ගී පද වැලකත් කතන්දරයකත් වෙනස

On 2009 මාර්තු 3, in සංගීතය, හිත ගිය තැන්, by ප්‍රවීන් ඉන්ද්‍රනාම


සංගීත් විජේසූරිය කියන (ගායනා කරන නොවේ) “නිවාඩුවටත් මං දැං…” සංගීතමය විලාපය (ගීතයක් ද නොවේ) අහලා ඇති නේ. ඒකෙ කතාව කිව්වොත්, ඔන්න ගමක කොල්ලෙකුයි කෙල්ලෙකුයි ප්‍රේමයෙන් බැඳිලා ඉන්නවා. හැබැයි කොල්ලා දුප්පත්. ඉතිං ආදරයට බාධා එනවා. මේ නිසා කොල්ලා නගරයට යනවා රස්සාවක් කරලා සල්ලි හම්බකරගෙන ඇවිත් කෙල්ලව සහේට ගන්න. නමුත් කොල්ලා ආපහු එනකොට අර කෙල්ල වෙන කෙනෙකුට විවාහ වෙලා ඉවරයි.

මේ අර්ථයම තියෙන ලස්සන ගී පදවැලක් තියෙනවා. ඒක ලියලා තියෙන්නේ ප්‍රවීණ ගීත රචකයෙක් වන වසන්ත කුමාර කොබවක මහත්තයා. මේක ගායනා කරන්නේ සුනිල් එදිරිසිංහ මහත්තයා. මේක දැං නම් ගුවන් විදුලියේ ප්‍රචාරය වෙන්නෙත් නැති තරම්.
අපි බලමු මේ ගීතයේ පදවැල

වනේ වන ඵල මියුරු වූ දා නැතේ ලඟ සියොතුන්
මලේ මල් රොන් පුසුඹ වූ දා කොහේදෝ බඹරුන්

වෙලී නැතිබැරි දුකින් කාලය
හැලී දෝතින් නැවුම් ප්‍රේමය
අහී දුප්පත්කමින් ජයගනු රිසින් පියමං වූ යුගේ
හිතත් හිරිමල්, ඇයත් මනකල්, කල් බලා සිටියා

නැගී අලු යට ගිණි ඉරක් මෙන්
දිනූ දා කිත් යසස් අබිමන්
එදා ගොළුවුනු පෙමක් කුලුඳුල් දනව් ගම් හැරදා ගිහින්
බිඟුත් තනියෙන්, මලත් නටුවෙන් තටු විදා ඉගිලී
ගියා ඉගිලී. . .

සංගීත් කියන එක කවුරු ලිව්වද කියලා නම් මම දන්න නෑ. ඔබ හොඳ රසවින්දනයක් තියෙන කෙනෙක් නම් මේ දෙකේ වෙනස වටහාගන්න පුලුවන් වෙයි. පද රචනයේ විතරක් නෙමෙයි, ගායනයේ, සංගීතයේ පවා ඒ වෙනස තියෙනවා.

අපි කතා කරමු මේ ගීතය ගැන. ඔබේ හරවත් විචාර මම බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම මේ ගීතය අහලා නැත්තම් මෙතනින් අහලා බලන්න.

Tagged with:  

9 Responses to ගී පද වැලකත් කතන්දරයකත් වෙනස

  1. ගයන්ත පවසන්නේ:

    එදා (සුද්දගෙ කාලෙ නෙමෙයි. මෑත අතීතයෙ) සිංදුයි අද සිංදුයි අතරෙ සෑහෙන (ශබ්ධමය හා අර්ථමය වශයෙන්) පරතරයක් තියෙනවා.
    ඒ පරතරය ඇති වුනේ කොහොමද, නැති කරන්නෙ කොහොමද, අඩුම ගානෙ නැති කරන්න ඕනෙද කියන එක ගැනවත් කාටවත් අදහසත් නෑ

    කොහොම වුනත් සද්දෙ විතරක් තියෙන සිංදු එනවා, යනවා.
    හොඳ සිංදු සදාකල් තියෙනවා‍‍.

