
මේ බ්ලොග් කඩමාල්ල ඊයේට වසර 3ක් පැරණි ය. 2009 ජනවාරි 11 වෙනි දින පහන් සරත්චන්ද්‍ර ගේ මගපෙන්වීමෙන් මෙය ඇරඹුනේ “ඉන්ද්‍රනාමගේ සයිබර් සිතුවිලි“ යන නමින් blogspot.com හිදී ය. ඉන් පසු .com ඩොමේනයක්ද මිලදී ගනිමින් මෙය බ්ලොගර් වලින් වර්ඩ්ප්‍රෙස් වෙත පැමිණියේය. ඉන් අනතුරුව මෙහි නම ද වෙනස් විය. අද ලිපිය ලිවීමේ අරමුණ අවුරුදු 3ක මගේ බ්ලොග් කෙරුවාව ගැන පම්පෝරි ගැසීම නොවේ. බ්ලොග් කලාවේ මා දුටු වෙනසත්, එදා මා හා එකට බ්ලොග් ලියූ, අද මා මෙන්ම බ්ලොග්කරණයෙන් සමුගෙන ඇති සහෘදයන් සිහිපත් කිරීමය.
2009 මා බ්ලොග් ලිවීම පටන් ගන්නා විට සිංහල බ්ලොග් තිබුනේ 200ක් පමණ යැයි මා මීට කලින් කිහිප වතාවක් කියා ඇත. එකල සින්ඩිකේටර තිබුනේ දෙකකි, සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ එක හා කොත්තුවයි. එකල පාඨකයෝ තදින්ම සින්ඩිකේටර භාවිතයට ඇබ්බැහිව, එනම් බ්ලොග් කියවීම සදහා සින්ඩිකේටරම භාවිතයට පුරුදුව සිටියෝය. අද තත්වය බෙහෙවින් වෙනස් ව ඇත. ගත වූ අවුරුදු 3 ඇතුලත සක්‍රීයව ඇති සිංහල බ්ලොග් අඩවි සංඛ්‍යාව දහස ඉක්මවනු ඇතැයි සිතේ. සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ අභ්‍යන්තර ගැටුම්, ලාංකීය සිතුවිලි, ඉන් අනතුරුව හත්මාලුව වැනි නව සින්ඩිකේටර බිහිවීමේ ලා පුරෝගාමී වීය. අලුත් සින්ඩි බිහිවීමත් සමගම ඒ හා රොක් වූ පිරිස් මගින් බ්ලොග්කරණය වඩ වඩාත් ජනප්‍රිය විය. ක්‍රම ක්‍රමයෙන් බ්ලොග් අඩවි සංඛ්‍යාව වැඩි වීමත් සමගම සින්ඩිකේටරයකින් කියවීම මදක් වෙහෙසකාරී වූවාට සැක නැත. එහෙයින් දැන් බොහෝ දෙනා තමන්ට අවශ්‍ය බ්ලොග් අඩවි තමන්ගේ ගූග්ල් රීඩරයට එකතු කරගෙන කියවන ප්‍රවණතාවයක් ඇති බව පෙනේ. එමෙන්ම ශීඝ්‍රයෙන් ජනප්‍රියත්වයට පත්වූ facebook සමාජ ජාලය බ්ලොග් අඩවි වෙත පාඨකයන් රැස් කිරීමේ ලා මහත් සේවයක් ඉටු කිරීමට පටන් ගත් අතර වැඩි පිරිසක් facebook හි share වන බ්ලොග් ලිපි කියවීම, සින්ඩියක් හරහා කියවීමට වඩා සිරිතක් කොට ගත්හ.
සමස්තයක් ලෙස බ්ලොග් කලාව ගත් විට දියුණුවක් ලබා නැත්දෝ‘යි සිතේ. එකල තිබූ සුලු බ්ලොග් අඩවි සංඛ්‍යාවේ කියවීමට වැදගත් දේවල් පිරී තිබුනි. අද වන විට බ්ලොග් අඩවි සංඛ්‍යාවෙන් වැඩි වුවත් ඉන් වැඩි ප්‍රමාණයක් අන්තර්ගතයෙන් දුර්වල වී ඇතැයි සිතේ. මා බ්ලොග් ලිවීම ආරම්භ කල යුගයේ බ්ලොග් අවකාශයේ “ට්‍රෙන්ඩ්“ එක වී තිබුනේ තාක්ෂණික ලිපි ලිවීමයි. ඊට හේතුව වන්නට ඇත්තේ තාක්ෂණික මිනිසුන් විසින් සිංහල බ්ලොග්කරණය මුලින්ම ආරම්භ කිරීම වන්නට ඇත. ඉන් පසු ඇතිවූ නැඹුරුව වූයේ සාහිත්‍යයයි. පුවත්පතක හෝ වෙනයම් මාධ්‍යයක ඉඩ නොලැබෙන කෙටිකතා, කාව්‍ය ආදී සාහිත්‍යමය නිර්මාණ පූදින්නට බ්ලොග් අඩවි තෝතැන්නක් විය. මේ ට්‍රෙන්ඩ් එක අද දක්වාම නොනැසී පැවතියත්, වෙනත් නැඹුරුවක්ද ශීඝ්‍රයෙන් ඉස්මතු වනු පෙනේ. එනම් ආගිය කතා ලිවීමයි. මේවා තමන්ගේ අත්දැකීම්, මිතුරන්ගේ අත්දැකීම්, විහිලුතහලු, විනෝදයට මඩ ගැසීම් ආදී අනේක විධ ආකාර වේ. “අන් අයගේ ඕපදූප හා ආගිය විස්තර දැනගැනීමට මිනිසාගේ සහජ ආසාව නිසා මේ ට්‍රෙන්ඩ් එක ට්‍රෙන්ඩ් එකක් වී ඇතැ“යි පසුගිය සෙනසුරාදා බ්ලොග්කරුවන්ගේ හමුවේදී මේ ගැන මා හා සාකච්ඡා කල අයෙක් පැවසීය. එය සත්‍යයකැයි මම ද සිතමි. ආගිය කතා ලිපි හරසුන් යැයි කිසිවිටෙක නොකියමි. බොහෝ ඒවායින් ගන්නට යමක්, ඉගෙනගන්නට ආදර්ශයක්, තම ජීවිතයට එකතු කරගන්නට අත්දැකීමක් ඇත. කලින් තාක්ෂණික ලිපි ලියූ මම ද ක්‍රම ක්‍රමයෙන් මේ ට්‍රෙන්ඩ් එක වෙත යොමුවෙනු මට ම නිරීක්ෂණය කල හැකිය.
