සිසු අරගල හා සිසු කෝලාහල

On 2009 පෙබරවාරි 6, in ඇසි-දිසි, විශ්වවිද්‍යාලය, by ප්‍රවීන් ඉන්ද්‍රනාම

කැලණි විශ්වවිද්‍යාලයේ දරුණු ගැටුමක් ඇතිවූ බව සවන් වැකීමත් සමගම මගේ මතකය වසරකට පමණ පෙර සිදුවූ සිද්ධියක් වෙත දිවගියා. එනම් 2008 ජනවාරි 23වෙනි දින විශ්වවිද්‍යාල භූමියේදී මම දරුණු මැර ප්‍රහාරයකට ලක් වීම. එසේ පහරකෑමට ලක් වීමට මා කල වරද වූයේ කෲර නවක වදයට විරුද්ධ වීමයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කී පමණින් සියලු දෙනාගේ මතකයට නැගෙන්නේ දරුණු නවක වධයක් දෙන වධකාගාරයක් ලෙසයි. මමත් 2007 අප්‍රේල් මාසයේදී විශ්වවිද්‍යාල ගේට්ටුවෙන් පලමු වරට ඇතුල්වුනේ මහත් බියකින් හා චකිතයකින්. නමුත් පලමු දිනයේම අපට දැනගත හැකිවූයේ අනෙක් පීඨ වල එසේ දරුණු නවක වධය දෙද්දී ව්‍යවහාරික විද්‍යා පීඨයේ නවක වධය සහමුලින්ම තුරන් කර ඇති බවයි. ජවිපෙ හිතවාදී මහා ශිෂ්‍ය‍ය සංගමය ශාස්ත්‍ර හා කළමනාකරන පීඨ වල සිය පාලනය පතුරුවාගෙන සිටියදී නවක වධ විරෝධී (සමස්ත විශ්වවිද්‍යාල භාෂාවෙන් නම් ‘අල’, ජපුරේ භාෂාවෙන් නම් ‘බොග’) කණ්ඩායමක් විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමයේ පාලනය ලබාගෙන තිබුනා.

ඉතින් කොහොමත් තවත් කෙනෙකුගෙන් පෑගීම ප්‍රතික්ෂෙප කරන මගේ සහය ලැබුනේත් නවක වධ විරෝධී කණ්ඩායමට. මුල් දිනයේ පටන්ම ජවිපෙ හිතවාදී මහා ශිෂ්‍ය සංගම් කණ්ඩායමෙන් (ජපුරේ භාෂාවෙන් ‘රැල්ලන්’) අපට ඔවුන්ට එක් වන ලෙස විවිධාකාර බලපෑම් එල්ල වුනා. ඒවා බටර් ගැමේ සිට මරණ තර්ජනය කිරීම දක්වා විවිධාකාරයි.

එදා පටන් සුපුරුදු කෝලාහල ජීවිතේට අපි පුරුදු වුනා. කණ්ඩායම් දෙක අතර ගැටුම් – තුවාල – පන්ති තහනම් – පිඨය වසා තැබීම් – ආපසු ගැටුම්. වරදවා වටහා ගන්න එපා, නවක වධ විරෝධී අදහස් දැරුවත් මම කිසි දිනක මෙම ගැටුමකදී විරුද්ධ පාර්ශ්වයට එරෙහිව ගලක් වත් විසි කොට නැහැ. කෝලාහල වලට මම එදත් අදත් විරුද්ධයි. නවක වධය නිමාකිරීමට මතවාදී යුද්ධයක් කල යුතු බවයි මගේ හැඟීම. මෙම දිනයට කලින් දින රාත්‍රියේ අපේ මිතුරන් නේවාසිකාගාරයට (නේවාසිකාගාර වල පාලනය ඇත්තේ මහා ශිෂ්‍ය සංගමයට බව අමුතුවෙන් කිව යුතු නැහැ) ගල් ගසා වැඩක් දෙල් කරගෙන තිබුනා. කලින් දින රාත්‍රියේ සිදුවූ මේ සිදුවීම නොදත් මමත් අනුෂ්කාත් උදේ පාන්දරින්ම පීඨයට ගියා. එපමනක් නොව අපේ ශීෂ්‍ය සංගමය මගින් මුද්‍රනය කල ටී ෂර්ටයක් ද ඇඳගෙන ! මට දහදෙනෙකුගෙන් පමණ මැර ප්‍රහාරයකට මුහුණ දී රෝහල්ගත වන්නට සිදු වූයේ ඒ ආකාරයටයි.

