා ගැන.

ඩිජිටල් කැමරාවේ ප්‍රධාන වාසිය අඩු වියදම. (කලින් මේ ගැන කතා කලා). ඒ වගේම භාවිතයේ පහසුවත් තවත් වාසියක්. තැන තැන ගෙනයාමේ පහසුව, බර අඩුවීම, ආදිය SLR වලට සාපේක්ෂව මෙහි අනෙකුත් වාසි වෙනවා. වැදගත්ම දේ තමා ගන්නා ඡායාරූපයේ පෙර දැක්මක් කුඩා තිරයක දිස්වීම. එමගින් ඡායාරූපයේ බොහෝ දෝෂ මගහරවා ගත හැකියි.
අද අන්තර්ජාලය කියන්නේ ප්‍රධානපෙලේ මාධ්‍යයක් නිසා අන්තර්ජාලයේ ඡායාරූප පලකිරීමට ඩිජිටල් කැමරා විශාල දායකත්වයක් ලබා දෙන බව අමතක කල යුතු නැහැ.
ඩිජිටල් කැමරා වල අවාසි මම වැඩිහරියක් ඇනලොග් කැමරාවලට සාපේක්ෂව මේ වන විටත් කියලා තියෙනවා. ඒනිසා ඒවා නැවතකියවීම අවශ්‍ය වෙන්නේ නැහැ.
මගේ මතය නම්,
- ඔබ කැමරාවක් භාවිතා කරන්නේ සාමාන්‍ය කටයුතු, එනම් දකින, නැරඹූ දෙයක් මතක සටහනක් ලෙස තබා ගැනීමට නම්, ඔබට වඩාත් සුදුසු වන්නේ ඩිජිටල් කැමරාවක්.
- ඔබ වෘත්තීය ඡායාරූප ශිල්පියෙක්, කලාත්මක ඡායාරූප ශිල්පියෙක් වෙන්න අපේක්ෂා කරනවනම් හොඳම දේ මුලින් Analog SLR එකක් පාවිච්චි කරන එක. හොඳින් පුරුදු වූ පසු උසස් තත්වයේ Digital SLR එකක් පාවිච්චි කරන්න.
මම Analog SLR වලින් පටන් ගත්ත කෙනෙක් නිසා මම තවමත් ඒවාට ආදරෙයි. ඒ කැමරාවක් අතට අරගෙන ඊට ෆිල්ම් රෝලය පටවලා, ෆෝකස් කරලා, shutter speed හදලා, aperture එක හදලා ෆොටෝ එකක් ගන්නකොට දැනෙන හැඟීම ඩිජිටල් කැමරාවකින් මට දැනෙන්නෙ නෑ. මම හිතන්නෙ ගොඩක් වෘත්තීය ඡායාරූප ශිල්පීන් හා කලාත්මක ඡායාරූප ශිල්පීන් තවමත් SLR පාවිච්චි කරන්න හේතුව ඔය කී කාරණය හා image quality එක වෙන්න ඇති. ඒ වගේම අඳුර හා ආලෝකය සමග සෙල්ලම් කරලා ඡායාරූප ගන්න ඩිජිටල් කැමරා වලට බැහැ. ඒ සඳහා ඇනලොග් එකක් ඕනෙමයි.
SLR වලට තවමත් ඇති හොඳ ඉල්ලුම නිසා තමයි සුප්‍රසිද්ධ කැමරා සමාගම් අද ඩිජිටල් SLR (DSLR) නිපදවන්නේ. ඒවායේ ඇනලොග් SLR එකක් තියෙන සියලු පහසුකම් තිබෙන අතර ඡායාරූපයේ පෙර දැකුමක් දැකගන්නට තිරයක් තිබෙනවා. මේවායේ ඡායාරූපය සටහන් වන්නෙත් සේයාපටලයක නොව පුංචි මෙමරි කාඩ් එකකයි. ඒ නිසා අර ඡායාරූපයේ තත්වය පිලිබඳ ප්‍රශ්ණය නම් මදක් ඉතිරි වී තිබෙනවා. නමුත් එක ඉක්මනටම දියුණු වේවි.
Analog නිෂ්පාදනය මදක් අඩුවී තිබුණත් තවමත් සම්පූර්ණයෙන් නැවතී නැහැ. Hasselblad, Nikon, Canon වැනි සමාගම් තවමත් ඒවා නිපදවනවා. මගේ ආදරණීය Yashica සමාගම පසුකලෙක Kyocera සමාගම මගින් මිලදී ගත්තා. එකල හොඳ SLR නිපදවූ Olympus සමාගම නම් දැන් නිපදවන්නේ ඩිජිටල් කැමරා පමණක් බවයි අසන්නට ලැබුනේ.


සැලකිය යුතුයි

මම මෙච්චරකල් හිතුවෙ Digital Cameras තියෙද්දි මොන මගුලකට ඔය නිකං කැමරා පාවිච්චි කරනවද කියලයි. නමුත් ඒකෙත් වාසි තියන බව දැන් පේනවා. සිරාවට, ඔය image zoom කරනකොෙ එන ප්‍රශ්න නිකං කැමරා වල නැති බව අදයිි දන්නෙ.