මා බ්ලොග්කරණය ඇරඹි සමයේ මා හා එකට බ්ලොග් ලියූ සහෘදයන් රැසක් සිහිපත් කිරීමට තිබේ. කණගාටුවකට මෙන් මේ සියල්ලෝම පාහේ දැන් එක්කො ලිවීම අතහැර දමාය, නැතහොත් ඉදහිට පමණක් ලියති. මා බ්ලොග්කරණයට ආධුනික වූ සමයේ බ්ලොග්කරණය සදහා සියලු තාක්ෂණික ආධාර ලබාගත්තේ පහන්ගෙනුත්, ශාකුන්තලගෙනුත්, චමිලගෙනුත්ය. උන් තුන් දෙනාට මම චැටය හරහා අනන්ත වාර ගණනක් ඇණේ වී ඇත්තෙමි. මලින්තලා, සුදාරකලා, කාලිංගලා, බුධාජීවලා, ගයාන් තාරකලා, ගයාන් කල්හාරලා, තමීරලා, ධනිකලා, ගයන්තලා, කනියලා, කනිරොක්ස්ලා, ඩීප්ස්ලා, බින්කුලා, හර්ෂණලා, මනුෂාන්ලා, තිළිණ බුවාලා සමග චැට් කරමින් වල්පල් දොඩවමින් වචන ලක්ෂ ගණනක් ටයිප් කරන්නට ඇත. මේ එකෙක්වත් අද හරියට බ්ලොග් නොලියති. එකල මේ හැම දෙනාටම නිදහස් වේලාව තිබුනත් අද මා මෙන්ම ඔවුන් සියලු දෙනාම පාහේ රැකියා සමග කාර්යබහුලව සිටිති.
මාගේ බ්ලොග්කරණයේ මේ තෙවැනි වසර තුල මා තරමක් දුරට idle වී සිටියේයැ‘යි කිවහොත් නිවැරදි යැයි සිතමි. මුල්තැන රැකියාවට දුන් නිසා නිතර ලිපි ලිවීමට අවකාශයක් ලැබුනේද නැත. කිසිදු සින්ඩියක් පැත්තේ පස් පෑගූ කලක් මතක නැති අතර මා බ්ලොග් කියවන්නේ ගූග්ල් රීඩරයට දන්නා කියන බ්ලොග් අඩවි ටික එකතු කරගෙනය. එහෙයින් කමෙන්ට් දැමීමක් හෝ සිදු නොකෙරුණි. එහෙත් මේ idle ව සිටි සමය තුල නූතන බ්ලොග්කරණය හා බ්ලොග් අවකාශයේ හැසිරීම ගැන මම යම් දෙයක් ඉගෙනගත්තායැ‘යි සිතමි. එය අනාගතයට වැදගත් විය හැකිය. එම කාලය තුල මා උගත් වැදගත්ම පාඩම වූයේ බ්ලොග් අවකාශය තුල aggressive වීම තරම් තවත් මෝඩකමක් නැති බවත්, කිසිදු දෙයක් දණෙන් ඉහලට ගැනීම නොමනා බවත්ය. වරෙක මේ බ්ලොග් අඩවිය වසා දමන්නටද සිතුනි. නොලියන බ්ලොගයක් තියාගෙන ඉදීමේ අර්ථයක් නොමැති නිසාවෙනි. එහෙත් මට මගේ රැකියාව ලැබුනේ මේ බ්ලොගය නිසා, මේ හරහා ලබාගත් වර්ඩ්ප්‍රෙස් සම්බන්ධ දැනුම නිසාය. එය සිහිවන විට මෙය අත්හැර දමන්නට සිත් නොදේ.
අවසන් වශයෙන් සිංහල බ්ලොග්කරණය දැන් ලබාගෙන ඇති එක් දියුණුවක් කෙරෙහි උදක්ම සතුටු වෙමි. එනම් බ්ලොග් හරහා ඇතිවූ මිතුරුදම් බ්ලොග් අවකාශයයෙන් පිටතට පැමිණීමයි. එකල බ්ලොග්කරුවන්ගේ සම්බන්ධතා සියල්ල තිබුනේ අන්තර්ජාලය හරහාම පමණි. නමුත් දැන් ලෝකය බෙහෙවින් කුඩා වී ඇත. බ්ලොග්කරුවන් බොහොමයක් සැබෑ ලෝකයේදී අන්‍යොන්‍ය සම්බන්ධයට මුල්තැන දී ඇත. එබදු සම්බන්ධකම් හරහා බ්ලොග්කරුවන් අතින් සංවිධානය වූ වැදගත් කර්තව්‍යයන් රාශියකි.
අර්ථයක් නැති මෙම ලිපිය තව තවත් දීර්ඝ වනු වැලැක්වීම්වස් මෙතෙකින් නවතනු යෙහෙකි. එහෙයින් ඔබ සැමට ජය පතා නිහඩවෙමි.
මේ හා සම්බන්ධ කලින් ලිපිය මෙතැනින් බලන්න.
උදෑසන හතහමාර වන විට මම බස්නැවතුම්පොලට ගියෙමි. ගාලු බස්නැවතුම්පොලේ අධිවේගී මාර්ග බස් රථ සදහා වෙන් කර ඇති ස්ථානයේ මගී ආවරණ හෝ පෝලිම් තවමත් සකසා නැත. එහෙයින් අධිවේගී බසයේ යාමට සිටි අය ඔහේ තැන් තැන් වල සිටියහ. මම එහි සිටි මැදිවියේ කීපදෙනෙකු වෙත ලංවූයෙමි.