ලංකාවේ බොහෝ විශ්වවිද්‍යාල අද මෙවන් තත්ත්වයකට මුහුණදී තිබීම ශෝචනීය කරුණක්. යහපත් දේ සඳහා සිසු අරගල සිදුවිය යුතුයි. විශ්වවිද්‍යාල සිසුන් බොහෝ කැපකිරීම් කර සිදුකල අරගල නිසා අද අපේ අධ්‍යාපනය තවමත් නිදහස් තත්ත්වයෙන් පවතිනවා. (ධවල පත්‍රිකාවට එරෙහිව අරගලය) එහෙත් ජවිපෙ වැනි දේශපාලන පක්ෂ වල ඕනෑඑපාකම් සඳහා විශ්වවිද්‍යාල සිසුන් අනවශ්‍ය දේ කිරීමට යාමත්, එම පක්ෂ වල ම මෙහෙයවීම මත ඔවුන්ගේ මතය නොදරන සිසුන්ට පහරදීමත් අනුමත කරන්න බැහැ. ජවිපෙ හිතවාදී සිසුන් ඒවාද සිසු අරගල ලෙස නම් කලත් ඒවා සිසු කෝලාහල මිස අරගල විය නොහැකියි.

(… මෙම ලිපිය මීට වඩා දීර්ඝ නොකිරීමට මම තීරණය කල නිසා මනෝජ් සොයුරා මතක් කල දේ මෙයටම ඇතුලත් කරන්නම්. එය මතක් කිරීම ගැන ඔහුට මගේ ස්තුතිය. මා මෙය ඇතුලත් කරන්නට හිටියේ දෙවන කොටසට …….)

‍මා ඒ පහර කෑමට ලක්වු ගැටුමින් පසු ජපුරට නිහඬ සමයක් උදාවුනා. ඒ ගැන සාමකාමී පුද්ගලයෙක් වශයෙන් මට ගොඩක් සතුටුයි. මා දකින ආකාරයට මෙම සා‍මකාමී බව ඇතිවීමට හේතු මේවායි,

  1. ස්වර්ණ ජයන්ති උත්සව මාලාව වෙනුවෙන් සියලු දෙනා වෙහෙස වීම
  2. ජවිපෙ දේශපාලන වශයෙන් අස්ථාවර වීම
  3. විශ්වවිද්‍යාලයේ ජවිපෙට සහය පලකල සිසුන් විශාල පිරිසක් ක්‍රමක්‍රමයෙන් නාමල් රාජපක්ෂ ගේ ව්‍යාපාරය වෙත එක් වීම

විද්‍යා පීඨය වෙත අලුතින් බඳවා ගත් ශිෂ්‍ය
කණ්ඩායම සඳහා සති 2ක නම්නීකරණ පාඨමාලාවක් පැවැත්වූ බලධාරීන් මෙහි ඇති දෙපාර්ශ්වයටම සම්බන්ධ නොවන ලෙස ඔවුන්ට ඉගැන්වූයේ එමගින් නිවහල් බැච් එකක් බිහිකොට මෙම භේදය නැති කිරීමට විය යුතුය. බලධාරීන්ගේ අභිප්‍රාය සාර්ථක වුනත් එහි ප්‍රතිඵලය වූයේ විශ්වවිද්‍යාලයේ කිසිදු කටයුත්තකට (අඩු ගණනේ ස්වර්ණ ජයන්ති උත්සව වලටවත්) සහභාගී නොවන, ඉහල බැච් වල සිසුන්ගේ මුහුණවත් නොබලන හා ආචාර්යවරුන් ද ගණන් නොගන්නා අල බැච් එකක් බිහිවීමයි.

මෙම අර්බුදය විසඳීමට නිසි පියවර නොගෙන බලධාරීන් විසින් මෙබඳු ගොඩ වෙදකම් කරන තාක් කල් ‍මෙම ප්‍රශ්නය නොවිස‍ඳෙනු ඇති.