  2. -බිன்ku- පවසන්නේ:

    ගයන්තට මම එකඟයි අයියාගේ කතාවටත් එක්ක. මේකට හේතුව තමා බටහිර ඉංගිරිසිය කියන සිංදු\කම්හල් තාල වගේම සංසකෘත-විකෘත රූප පෙලත් දානවානේ.

  3. නාමල් උඩලමත්ත පවසන්නේ:

    ප්‍රවීන් ඔබේ අදහස එක්ක මම එකඟයි. මේ ගැන මමත් ලීවා. නමුත් සාහිත්‍යය ඉතිහාසය නොදත් පරපුරට මේ වගේ හොඳ ගී රස විඳින්න බැහැ. ඔවුන් ලාභ බො ළඳ දේ පස්සේ යනවා. උසස් රස වින්දනය අපි ආයාසයෙන් අප තුළ වගා දිගා කළ යුතු ශක්‍යතාවක්. ඒ සඳහා මේ මාධ්‍ය හොඳට යොදා ගන්න පුළුවන්. දිගට ම ලියන්න.

  4. malee_msg පවසන්නේ:

    විවාදයක් නෑ සුනිල් එදිරිසිංහ කියන්නේ අති විශිෂ්ට හඩක් ඇති දකෂ ගායකයෙක්..ඔහු විතරක් නෙවෙයි ඔහුට සමකාලීනව අපිට මුණගැහෙන අති බහුතරයක් නිර්මාණකරුවන් දකෂතා අතින් පරිපූර්ණයි.මම හිතන්නේ ඒකට හේතුව තමයි ඒ කාලයේ නිර්මාණ කරුවන්ට තිබුනු අවස්ථා ප්‍රමාණය අඩුවීම..ගුවන් විදුලිය පමණයි තිබුනේ. ඒකත් ගුවන් විදුලි සංස්ථාව පමණයි.. ඉතිං ඒකේ දකෂයන් අතරිනුත් අති දකෂයන්ට පමණයි අවස්ථාවක් ගන්න පුළුවන් උනේ.. නමුත් අද වෙනකොට හතු පිපෙනවා වගේ මාධ්‍ය බිහි ‍වෙලා.. තරු තරග හා අනේක විද ක්‍රම හරහා අළුත් අයට ඉඩ ලැබෙනවා.. මේ පායන තරු තමන්ගේ නවක බව නැති කරගන්න එලෝ මෙලෝ නැතුව දගලනවා.ඉතිං සාර්ථක නිර්මාණ වලට වඩා ඔහේ නිර්මාණ බිහිවීමකුයි තියෙන්නේ.. අනික අද කාලේ අවශ්‍යතාවයක් තියෙනවා නම් ඕනිම කුණුගොඩක් ජනප්‍රිය කරවන්න සැදී පැහැදුනු මාධ්‍ය ඕනැ තරම් ඉතිං හැම දේම එළියට එන එක පුදුමයක් නෙවෙයි.
    හැබැයි මෙහෙමයි.. කළාව කියන දේ තුල හොද හෝ නරක වෙන් කරන්න අපිට පුළුවන්ද කියන දේ ගැටළුවක්.මොකද අපි දෙයක් රස විදින්නේ අපේ සීමාවන් තුල.. අපි ලබන වින්දන කෙනාගෙ‍න් කෙනාට විවිධයි. හැමෝම එක රටාවකට ගොනුවෙන්නේ නැහැ… අපි අමරදේවගේ සංගීතය රස විදිද්දි තව කෙනෙක් සංගීත් ලගේ සංගීතය රස විදින්න පුළුවන්..අමරදේව මාස්ටර් ළග වගේම සංගීත් ලග තියෙන්නෙත් කළාවේ විවිධ පැති කඩවල්.. ඒවා අපි හොදයි කියන්නේ අපි එක එක්කෙනාට දැනෙන විදියට නිසා.. කිසිම නිර්මාණයක් නරකයි කියා බැහැර කරන්න බෑ කියන එකයි මගේ අදහස

  5. Supun Budhajeewa පවසන්නේ:

    ගැටළුව ඇත්තේ යුගයේ නොව අදාළ ගීතයේයි.