“ඔය කට්ටිය ටිකට් බුක් කලාද කලින්?“
“ආ.. නැහැ නැහැ..“
මම වැඩිපුර රු 30ක්ද ගෙවා ඊයේ ටිකට් බුක් කල බවත්, නමුත් එහි සීට් අංතයක් සදහන්ව නැති බවත්, මටද ඔවුන් මෙන්ම සීට් වලට පොරකන්නට සිදුවනු ඇති බවත් මම කීවෙමි. නමුත් ඔවුන්ගේ අදහස වූයේ මා රු 30ක්ද වැඩිපුර ගෙවා යම් රිසිට්පතක් ලබා ඇති හෙයින් මට අනිවාර්යයෙන්ම සීට් එකක් ලැබෙනු ඇති බවයි. තෙසේ වෙතත් අධිවේගී බසයේ යාමට කලින් සීට් බුක් කර තිබිය යුතුද, නැද්ද, එවේලේ බසයට නැගිය හැකිද යන්න ගැන පැහැදිලි පිලිතුරක් දියහැකි කිසිවෙක් එහි නොවීය.
එහි සිටි අයෙක් මට මහරගම බස් නැවතුම්පොලෙන් වෙන් කරන ලද ටිකට්පතක් පෙන්වීය. එහි යස අපූරුවට සීට් අංකය සදහන් කර තිබුනි! රිසිට්පත ද ගාල්ලෙන් ලැබුනු එකට වඩා විස්තරාත්මක බවක් පෙන්වීය.
මේ අතර එහි පැමිණි මගියෙක් අධිවේගී මාර්ගයේ යම් අර්බුදයක් ඇති හෙයින් 8 බස් රථය නොයන බවක් ලංගම කාර්යාලයෙන් පවසන ලදැයි කියා සිටියේය. ඔහු උදේ එහිගොස් ටිකට් බුක් කිරීමට යාමේදී මෙසේ පවසා ඇත. මෙය ඇසීමෙන් පිරිස නොසන්සුන් වුවද, යම් ගැටලුවක් ඇත්නම් ලංගම නිලධාරියෙකු පැමිණ එය මගී ජනතාවට පැවසිය යුතු බැවින් එතෙක් බලාසිටීමට පිරිස එකගවන ලදී.
ස්වල්ප වේලාවකින් මහරගම ඩිපෝවට අයත් සාමාන්‍ය වයිකං බස් රථයක් ප්‍රාදුර්භූත වූ අතර එය අධිවේගී බස් නවත්වන ස්ථානයේ ගාල් කරන ලදී. පිරිස එය වටා රොක් වූ අතර එහි රියැදුරු, කොන්දොස්තර සමග වාදයක් ආරම්භ විය. මීලග ටර්න් එක යන්නේ මේ බස් එක බව ඔවුන් පැවසීමෙන් පසු මේවායේ යන්න රු 400ක් ගෙවන්නේ කුමකටදැයි මගියෙක් ප්‍රශ්න කරන ලදී. ඔවුන් දෙදෙනා පවසා සිටියේ අපි මේ ගැන කිසිවක් නොදන්නා බවත්, එන්න කියූ නිසා ආ බවත්, කරුණාකර ලංගමේ කාගෙන්හරි අසන ලෙසත් ය.

බස් එකට පොරකන සෙනග
මීලගට ටික වේලාවක් ඔවුන් දෙදෙනා ලංගම නිලධාරියෙකු හා සාකච්ඡා කරනු දක්නා ලදී. ටික වේලාවකින් එම නිලධාරියා පැමිණ බස් රථයේ ඉදිරිපස දොරට නැග මේ බස් එක යන බව ප්‍රකාශ කිරීමත් සමග, පිරිස තදබද වන්නට විය.
“පොඩ්ඩක් ඉන්න.. පොඩ්ඩක් ඉන්න… කෝ මුලින්ම එන්න බුක් කරපු අය….“
මම මගේ රිසිට්පත පෙන්වා දෙවැනි ස්ථානයට බස් එකට නැගගැනීමට අවස්ථාව ලබාගතිමි. “බුක් කල අයට ප්‍රමුඛතාව දෙන බව“ ඔහු පහල සිටිවුන්ට කියනු ඇසුනි. බුක් කල අය බස් රථයට නංවාගත් පසු ඉතිරි සීට් ප්‍රමාණය සදහා අනෙකුත් අයද නංවා ගන්නා ලදී. ඉන්පසු ටිකට් ගැනීම ඇරඹුනු විට රු 400ක් නං දෙන්නේ නැහැයි මගීන් කීපදෙනෙකුම තර්ජනය කල අතර, සියලු දෙනා එය අනුමත කරමින් කසුකුසුගානු ඇසුනි. අවසානයේ රු 300 බැගින් ටිකට් කඩනු ලැබීය. අධිවේගයට බස් රථය ඇතුලු කරද්දී 8.25 පමණ වූ අතර, එය කොට්ටාවට පැමිණෙද්දී 10ට ආසන්න විය.

අධිවේගයේ ගිය වයිකිං බස්රියේ ඇතුල

රු 300 ටිකට්පත
හොද පක්ෂය:
- මගීන් අතරමං නොකොට වයිකිං බසයක් හෝ එවා ඔවුන් මහරගමට ප්‍රවාහනය කිරීම ලොකු දෙයකි
- මගීන්ට අහිමි වූ පහසුකම් ගැන සලකා අඩුවෙන් අය කිරීමට එකග වීමද ලොකු දෙයකි
නරක පක්ෂය:
- අධිවේගයේ ධාවනය සදහා සුඛෝපභෝගී බස් රථ 4ක් (එතැන සිටියෙක් එය 4ක් නොව 5ක් බැව් කීවේය) ඇති බව ප්‍රසිද්ධය. එක් බසයක් කැඩී ඇත්නම් ඒ වෙනුවෙන් ඒ වර්ගයේ වෙනත් බසයක් එවීමට තිබුණි. එසේ replacement ක්‍රමවේදයක් නැත්නම් එය ක්‍රමයේ දෝෂයකි. මේ අනුව බස්රථයක් අධිවේගී මාර්ගයේ ගමන් ගනිද්දී දෝෂයකට ලක්වුවහොත් මගීන්ට තවත් කරදර වන්නට සිදුවනු ඇතැයි සිතේ.
