තිස් වසරක් තිස්සේ ශ්‍රී ලංකා දෙරණේ පුත්‍රයන් දස දහස් ගණනකට මරු කැඳවූ, කෝටි ගණන් දේපල විනාශ කල, කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් නාස්ති කල යුද්ධය අවසන් වී තිබේ. (ඔව්.. ඔය කියන්න හදන්නේ ඉවර නෑ කියලා නොවේද? ඔබ හරි.. නැවත පටන් ගන්නත් පුලුවන් මිනිස්සුන්ගේ ආකල්ප හා ක්‍රියා අනුව. ඒ ගැන කතා කිරීම මේ ලිපියේ වසමට අයත් නොවන නිසා එය මදකට පැත්තකින් තබන්න) සකල ශ්‍රී ලාංකික ජනීජනයා මේ යුද ජයග්‍රහණය විවිධාකාරයෙන් සමරනු පෙනේ. එසේ සැමරීම ගැන බ්ලොග් අවකාශයේ විවිධාකාර මත ද පලවනු පෙනේ. මේ ලිපියෙන් මම කතා කරන්නේ ඒ පිලිබඳව මගේ අදහසයි.
මුලින්ම රතිඤ්ඤා ගැන කියමු. උත්සව හා ප්‍රීති අවස්ථාවන්හි රතිඤ්ඤා පත්තු කිරීම ජාති භේදයක් නැතිව සියලු ශ්‍රී ලාංකිකයන්ගේ සිරිත වී තිබේ. එනයින්ම මේ අවස්ථාවේදී ද සුපුරුදු පරිදි රතිඤ්ඤාව කල එලි බැස්සේය. ජයග්‍රහණය සැමරිය යුතුය. ඒත් ඒ සුදුසු ආකාරයටය. මා නිරීක්ෂණය කල ආකාරයට රතිඤ්ඤා සොමිය දුරදිග ගියා වැඩිය. ජය සැමරීමට රතිඤ්ඤාවක් දෙකක් පත්තු වීම වරදක් නොවේ, (එසේ නම් මගුල් ගෙදරක/අවුරුද්දට රතිඤ්ඤා පත්තු කිරීමද වරදකි).ඒත් ටීවී එකේ කොටි මලසිරුරු පෙන්වන හැමවිටකදීම, ජනපතිඳුන් පෙන්වන හැම විටකදීම ඒවා පත්තුකිරීම විකාරයකි. දල වශයෙන් රුපියල් කෝටි 2ක වත් රතිඤ්ඤා දිවයින පුරා පත්තු වන්නට ඇතැයි සිතමි. මේ මුදල් නිරපරාදේ පුලුස්සා නොදමා එක්කෝ IDPවල සිටිනා අසරණ දෙමල ජනයා සඳහා හෝ එසේත් නැතිනම් ආබාධිත රණවිරු සුබසාධනය සඳහා හෝ පරිත්‍යාග කලේ නම් එය වටිනා කාර්යයකි.
කිරිබත් ගැන මීලඟට කතා කරමු. මා දුටු බොහෝ ලිපිවලට මෙය ද විගඩමක් ලෙස පෙනී තිබුණි. ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් අවසන් වී ඇත. එනම් උදේ ගෙදරින් පිටවූ ඥාතියා නැවත හවස එයිදෝ නොඑයිදෝ යයි සැකයක් ඇතිකරගත යුතු නැත, ආමි එකේ ඉන්න තම ඥාතියා සීල් කල පෙට්ටියකින් ගෙදර එයි යැයි බියෙන් පසුවිය යුතු නැත, බස් එකේ යද්දී-සෙනග ගැවසෙන තැන් වල යද්දී බෝම්බයකට බිලිවේයැයි බියවිය යුතු නැත. උතුරේ සහෝදරයන්ට ආමි එකේ හෝ කොටින්ගේ බර අවි ප්‍රහාරවලින් තවදුරටත් අනතුරක් නැත. තුවක්කුවක් ගෙන යුද්දෙට යවන්නට තමන් පැහැරගෙන යන්නට කොටි නැවත නොඑනු ඇත. ඒවා තිස් වසරක් යුද්ධයෙන් බැට කෑ මිනිස්සුන්ට මංගල කාරණා වේ. සිංහල දෙමල සියල්ලන්ට මංගල කාරණා වලදී මුල් තැන ගන්නේ කිරිබත් ය. ඉදින් මේ අවස්ථාව කිරිබතින් සැමරීමේ වරදක් මට නොපෙනේ.