Tagged with:  

10 Responses to සිසු අරගල හා සිසු කෝලාහල

  1. ශාකුන්තල පවසන්නේ:

    ඔබට සිද්ධ වෙච්ච දේ ගැන කණගාටුයි මිත්‍රයා.

    මතවාදී යුද්ධයකින් මේව නවත්තන්න පුළුවන් වෙයි කියල මම හිතන්නෙ නෑ. මොකද ජවිපෙ විසින් ගහල තියෙන තෙල නිසා මුං එක්ක කිසිම දෙයක් සාකච්ඡාවෙන් විසඳන්න බෑ. මුංගෙ මතයට යන්තම් හරි විරුද්ධ මතයක් ඉදිරිපත් වුණොත් ඒකම අළුත් ගැටුමකට මුල වෙයි. මේකට රජය මැදිහත් විය යුතුයි කියලයි මම හිතන්නෙ. හරියටම කිව්වොත් මේකට කියන්න පුළුවන් විශ්වවිද්‍යාල ත්‍රස්තවාදය කියල.

  2. sinhalablog පවසන්නේ:

    මමත් අවසන් වසරේ සිසුවෙක්, ඇත්තටම පේරාදෙණියේ නම් තත්ත්වය ඔය තරම් භයානක නැහැ. JVP බලපෑම් නිසා තමයි මේ සියල්ලටම මුල, නමුත් දැන් JVP එකටත් උදා වෙලා තියෙන්නේ බහින කලාවනේ. ඉතින් මේකට හොද මතවාදයක් අපි ඇති කරගතයුතුයි.

  3. Manoj පවසන්නේ:

    ඔබ ජපුර පිළිබදව සදහන් කොට ඇත්තේ මීට බොහෝ කළකට පෙර සිදුවූ සහ තිබූ වාතාවරණයක් පිළිබදවය.

    දැන් ජ පුර තුල ඇති තත්වය ඔබ ඉහත දක්වා ඇති තත්වයට හාත්පසින්ම වෙනස් වූ සාමකාමී වාතාවරණයක් බව එහි ඉගෙනුම ලබන ඔබ නොදන්නවා විය නොහැකිය.

    එ නිසා ඔබගේ ලිපි කියවන්නන් තුල විශ්ව විද්‍යාලය පිළිබදව වැරදි වැටහීමක් ඇතිවන්නට ඉඩ ඇති බැවින් එය නිවැරදි කරණ මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු.

  4. ස්තුතියි මනෝජ්, මා එය මෙහි දෙවන කොටසට ඇතුලත් කිරීමටයි හිටියේ.
    නමුත් මා මෙය තව දුරටත් ලිවීමේ අදහස අත්හැරිය නිසා එය මෙසේ මෙම ලිපියටම එකතු කලා.

    ඔබේ අවධානය ගැන ස්තූතියි.

  5. පිටස්තරයා පවසන්නේ:

    රජය මේ ප්‍රශ්න වලට මැදිහත් වීම නම් කොහෙත්ම විසඳුමක් නෙමෙයි. එතකොට වෙන්නේ කිසිම විදියකට නිදහසේ නොහිතන උගත්තු බිහි වෙන එක. රජයට කඩේ යාමක් වෙන්නේ එතනින්. කලින් JVP එකේ තෙල කාපු එවුන් දැන් රජයේ තෙල කාලා රජය කියන් විදියට වැඩ කරන්න පටන් ගනී.

    ඒක නිසා මේ ප්‍රශ්නය විසඳන්න ඔනේ ශිෂ්‍යයන්‍ගේ චින්තනය වෙනස් කරලා මිසක් කිසිම බාහිර දේශපාලන බලවේගයකින් නෙමෙයි

  6. ශාකුන්තල පවසන්නේ:

    ඔව්, චමිල කියන කතාව හරි. මට ඒක මුලින් හිතුනෙ නැහැ.