- මිනිසුන් පැමිණ සිටියේ සුඛෝපභෝගී සේවාවක් ලබාගන්නට මිස (වැඩි මිලක් ගෙවා) සුපුරුදු විධියට ගාලු පාරේ මෙන් සාමාන්‍ය බසයක යාමට නොවේ.
- අධිවේගී මාර්ගයේ පෙර කියූ වර්ගයේ අධි සුඛෝපභෝගී බස් රථ යෙදවූයේ ඒවායේ ආසන පටි ආදී ආරක්ෂක උපක්‍රම ඇති නිසාවෙනැයි පැවසුනි. නමුත් මෙවැනි වයිකිං බස් රථයක එබදු විධිවිධාන නැත. බස් රථය හැප්පුනහොත් ඉදිරි ආසනයේ ගැටී සියලු දෙනාට තුවාල සිදුවනු ඇත. මේසේ අධිවේගයේ වයිකිං යැවිය හැකිනම් කලින්ම වයිකිං ගෙන්නවන්නට තිබුනි, ලක්ෂරි වලට වියදං කලේ අපරාදේය!
මෙම වයිකිං බස් සිදුවීම අහඹු සිදුවීමක් බැව් කිව යුතුය! සැමදා හයිවේ එකේ වයිකිං බස් නොයනු ඇත. මෙම සිදුවීමේදී එය මැනේජ් කල ආකාරය දෝෂ සහගතය. කෙසේ වෙතත් කලින් සීට් බුක් කරන අයට ප්‍රමුඛතාවය දෙන බව ඇත්තකි. මුලින් බස් රථයට නංවා ගන්නේ ඔවුන්ය. නමුත් සීට් අංක යොදා නැති බැවින් හොද සීට් එකක් අල්ලාගැනීමට ඔවුන්ට පොරකන්න සිදුවේ!!
පුද්ගලිකව මට වැඩේ ලාබය. වෙනදාට සදුදා උදේ 3.30ට ටවුටම ඒමට ත්‍රීවීලරේට රු 150කි. ගාල්ල කොළඹ ඒසී බස් එකට රු 230කි. උදේට කන්න රු 100ක් විතර, හා දවල්ට කන්න රු 150ක් විතර යයි. අද උදේ ටවුමට යාමට බස් එකේ රු 7කි. ගාල්ලේ සිට කොට්ටාවට රු 330කි. කොට්ටාවෙන් බොරැල්ලට රු 27කි. උදේ කෑම හා දවල් කෑම නොමිලේ (ගෙදරින්) ය!! එකෙන්ම ලාබය!!
සති අන්තය ගාල්ලේ නිවසේ ගතකොට සදුදා උදේ රාජකාරි සදහා කොළඹ බලා පිටත්වන මගේ කලින් ප්‍රවාහන ක්‍රමය වූයේ 5.35ට ගාල්ලෙන් පිටත් වන සාගරිකා දුම්රියයි. මේ දිනවල මුහුදුබඩ දුම්රියමාර්ගයේ පිළිසකර කටයුතු කෙරෙන හෙයින් දුම්රිය නැත. වායුසමනය කල බස් රථයක යාමට නම් මා උදේ 4ට කලින් පෝලිමට එක් විය යුතුය. නැතහොත් මීටර සිය ගණන් දිග පෝලිම් වල ලැගිය යුතුවේ. මේ නිසා මට (පමණක් නොව අම්මාට හා තාත්තාට) සදුදා උදේ 3ට නැගිටින්නට සිදුවේ.
දැන් අපට හයිවේ එකක් ඇත, හයිවේ එකේ යන පොදු ප්‍රවාහන සේවා ඇත. ගාණ නං පොඩ්ඩක් සැර තමයි ය. ඒත් ට්‍රයි කර බැලීම වටී (මා මෙතෙක් හයිවේ එකේ ගිහින් නැත) කියා සිතුනු නිසා මේ සදුදා උදේ හයිවේ බස් එකේ යාමට අදිටන් කරගත්තෙමි. දන්නා තරමින් දුරස්ථව හයිවේ බස් එකේ සීට් බුක් කිරීමට ක්‍රමවේදයක් නැත. ඩයලොග් හි 444 මගින්ද මෙම බස් එක බුක් කල නොහැක. සෙනසුරාදා බ්ලොග්කරුවන්ගේ හමුව අහවරවී එන ගමන් ගාල්ල බස්නැවතුම්පොලේ කාර්යාලයට ගොඩවැදුනු මම හයිවේ බස් බුක් කිරීම ගැන විමසා සිටියෙමි.
“ඔවු බුක් කරන්න පුලුවන්, සදුදා බස් බුක් කරන්න පුලුවන් හෙට. අපි කලින් දවසේ විතරයි බුක් කරන්නෙ. හෙට 12න් පස්සෙ එන්න..“
ඔන්න ඒ හෙට, හෙවත් අද (ඉරිදා) ආවේය. මම හරියට 12ට ගියෙමි.