බැරිද ඒ ෆිල්ම් රෝල් වලින්තියන images zoom කරන්නෙ කොහොමද කියල කියන්න ? එතකොට කාරණේ තවත් පැහැදිළි වෙයි.
welcome මචං. ඇත්තටම Analog ලෝකේ හරිම සුන්දරයි. පොඩ්ඩක් වැඩ වැඩි වෙන එකෙත් ගතියක් තියෙනවා නේද? හරියට අපි linux terminal එක පාවිච්චි කරනවා වගේ, GUI වෙනුවට.
මම ඊලඟ ලිපිය ලියන්නම් අර කාරණාව ගැන.
ඔව්. ඒ ගැන ලියන්න.
එලකිරි ලිපිය.. මටත් ගිය අවුරුද්දෙ eos40d එකක් එක්ක පොඩ්ඩක් ඔට්ටු වෙන්න ලෑබුනා. .code කිරිල්ල පෑත්තක තියලා අතින් photo දෙකක් තුනක් ගනිද්දිනෙ DSLR වල කික් එක තේරුනේ..
මට නං කික් එක DSLR නෙමේ, Analog SLR හෙවත් Film SLR.
ඒවනෙ ආතල් එක.
ගන්න Nikon F6 එකක්. 2004 ආවේ.
හප්පේ.. අරක ගත්තෙත් office එකෙන් project එකකට. F6 එක lens නෑතුව £1500ක් විතර නේද? එක ගන්න නම් අවයවයක් විකුනන්නම වෙනවා. හික්ස්.
එතකොට Analog වලත් පොඩි ගතියක් තියෙනවා. එළ ලිපියක්
ඇත්තම කිව්වොත් මාත් කැමරා පිස්සෙක්… හැබැයි මං ළග තාම හරි හමන් කැමරාවක් නෑ… ඉස්සර කැමරාවක් දැක්කාම අල්ලන්න ආසයි.. ඒත් ලොකු අය දුන්නේ නෑ.. අද මගේ Sony Ericsson K750i එකෙන් තමයි මගේ ඡායාරූපකරණ අවශ්‍යතාවය පිරිමහා ගන්නේ… Digital SLR එකක් ගන්න තමයි දැන් ආසාව… ඒත් ගොඩක් ගණන් නිසා පරක්කු වෙනවා.. පසුගිය සති වල බැංකොක් ගියපු වෙලාවේ කැමරා කඩ ගානේ ඇවිද්දා.. හැබැයි ගණන් විතරයි ඇහුවේ… :D ඉන්ද්‍රනාම මහත්තයාට පුළුවන් නම් මේවායේ ගණන් මිණුම් කොහොමද කියලාත් කියන්න..
අනේ SLR වල ගණං නං දන්නෙ නෑ මචෝ. මගේ ආදරණීය Yashica FX-7 එක පරලොව ගියාට පස්සේ මට රුපියල් 2000ට (මේ 1999 දී) සෙකන්ඩ් හෑන්ඩ් Zenit එකක් (මං හිතන්නෙ කවුරුත් දැකල නැතුව ඇති මේ මොඩල් එක. තනිකර වානේ. පරණ රුසියන් බඩුවක්. මෙන්න පින්තූරයක්) අරං දුන්නා. ඒකත් කැඩුනා ඉක්මනටම. ඊට පස්සෙ කැමරාවකුත් නැති මම ෆීල්ඩ් එකෙන් සෑහෙන්න දුරස් උනා.
මමත් කැමරා වලටනම් ආසයි, ඒත් DSLR එකක් ගන්න අමාරුනෙ, තියෙන පොඩි කැමරා එකෙන් තමයි වැඩ ටික කරගන්නෙ, photography දිගටම ලියන්න, කියවන්න ආසයි,
මචො,
මමත් ආසයි හොබි එකට ඔය වඩේට මම බැලුව fujifilm near DSLR 1 ගන්න. ගානත් ටිකක් අඩුයි අනෙක්වට වඩා. brand 1 වරදක් තියෙනවද. camera 1 තොර ගද්දි බලන්න ඔන මොනඩ කියන්න පුලුවන්ද.
මචං, Fuji බ්‍රෑන්ඩ් එකේ නං කියන්න වරදක් නෑ, දැරිය හැකි මිලකට තියෙන SLR විදියට. හොඳම වැඩේ තමා මුලින්ම පොඩ්ඩක් නෙට් එකේ සර්ච් කරල බලන්න පාවිච්චි කරපු අයගෙ reviews. ඒ වගේම ඒ කැමරාවෙන් ගත්ත ඡායාරූප ටිකක් හොයාගෙන බලන්න (නෙට් එකේ සර්ච් කරල හොයාගන්න පුලුවන් වෙයි, නැත්තම් Flickr එකේ ඩෙෆා ඇති) ෆුල් සයිස් දාලා බලන්න ඩොට් ඩොට් ගතියක් පේනවද කියලා.
මොකද මම කලින් පාවිච්චි කරපු ෆුජි ඩිජිටල් කැරමාවක ඔය noise ගතිය තිබ්බා.