  7. ‍දේශිකා කාරියකරවන පවසන්නේ:

    මම මේ ලිපිය දැක්කේ නම් සෑහෙන පහු වෙලා…. දැන් නම් මේක අතීත කතාවක් විතරයි. ඒත් ඔය කියන දවසේ ඔය කියන අත්දැකීම මමත් ලස්සනට ලැබුවා විතරක් නෙවී වැදුනු ගඩොල කොයිතරම් නියමෙට වැදුනද කීවොත් රෝහල් ගත වෙලා හිසේ ශෛල්‍යකර්මයකටත් මුහුණ දුන්නා! ම‍ගේ අම්මා හෙදියක් වීම නිසා රෝහලේ කටයුතු ඉක්මනින් කෙරුනත් වෛද්‍යවරුන් මට ඒ සිද්ධියෙදි කීවේ කාරණා දෙකයි;

    1. “ග‍ඩොල වැදුනු තැන තව දශමයක් එහෙ මෙහෙ උනානම් ඔයා අද මුහුණේ පැත්තක් පණ නැති, කණක් ඇහෙන්නේ නැති කෙනෙක්…”
    2. “ඔය විශ්ව විද්‍යාලේ ඉන්නේ ළමයි කියලා විස්වාසද? ඔය තරම් ඇම්මක් තියේ නම් තුවක්කු දීලා යවන්න යුද්ධ කරන්න උතුරට… අපරාදේනේ ඔය වාගේ ගොන්නුන්ට උගන්නන්න යන සල්ලි…ඔහොම එවුන් එහෙම හරි මැරෙන්න යවන්න ඕනා..”

    ඔන්න ඕවා තමයි මම අහගත්තේ. පවුලේ එකම දරුවාට එහෙම මාරකයක් උනාම මගේ දෙමාපියෝ විදවපු හැටි දැකලා මමත් සෑහෙන විදෙව්වා… කොහොම උනත් ඒ සිද්ධිය මගේ ජීවිතේට හුගක් අත්දැකීම් ගෙනාවා. ඒ වෙලාවේ මා එක්ක හිටපු, හොයලා බලපු මගේ යාලුවොත් මම ආදරෙන් මතක් කරන්න ඕනා.

    විශ්ව විද්‍යාලෙදි අපට අසනීප උනත් එක්කන් යන්නේ කලු‍බෝවිල රෝහලට නිසා මේ ටිකත් කියන්නම ඕනේ… එදා ඒ සිද්ධියෙදී මාවත් මුලින්ම ගෙනිච්චේ ලගම තැන නිසා එහෙට(මගේ අම්මා වැඩ කරන්නේ කොළඹ ජාතික රෝහලේ). ගත්ත x-ray බලලා කලු‍බෝවිල රෝහලේ වෛද්‍ය මතය උනේ ම‍ගේ හිස් කබලේ අස්ථි වලට කිසිම හානියක් වෙලා නෑ කියලයි. (මම හොදටම ෂුවර් නේද ඩොක්ටර් කියලා 2-3 පාරක් ඇහුවා….) ඒත් මට ඊට පස්සෙත් අමාරු නිසා කොළඹ ජාතික රෝහලට අම්මා මාව එක්ක ගියා. එහෙදි මාව බලපු දොස්තර කලු‍බෝවිල රෝහලේ වෛද්‍ය මතය අහලා ඔලුවේ අත තියාගත්තා, මොකද ඒ වෙද්දිත් මගේ මූණේ අස්ථියක් බිදිලා!!!! මට ඒ වෙලාවේ නම් කලු‍බෝවිල දොස්තර ගැන හරිම ආදරේ හිතුනා… මම එදා කොළඹ ජාතික රෝහලට නොගියානම් ඒ කැඩුනු අස්ථිය ඇදේට සවි වෙලා අද වෙද්දි මගේ මූණ සෑහෙන ‍‍ලස්සනට තියෙන්න තිබුනා :P
    අනේ ඒ නිසා කලු‍බෝවිල රෝහල මීට වඩා සැලකිලිමත් වෙනවානම් හොදයි!!!!!!
    (සෑහෙන දිග comment එකක් දීම ගැන සමාවෙන්න)

  8. dulee පවසන්නේ:

    me blog karu tamange kastiya karana weda gena katha nokarana eka aduwak.eth itin horage ammagen ahana pena mona ennewakatada???

  9. dulee පවසන්නේ:

    ane ape awihinsawadee athi uttama boga babala tika nikamma innawane?? unge weda kiyanna itin blog ekak lagadima patan ganna wei.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>