“උදේ 6 බස් එක බුක් කරන්න පුලුවන්ද?“
“6 බස් එකේ බුකිං ඉවරයි. 8 එක නං තියෙනව“
“ඈ??? ඊයෙ මෙතන හිටපු එක්කෙනා කිව්වෙ 12න් පස්සෙ එන්න කියලනෙ“
“ආ.. එයා මේ මීගමුවේ කෙනෙක්, එයා හරියට දන්නෙ නැතුව වෙන්න ඇති… මහත්තයට 8 බස් එකේ සීට් එකක් නං දැන් දෙන්න පුලුවන්..“
එම ස්ථානයේ වීදුරු කුටියක් වගේ එකක් තුල ප්‍රධානියෙකු යැයි සැලකිය හැකි අයෙක් සිටියේය. මම ඔහු හමුවී ඊයේ මට දැනගන්න ලැබුනේ 12න් පසුව බුක් කරන බවත්, නමුත් අද උදේ පාන්දරම බුකිං පටං අරං ඇති නිසා මට සීට් එකක් ගැනීමට නොහැකි වූ වගත් කියා සිටියෙමි. 12න් පස්සේ එන්නැයි කීවේ ඔහු නොවන නිසා ඒ පිලිබදව ඔහුට කිසිවක් කල නොහැකි යැයි ඔහු පැවසීය! කෙසේ වෙතත් ඔහු මට අවවාදයක් දීමට අමතක කලේ නැත.
“එක එක්කෙනා කියන ඒවා අහන්න එපා.. ඔයා මීට පස්සේ සීට් බුක් කරන්න ඕනෙ නං උදෙන්ම එන්න..“
හැබැයි එන්න ඕනේ වෙලාවක් එයා කිව්වේද නැත.
කාර්යාලයෙන් එලියට පැමිණ මදක් කල්පනා කල මට ඔන්න ඔහේ 8 බස් එකේ වුවද ගියාට කමක් නැතැ‘යි සිතුනි. 10 – 10.30 වෙනකොට ඔපීසියට යාගන්න හැකිවෙනු ඇත. පස්සා පැත්තට ඉර එලිය වැටෙන තෙක්ම නිදාගෙන, උදේට ගෙදරින්ම බත් කා, දවල්ට කන්න බත්මුලක්ද බැදගෙන යන්න පුලුවන් වනු ඇත. ඒ නිසා මම ටිකට් බුක් කරන තැනට නැවත ගියෙමි.
8 බස් එකේ සීට් එකක් ලබාගැනීමට මම කටයුතු කලෙමි. එහෙත් එම ලේඛණයේ සීට් අංක වැනි කිසිවක් නොවීය.
“මේකේ ජම්පින් සීට් හෙම නෑ නේද?“ මම සිනාමුසුව ඇසීමි.
“අපොයි නෑ… මහත්තය උදේ 7.45 වෙනකොට එන්න.. කැමති සීට් එකක් තෝරගෙන වාඩි වෙන්න පුලුවන්…“
“ඒ කිව්වෙ? උදේ මම එනකොට වෙන අය නැගලා බස් එක පිරිලා තිබුනොත් මට ආයෙ හැරිලා යන්න වෙන සීන් එකක්ද?
“අපොයි නෑ මහත්තයො, අපි පෝලිමෙන් සෙනග ගන්නෙ නැහැ. මෙතනින් බුක් කරන අය විතරයි“
“කොහොමහරි බුක් කරන අයට priority ලැබෙයි නේද?“
“අපොයි ඔවු.. මහත්තය 7.45 වෙනකොට ඇවිත් ඉන්නකො, 7.45ට තමා බස් එක ගහන්නෙ“
බුක් කිරීමේ ගාස්තුව රු 30කි. ඔවුන් ඒ වෙලාවේ ගනු ලබන්නේ එම රු 30 පමණි. ඒ රිසිට්පත බස් කොන්දොස්තර මහතාට පෙන්වා ටිකට්ටුව ගත යුතුය.

මෙහිදී එක් දෙයක් වැදගත් වේ. ඔවුන් පවසන පරිදි බස් එකේ නගින්න පුලුවන් වෙන්නේ බුක් කල අයට පමණි. (ඉතිරි ඉඩ වලට පමණක් පිටින් සෙනග ගන්නවා විය යුතුයැයි සිතමි) එනම් බුක් කිරීමේ ගාස්තුව වැඩි දෙනෙකුට දරන්නට සිදුවේ. එනම් ගාල්ල – මහරගම ගාස්තුව රු 400ක් නොව 430ක් විය යුතුය.
ඔවුන්ගේ කතාවෙන් තේරුණු විදියට නං බුක් කලත්, කලින් ගොස් සීට් වලට පොරකන්නට සිදුවන හැටියකි. කෙසේ වෙතත් කාරිය කෙරෙන්නේ කෙසේ දැයි හෙට උදේට ගොහින් බලමි. දෙවෙනි කොටස හෙට බලාපොරොත්තු වන්න.
2011 වසර ගෙවිලා අහවර උන වෙලාවේ ඒ ගැන පොඩි සමාලෝචනයක් කලොත් හොඳයි කියලා හිතුනු නිසා හදිසියේම මේ ලිපිය ලියන්න කල්පනා කලා.
2011 වසර පටන් ගත්තේ මගේ කැමරා පිස්සුව තද වෙලා. දැන් රස්සාවක් කරලා තමන්ටම කියලා කීයක්හරි හම්බුකරගන්න නිසා කැමරාවක් ගැනීමේ අවශ්‍යතාව තදින්ම දැනුනා. DSLR හීනේ වගේ පෙනුනත් එච්චර හරියක් කරන්න අමාරු බව තේරිලයි තිබුනේ. මේ නිසා ටිකක් හොඳ point and shoot එකක් ගන්නවා කියලා හිතාගෙන ඉන්නකොට තාත්තා කිව්වා ගන්න එකේ DSLR එකක්ම ගන්න කියලා. නමුත් එකවර ලක්ෂයක් විතර වියදං කරන්න නං හැකියාවක් තිබුනෙ නැහැ. ඔහොම ඉන්නකොට මගේ පැරණි බොස් කිව්වා තමන්ගෙ DSLR එක විකුණන්න කැමති බවත්, මුදල් කොටස් වශයෙන් ගෙවිය හැකි බවත්. ඉතිං මීට වඩා හොඳ වාසනාවක් තවත් ලැබෙන්නෙ නැති නිසා දෙන්නෙක්ගෙන් ලෝන් ගහලා වටිනාකමින් බාගයක් පමණ මුලින් ගෙවලා කැමරාව මිලදී ගත්තා. ඔන්න ඔහොම තමයි මම Pentax K20D වර්ගයේ කැමරාවක සහ Pentax FA 50mm කාචයක හිමිකරුවෙක් උනේ.