අන් අය සමග බෙදාහදාගෙන කෑම ශ්‍රී ලාංකික සියල්ලන්ගේ සංස්කෘතික ලක්ෂණයකි. මහා පරිමාණයෙන් කිරිබත් සාදා අන් අය සමග බෙදා හදාගෙන සතුටු වීමෙන් ගම්‍ය වූයේ එය නොවේද?
යුද ජයග්‍රහණය ප්‍රීති වීමට කරුණක් බව හොඳින් දැනෙනුයේ යුද්ධයෙන් බැට කෑ මිනිස්සුන්ට මිස සැපපහසු සෝපාවක සිට රූපවාහිනිය හරහා යුද්ධය හා ත්‍රස්තවාදී ක්‍රයාකාරකම් දකින්නන්ට වත්, විදේශීය මාධ්‍ය වාර්තා හරහා යුද්ධය හා ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් දකින්නන්ට වත් නොවේ.පසුගිය වසරේ මොරටුව විශ්වවිද්‍යාලය අසල පිපිරුණ බෝම්බය ඔබ සැමට මතක ඇතැයි සිතමි. පාසලේදී එකට අකුරු කල මගේ මිතුරෙක් (ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යභට චතුර හේමචන්ද්‍ර) ඊට ගොදුරුව මියගියේය. පාසල් කල සිනාවෙන් පිරී තිබූ ඔහුගේ මුහුණ බයිසිකල් බෝල වලට සිදුරු වී තිබූ අයුරු දුටු විට අප සියල්ලන්ටම කොටි ගැන ඇති වූයේ උග්‍ර කෝපයකි. අප ඔහුගේ මිතුරන් ය, එසේනම් පොලවේ හැපි හැපී විලාප තියමින් හැඬූ වැදූ අම්මාට කෙසේ සිතෙන්නට ඇතිද?
එසේනම් අර කිරිබත් වලින්, (යම් තරමකට මා එකඟ නොවූවත්) රතිඤ්ඤා වලින් ප්‍රදර්ශණය වන්නේ ඒ මිනිසුන්ගේ සිරකරගත් දුක් වේදනා විය නොහැකිද? හෙට තවත් කෙනෙකුට තම ඥාතියාට සිදුවූදේ නොවීම ගැන උපන් සතුට විය නොහැකිද?
ඔව්.. මේ බිලොග් ලියන්නන් තරම් සාමාන්‍ය හුදී ජනයා බුද්ධිමත් නැතුවා වෙන්නට ඇත. ඒ නිසා බ්ලොග් ලියන බුද්ධිමත් ප්‍රජාවට අර මිනිසුන් කිරිබත් කෑම ජෝක් එකක් සේ පෙනෙන්නට පුලුවන. එහෙත් මධ්‍යස්ථ මතය “ෂෝ එක දැමීමට පෙර” මදක් සිතන්න.. තමන්ගේ පැත්තෙන් වගේම ඒ මිනිස්සුන්ගේ පැත්තෙනුත්.
අවසන් වශයෙන් මට කීමට ඇත්තේ මොන ආකාරයෙන් වුවත්, දැං ඔය සැමරුවා ඇති බවය. මක් නිසාදයත් සිව්වැනි ඊලාම් යුද්ධය සඳහා පමණක් හමුදා සෙබලුන් සයදහසකට වැඩියෙන් දිවිපුදා ඇත. සතුටු වීමට මෙන්ම දුක් වීමට ද කාරණා ඇත. සතුටු වීම දැන් නවත්වා, (සතුට තම තමන්ගේ සිත් තුල තබා ගනිමු) අසරණ වූ උතුරේ වැසියන්ට සහන සැලසීමටත්, විනාශ වූ උතුර යලි ගොඩනැංවීමටත්, නැවත මෙවන් වාර්ගික අර්බුද ඇති නොවීමටත්, සමස්ත ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීමටත් හැකි අයුරින් දායක වීමට අවස්ථාව දැන් එලඹ ඇත.









සැලකිය යුතුයි

Comments