    අරුත් සුන් ගීත අතීතයෙනුත් අරුත් පුන් ගීත වත්මනෙනුත් සොයාගැනීමට නොහැකියි සිතන්නේ නම් ඒ මුලාවක්.

    අරුත් සුන් – අරුත් පුන් ගීත ගායකයා (හෝ එහි දායක වූ පිරිස) අනුව වර්ග කරන්නටත් බැහැ. එය හුදෙක් එකී නිශ්චිත ගීතය මත ම රඳාපවතිනවා.

    එනම්, (නම් ගම් භාවිතය ප්‍රශ්නයක් නොවනු ඇතැයි බලාපොරොත්තු වෙමි.) අමරදේව ගෙන් අරුත් පුන් ගීත පමණකුත් ඉරාජ්ගෙන් අරුත් සුන් ගීථ පමණකුත් බලාපොරොත්තු විය නොහැකියි.

    අවසන් අදහස, ගීතයක අරුත් සුන් – අරුත් පුන් බව බව නිශ්චිත ගීතයටත් එය අසන්නාටත් සාපේක්‍ෂයි. ගැටළුව මතුවන්නේ ගීතය යන්න පිළිබඳව වියුක්තව සිතන්නට යාමේදීයි. සියල්ල ඒ ඒ පුද්ගලයාට සාපේක්‍ෂ බව වටහාගැනුමෙන් සියළු ගැටළු නැති වෙනවා.

    මෙය “ගීතය” (“ගීතය” ගීතය වශයෙන් ගන්නේත් එක් එක් අයට සාපේක්‍ෂව බව ගැඹුරින් සිතා බැලීමේදී වැටහෙනු ඇති.) යන්න පිළිබඳ පමණක් නොව අන් සියල්ල ද මිනිසාගෙන් වියුක්තව සිතන්නට පෙළමීමේ වරදක් බව වැඩිදුරටත් සඳහන් කරන්න කැමතියි.

  6. SRIshanu පවසන්නේ:

    රසවින්දනය පැහැදිලිවම පුද්ගලිකයි. එහෙම කිව්වත් ඒ ඒ පුද්ගලයාගෙ රසවින්දන පරාසයට ඔහු ජීවත්වන/ඇසුරු කරන සමාජය සෘජුවම බලපානවා. ඒ නිසා ඒ ඒ කෙනා තමන්ට කැමති ගීය/ආර රසවිඳිනවා කියන්නෙ “පුද්ගලිකම” දෙයක්ම නෙමෙයි.

    සුනිල් එදිරිසිංහ මගේත් ප්‍රියතම ගායකයෙක්. ඔහු ඇතුළුව 60-70 දශකයේ කලඑළි බැස්ස කලාකරුවන් රැසක්ම අද පරමපරාවෙත් වන්දනීය කලාකරුවන් බවට පත්වෙලා සිටිනවා. ඒකට හේතුව මේක කියල හරියටම කියන්න බැහැ. ලංකාවේ මතු නොව ලෝකයේම ගීතයේ-සිනමාවේ උච්ඡතම සමය 70 දශකයයි. ඔවුන්ට පෙර පරම්පරාවෙන් ලැබුනු පදනමත් එයට හේතුවක් වන්නට ඇති.

    මේ ගීතය දකින විට ඇති වන්නෙ ගීතය සහ සංගීතය ගැන ආශ්වාදයක් පමණක් නෙමෙයි. ගීතයේ පදවැල් ගෙතී ඇති ආකාරය – සිංහල භාෂාවෙන් කොයි තරම් වැඩ ගන්න පුළුවන්ද? කොයි තරම් පිරිපුන් භාෂාවක්ද? එහි සංගීතය පද වැලේ ආකර්ෂනීයත්වය පරයා යන රසාස්වාදයක් ලබා දෙනවා. ගායනට පද වැලටත් සංගීතයටත් දැඩි සාධාරණත්වයක් එක් කරනවා. “ගීතයක්” කියන වචනයේ සැබෑ අර්ථය පසක් කරනවා. හරිම අපූරුයි.