කැමරාව අතට ගෙන දවස් දෙකතුනකින් ශ්‍රීපාද වන්දනාවේ යන්නයි හිටියේ. මොකද ගිය අවුරුද්දේ හා හාපුරා කියලා ගියාට පස්සේ මම හිතාගත්තා ලංකාවේ හිටියොත්, පුලුවන් හැම අවුරුද්දෙම යනවා කියලා. නමුත් පෙබරවාරි මාසයේ පටන්ගත් වැසි කාළගුණය ඒ ගමනට හරස් උනා. ඒ නිසා 2011 දි ඒ ගමන යන්න බැරිඋනා. නමුත් කොහොමහරි මේ වසරේ ඒ අරමුණ ඉටුකරගන්නයි කල්පනාව.
ඉස්සර මට ට්‍රිප් වගේ දේවල් බොහොම අඩුවෙන් සෙට් උනේ. ඉස්කෝලෙ යන කාලෙ නම් අතේ ඇඟිලි ගානෙන් මනින්න පුලුවන් ට්‍රිප් ප්‍රමාණයක් කියතෑකි ගියේ. (ඒත් පොඩි කාලේ අපි පොලොන්නරුවේ ඉන්නකොට නං මම ඒ පැත්තේ නොගියපු තැනක් නැහැ.) ඒත් මේ කැමරාව මට චාරිකා යෝගයක් උදා කලා කිව්වොත් තමා හරි. 2011 අවුරුද්ද ඇතුලත මම සෑහෙන්න ට්‍රිප්, චාරිකා ගොඩක් ගියා. ෆේස්බුක් එකේ මගේ යාලුවො නං පින්තූර ඇල්බම් දැකලා ඇති.
2011 අප්‍රේල් මාසේ පැවැත්වුනු අවුරුදු උත්සවයෙදි බ්ලොග් ලියන සෑහෙන්න පිරිසක් දැන අඳුරගන්න පුලුවන් උනා. ඒ අය ඊට පස්සේ එකතුවෙලා ගිය ට්‍රිප් එකට නං යන්න බැරිඋනා හදිසියේ වැටුනු වැඩක් නිසා.
ඔහොම යනකොට අගෝස්තු මාසෙ දවසක මට හදිසියෙ ආරාධනාවක් ලැබුනා කඩුගන්නාවෙ ඉඳන් ඉහල කෝට්ටේ දක්වා රේල්පාරේ පයින් යන්න චාරිකාවකට එක්වෙන්න කියලා. ඒ ගමන ගියා විතරක් නෙමෙයි ඒක අවසන් උනේ මමත් දුම්රිය ලෝලියෙක්, railway enthusiast කෙනෙක් බවට පත්වෙලා. ඒ ඉඳන් දෙසැම්බර් 31 දක්වා මාස හතරක කාලය තුල දුම්රිය පාරේ සිරි නරඹන්න, පින්තූර ගන්න ගමන් 5ක් 6ක් විතර යන්න පුලුවන් උනා. ඒ සියල්ලම සඳහා ගෙහාන් චන්දිකට ස්තූතිවන්ත වෙන්න ඕනේ.
රැකියාව ගැන කිව්වොත් අපේ සමාගමත් මේ වසර තුල ශීඝ්‍ර වර්ධනයකට පත්වුනා කියන්න පුලුවන්. රැකියාව තුලින් මට ස්ථාවරත්වයක් ගොඩනගාගන්න පුලුවන් උනා කියලා හිතනවා. මිතුරු මිතුරියන් ගැන කිව්වොත් මගේ හොඳම මිත්‍රයා පසුගිය වසරේදී පියෙක් බවට පත්වුනා. තවත් මිතුරියක් දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නවා. විශ්වවිද්‍යාලයේ මිතුරු මිතුරියන් ජෝඩු දෙකක් වසර හතරක් පෙම්වතුන් වෙලා ඉඳලා වෙන්වුනා. විශ්වවිද්‍යාලයේ මිතුරියක් විවාහ උනා. පුද්ගලික ජීවිතේ ගැන කිව්වොත්, නංගී වෛද්‍ය පීඨයට ඇතුලුවුනා, මගේ වෙන්ට-හාමිනේට සම්පත් බැංකුවේ රැකියාවක් ලැබුනා. මම විශ්වවිද්‍යාල කාලයේ හිටියාට වඩා මහත් උනා.
ඔන්න ඔය විදියට 2011 වසර සාරාංශ කරන්න පුලුවනි. පොදුවේ ගත්තොත් 2011 කියන්නේ මට “චාරිකා වසරක්“. (2012ත් ඒ වගේ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද ඉතිං බඳින්න කලින් ගහන රස්තියාදු ටික ගහගන්න එපායැ. බැන්දට පස්සේ ඔහොම හිතූ හිතූ වෙලාවට ට්‍රිප් යතෑකියැ) ඒ වගේම 2011 වසර මට සාමාන්‍යයෙන් හොඳයි කියලා හිතෙනවා. 2012 ත් ඒ වගේම වෙන්නයි කියලයි ප්‍රාර්ථනාව, මොකද ජීවිතේ වැදගත් සිදුවීම් වෙන්න ඉඩකඩ තියෙන නිසා :) සෑහෙන්න අලුත් මිතුරු මිතුරියන් රැසක් ඇතිකරගන්නත් 2011දි මට ඉඩකඩ ලැබුනා.