DSLR එකේ එහෙම නැත්තං එල.
මේ ලිපිය නම් එල. ඇත්තටම SLR කැමරාවක් අතට ගත්තම, ඒකෙන් ෆොටෝ එකක් ගන්නකොට මාර සතුටක් අමුතු හැඟීමක් තමයි එන්නෙ.
මම analog SLR එකක් පාවිච්චි කරල තියෙනව යාලුවෙක්ගෙ තාත්ත කෙනෙක්ගෙ. ඒත් ඒ කාලෙ එච්චර ඒ ගැන තේරුමක් තිබ්බෙ නෑ. අපෙ June term එකට ඡායාරූපකරණය විෂය තෝර ගත්තෙත් ලස්සන ඡායාරූපයක් ගන්නෙ කොහොමද කියල ඉගෙන ගන්නම තමයි. ඒකෙ ප්‍රැක්ටිකල් කරද්දි DSLR එකක් පාවිච්චි කරන්න අවස්ථාව ලැබුන. ඒක නම් මාර අත්දැකීමක්.
ඒ කෙසේ වෙතත් මගෙ ලඟ කිසිම විදිහක කැමරාවක් නෑ, ගන්න සල්ලිත් නෑ. එත් හොඳ DSLR එකක් ගන්න හුඟක් ලොකු ආසාවක් තියෙනව.
“මෙන්න මේ ISO අගය ඉහල යන තරමට ඉමේජයේ තියුනු බව වැඩිවෙනවා.” !!!
මම වැඩිය කැමරා පාවිච්චි කරල නෑ. ඒව ගැන දන්නෙත් නෑ. හැබැයි මේක මම දැකපු පොඩි නිරීක්ෂණයක්!
නිශ්චල කෙටි දුර ඡායාරූප ගනිද්දි Kodak ISO 100 එකේ Color Quality එක Kodak ISO 400 ට වඩා හොඳයි. (ලස්සනයි, පැහැදිලියි) දුවන එවුන් ගෙ ෆොටෝ ගද්දි නම් 100 අවුල්. මම මුලින්ම iso 100න් ගත්ත යාළුවොගෙ ෆොටෝ වලට වඩා පස්සෙ වැඩි හොඳට iso 400න් ගත්ත ඒව කැත වුනා. Contrast,Saturation මදි වගේ (හැබැයි පොඩි වෙනසයි). පස්සෙ ආයමත් iso 100 දැම්ම. OK… සමහර විට මගේ කැමරාවෙ අවුලක් ද දනෙ නෑ! ඒක Analog SLR නම් නෙමෙයි. චාටර් Auto/Fixed Focus එකක්…..
හොඳ ලිපියක්. මට කැමරා වර්ග පිළිබඳව නම් එච්චර දැනුමක් නෑ. ඒත් කැමරාවකින් කලාත්මක විදියට සේයාරුවක් ගන්න පුළුවන් හැකියාවක් නම් තියෙනවා. ඒකට නම් ඉතිං අනිවාර්යෙන්ම තියෙන්න ඕනා කලාත්මක ඇසක් විතරයිනෙ.
ඡායාරූපකරණයට නම් ගොඩක් කැමතියි. අර කිව්වත් වගේ මොකක් හරි සුන්දර දසුනක් දුටුවම හිතෙන්නෙම ඒක ඡායාරූපෙට නගන්න. පහුගිය කාලෙ පුරාවට ගත්ත කලාත්මක ඡායාරූප හැමොත් එක්කම බෙදාගන්නයි ඊයෙ පෙරේදා මං සේයාරූ බ්ලොග් සටහනකුත් ආරම්භ කළේ.
හොඳ ලිපියක්. මට කැමරා වර්ග පිළිබඳව නම් එච්චර දැනුමක් නෑ. ඒත් කැමරාවකින් කලාත්මක විදියට සේයාරුවක් ගන්න පුළුවන් හැකියාවක් නම් තියෙනවා. ඒකට නම් ඉතිං අනිවාර්යෙන්ම තියෙන්න ඕනා කලාත්මක ඇසක් විතරයිනෙ.
ඡායාරූපකරණයට නම් ගොඩක් කැමතියි. අර කිව්වත් වගේ මොකක් හරි සුන්දර දසුනක් දුටුවම හිතෙන්නෙම ඒක ඡායාරූපෙට නගන්න. පහුගිය කාලෙ පුරාවට ගත්ත කලාත්මක ඡායාරූප හැමොත් එක්කම බෙදාගන්නයි ඊයෙ පෙරේදා මං සේයාරූ බ්ලොග් සටහනකුත් ආරම්භ කළේ.
Hello.I am genuinely interested in topic.Where can I pick up more material about the subject? Any advice?
හොද වැදගත් ලිපියක්
මේ වගේ වැදගත් ලිපි පළ කිරීම ගැන මට නම් හරිම සන්තෝසයි
මමත් කැමරා ගැන හොය හොයා දහ අතේ ගූගල් වල කොටපු කෙනෙක් ඒත් සිංහල අයට කුඩම්මාගේ සැලකිල්ල සිංහල ලිපි ගණන සීමිතයි