  7. නිලන්‍ත පවසන්නේ:

    ගීත දෙකම(සංගීත්ගේ පදවැලද ගීතයක් ලෙස සැලකුවහොත්) සුනිල් එදිරිසිංහ මහත්මයා ගායනා කරන ගීතයේ ඇති හදවතට දැනෙන ගීත රසය අහලකින්වත් යන්න සංගීත්ට හැකිවෙලා නැහැ. “වනේ වන ඵල” ගීතයේ පදරචනය, සංගීතය සහ ගායනයේ ඇති මනා ගැලපීම ඉදිරියේ “නිවාඩුවටත් මං” නිකම්ම නිකං වචන ගොඩක් සහ ශබ්ධ සමූහයක් පමනක් බවට පත්වෙනව.
    පදවැලේ ඇති දුර්වලතාවය වසාදැමීමට සංගීතයෙන් වත් කිසිම උත්සාහයක් දරල නෑ.
    මට මතක හැටියට මේක තමයි දැන් එන ගීත යැයි කිවනොහැකි ගීත වලින් මුලින්ම ආපුඑක.

    සංගීත්ගෙයි සුනිල් එදිරිසිංහ මහත්මයාගෙයි ගායනා හැකියාව මම සසඳන්න යන්නෙ නෑ. හේතුව දෙදෙනාගේ ගායන ශෛලිය දෙවිදිහක් නිසා. ඒ එම දෙදෙනාගේ සමාජීය බලපෑම සහ කාලය අනුව ඇතිවුවක් විය හැකි නිසා.
    සංගීත්ගේ බොහෝ ගීත මට රසවිඳිය නොහැකී වාගේම සුනිල් එදිරිසිංහ මහත්මයාගේ සියලුම ගීතද මට රසවිඳිය නොහැකියි.
    සංගීත්ගේද හොඳ ගීත නැතුවාම නොවේ.

    “වනේ වන ඵල” ගීතය සංගීත්ට ගායනා කිරීමට කිවහොත් ඔහු එදිරිසිංහ මහත්මයා තරමටම සාර්ථක නොවූවද යම් දුරකට එය ගායනා කරාවි. නමුත් සංගීත්ගේ යම් සාර්ථක වේගරිද්ම ගීතයක් එදිරිසිංහ මහත්මයාට ගායනාකිරීමට කිවහොත් ඔහු බොහෝවිට අසාර්ථක වීමට ඉඩ තිබේ. ඒ එම දෙදෙනා ලබා ඇති ආභාෂය අනුවයි. එබැවින් ගීතයක සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය තනිකරම ගායකයාගේම හැකියාව හෝ නොහැකියාව හෝ මතම පදනම් නොවේ.
    පැරනි ගායකයන් බොහෝවිට ඉගෙනීම මගින් තම හැකියා වර්ධනය කරගෙන තිබිම හා එකී සංගීතඥාණය තුලින් සාර්ථක පදරචනා පමණක් තෝරාගැනීමට තරම් දක්ෂ වීමත් නව පරපුර කිසිම දැනුමක් නැතිව ප්‍රසිද්ධිය සහ මුදල් මත පමණක් යැපෙමින් නිර්මානයැයි කියාගන්නා පල්හැලි ඉදිරිපත් කිරීමත් මෙම ගීත වල ඇති ගුණාත්මක වෙනසට හේතූවයි.

    (මෙහිදී සුනිල් එදිරිසිංහ මහත්මයා ට එසේ ඇමතීමටත් සංගීත්ට සංගීත් ලෙස පමනක් ඇමතීමටත් හේතුව සංගීත් අප සම වයසේ වූවෙක් වීම පමණක් බැවු සිහිකරමි)

  8. ශාඛි පවසන්නේ:

    සංගීත් මහතාත් ගුවන් විදුලි A ෙශර්්‍රණි ගායකයකු බව අමතක කරන්න ඒපා.රසවින්දනය පුද්ගලිකයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>