ලිපිය අවසාන කරන ගමන් මේ 2012 වසරේදී ඔබ සැමට ඔබගේ බලාපොරොත්තු ඉටුකරගන්න හැකිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

2011 පෙබරවාරි - ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය

2011 ජුලි - විශ්වවිද්‍යාල මිතුරන් සමග සීගිරියට

2011 ඔක්තෝබර් - කාර්යාලීය සගයන් සමග නුවරඑළියට
තවත් පින්තූර කිහිපයක් දැකගන්න, මගේ Flickr ඇල්බමයත් බැලුවොත් නරකද?
නවකවධයට විශ්වවිද්‍යාල ආචාර්යවරුද සම්බන්ධ යැයි එස්.බී. දිසානායක ඇමැතිවරයා කියූ බව ප්‍රධානපෙලේ පුවත්පත් රැසක අද පල වී තිබුනි. සත්‍ය වශයෙන් නම් නවකවධයට පමණක් නොව විශ්වවිද්‍යාල වල සිදුවන ප්‍රචණ්ඩක්‍රියා වලටද ඇතැම් ආචාර්යවරු වගකිවයුත්තෝ වෙති. ඇතැම්හු ඒවාට අනුබල දෙති, ඇතැම්හු ඒවා වැලැක්වීමට හැකියාව තිබියදීත් නොදැක්කා සේ යති. ඇමැතිවරයාගේ ප්‍රකාශය දුටු විට මට මතකයට නැගුනේ මගේ විශ්වවිද්‍යාල දිවියේ පුංචි සිදුවීම් දෙකකි. වතාවන් කීපයකදී මේවා බ්ලොග් අඩවියේ ලිවිය යුතුයැයි සිතුවත් ඊට නිමිත්තක් ලැබුනේ නැත. දැන් එස්.බී. ඇමැතිවරයාගේ ප්‍රකාශය හොඳ නිමිත්තක්ව ඇත.
සිදුවීම 1
අප විශ්වවිද්‍යාලයට පැමිණ සති දෙකකින් විද්‍යාපීඨ ශිෂ්‍ය සංගම් නිලවරණය පැවැත්විනි. පාර්ශ්ව දෙකකි. අපි “බොග්ගු“ හෙවත් නවකවධ විරෝධීන් වූයෙමු. අනෙකුන් “රැල්ලෝ“ හෙවත් බහුතරයක් නේවාසිකාගාරවාසී, බහුතරයක් ජවිපෙට කඩේ යන්නෝ වූහ. එමෙන්ම ඔවුහු විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ බලය හිමි ඇත්තෝ වූහ. නිලවරණය පැවැත්වූයේ සිකුරාදා දිනෙකය. සවස 5ට පමණ ඡන්ද ගණන් කිරීම ආරම්භ වූ අතර ප්‍රතිථල පිටවනතුරු අප බලාසිටියෙමු. ප්‍රධාන ගේට්ටුව දෙසට යාමකින් තොරව අපේ පීඨයට ඇතුලු විය හැකි කුඩා ගේට්ටුවක් එකල තිබුනි. එය “කුරුබිලිය“ වශයෙන් හඳුන්වන ලදී. (පසුව පැමිණි ආන්දෝලනාත්මක උපකුලපතිවරයකු විසින් එම ගේට්ටුව යුද සමයේ ආරක්ෂාවට තර්ජනයක් බැව් පවසා වසා දමන ලදී. ඇත්ත නොවැ, සිස්සයෝ විස්ස විජ්ජාලේ ඇතුලට ඔය කුරුබිලියෙන් බෝම්බ ගේන්න පුලුවන් නොවැ!) වෙලාව සවස 6 පමණ වූ අතර අඳුර ද වැටෙමින් පැවතිණි. ප්‍රතිඵල අසා දැනගෙන යාමට අපේ පිරිසෙන් 50ක් පමණ රැඳී සිටි අතර ඉතුරු උන්ව අපි ගෙදර යැවීමු. මක් නිසාදයත් ඒ වන විටද යම් වාතාවරණයකට ඉඩකඩ සැලසෙමින් තිබූ බැවිණි. ඉතිරි අපි කුරුබිලිය අසල ගැවසෙමින් සිටියේ ප්‍රහාරයක් එල්ල වුවහොත් වහා පලායාමට හැකිවන නිසාවෙනි.
ඇඳිරිවැටෙත්ම ශාස්ත්‍ර/කළමණාකරණ පීඨ දෙසින් මහා සේනාවක් ප්‍රාදූර්භූත විය. ඇතැම්හු අතේ හයයි හතරේ සයිස් පොලු කෑලි හොඳින්ම පෙනෙන්නට තිබුණි. ඒ එකකින් ඔලුවට එකක් වැදුනේ නම් එතැනම අවසන් හුස්ම හෙලන්නට අපහසු නොවනු ඇත. කෙසේ වෙතත් ගැටුමක් හට නොගත් අතර නිලවරණ ප්‍රතිඵලයෙන් සුපුරුදු ලෙස අප ජයග්‍රහණය කර තිබුනි. ජයඝෝෂාවකින් සතුට සැමරූ අපි වහ වහා විසිර ගියෙමු.
හොඳ කතාවක් දැනගන්නට ලැබුනේ පසුවය. මීට සම්බන්ධ මහාචාර්යවරයා දැනට ව්‍යවහාරික විද්‍යාපීඨයේ ඉහලම නිලය දරන්නා වේ. හේ එකල සාමාන්‍ය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වූ අතර, විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය කටයුතු සම්බන්ධ තනතුරක් දැරීය. මෙම තනතුර නිසා හේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් සමග සමීප ඇසුරක් පැවැත්විය. (නැතුව උන්ව තහරකරගත්තේ නම් ඔහුගේ අර තනතුර නැතිවයාහැකිව තිබුනි) එදා ගැටුම සඳහා පිරිස් පොලු රැගෙන පැමිණ සිටි අවස්ථාවේ ඔහු එදෙසට පැමින ඇත. පොලු රැගත් සිසුන් ලඟට කිට්ටු කල ඔහු පවසා ඇත්තේ “යකෝ ඕවා ගෙනාවට කමක් නෑ, පේන්න තියං ඉන්නෙ නැතුව හංගන් ඉඳපන්“ යනුවෙන් මිත්‍රශීලී ස්වරයෙනි. මේ බව අපට කීවේ එය සියැසින් දුටු තාවකාලික ප්‍රදර්ශකවරයෙකි (demonstrator).
සිදුවීම 2
කෙසේ වෙතත් රැල්ලෝ පරාජය වෙනුවෙන් යමක් කිරීමට උත්සාහ කරන බව පෙනුනේ ඊලඟ සඳුදාය. උදෑසන සිටම පරිසරය ව්‍යාකූල බවක් ඉසිලීය. විවේක කාලයේ තරමක ගැටුමක් හටගත්තේය. පීඨාධිපතිවරයා සහ තවත් ආචාර්යවරු කිහිප දෙනෙකු මැදිහත් වී එය විසඳීමට උත්සාහ දරනු පෙනිනි. මේ වන විට විශ්වවිද්‍යාල සංස්කෘතියට ආගන්තුකයෝ වූ අපිට එහි “වලි“ ගැන කිසිදු අවබෝධයක් තිබුනේ නැත. මා සිතුවේ පාසලේදී සිදුවන්නාක් මෙන් පීඨාධිපති වරයා පැමිණ සත්තමක් දැමූ විට සිසුන් විසිරයනු ඇතැයි කියාය. එහෙයින් අපට දිවා විවේකයෙන් පසුව තිබූ භෞතික විද්‍යා දේශනයට සහභාගීවීම සඳහා අපි දේශනශාලාවට ඇතුලුවීමු.
දේශණය ආරම්භ වී විනාඩි 10ක් ඉක්මෙන්නටත් මත්තෙන් එලියේ ගැටුම ආරම්භ විය. යෂ්ඨිධාරීන්, පාෂාණධාරීන් සැරිසරනුද, පාෂාණ පියාඹනුද පෙනුනි. මගේ දුරකථනයට ආ පණිවුඩ කිහිපයකින්ම කියවුනේ අපේ කට්ටිය විශ්වවිද්‍යාල භූමියෙන් බැහැරව එලියට ගොස් ඇති බවත්, ඇතුලේ සිටීම භයානක බැවින් හැකිනම් වහාම දේශනයෙන් පැණ හෝ එලියට එන ලෙසත්ය. මෙය පැයේ දේශණ දෙකක එකතුවකි. මුල් දේශනය පැවැත්වූ තැනැත්තා ආචාර්ය A යයි අපි කියමු. ඔහු සුපුරුදු පරිදි කිසිවක් සිදු නොවූ පරිද්දෙන් දේශණය කරගෙන ගියේය. ඒ පැය අවසානයේ දෙවැනි දේශනය සඳහා ආචාර්ය B පැමිණියේය. හේ කරුණාවන්ත මිනිසෙකු ලෙස ප්‍රසිද්ධියක් ඉසිලූවෙකි. “දරුවනේ, පේනවනේ එලියේ ගැටලුවක් තියෙන බව. ඒ නිසේ මේ වන විට ඔබලාගේ පීඨය තාවකාලිකව වසාදමලයි තියෙන්නෙ. ඒ නිසා අපි දැන් එලියට යමු. මම ඔය කට්ටියත් එක්ක එලියට යන්න එනවා. මගේ පස්සෙන්ම එනවා මිසක් වෙන පාරවල්වල යන්නවත්, වටපිට බලන්නවත්, වෙන කවුරුත් කතා කලාට යන්නවත් එපා“ හේ පැවසීය. ඉන්පසු ඔහු දේශනශාලාවේ සාමාන්‍යෙයන් භාවිතා නොකෙරෙන දොරක් හැර අපිව පිටතට ගෙන ප්‍රධාන ගේට්ටුව වෙත යාමට මූලිකත්වය ගත්තේය. ආචාර්ය A අපේ පෝලිමේ පිටුපසින් එක්වූයේය.
අප දේශන ශාලාවෙන් එලියට බසිනවාත් සමගම ජ්‍යෙෂ්ඨ රැල්ලෝ (උත්තමයෝ) කිහිපදෙනෙකුම පෝලිම වටකරගත්හ. “කොහෙද යන්නේ?“ මගේ අතින් දැඩිව අල්ලාගත් එකෙක් ඇසීය. බිරන්තට්ටු වී සිටි මම “එලියට යනවා අයියේ“යි ගොතගසමින් කීවෙමි. “වරෙන් යන්න අපිත් එක්ක..“ හේ මගේ අතින් අදිමින් කීවේය. ආචාර්ය B මෙම සිද්ධිය දුටු අතර හේ වහා අප දෙස හැරී “මොකක්ද ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්නෙ?“ යැයි අර ජ්‍යෙෂ්ඨ උත්තමයන්ගෙන් දැඩිව විමසා සිටියේය. “නෑ සර්…“ කියා ෂේප් වූ ඔවුන් නැවත හැරී යන ගමන් මා ඇතුලු පිරිසට පා පහරවල් එල්ල කලහ. ඉදිරිපස බලාගෙන සිටි මා පාපහර එල්ලවූයේ කොහෙන්දැයි නොදුටු නිසා ඒ පිලිබඳව විමසීමට පිටුපස බලන විට දුටුයේ ජ්‍යෙෂ්ඨ උත්තමයින් දිව යන අයුරුත් අර ආචාර්ය A සුපුරුදු පරිදි මුකුත් නොදන්නා විලසින් පෝලිම පිටුපසින් එන බවය. පහර දුන් අය කවුරුදැයි ඔහු හොඳින් දුටු බවට සැක නැත. එහෙත් ඔහු එය වැලැක්වීමට කිසිදු පියවරක් ගත්තේ නැත.
මා නිරීක්ෂණය කල පරිදි ආචාර්යවරුන්ගෙන් ඉතා සුලු කොටසක් පමණකි නවකවධය හා ඒ හා සම්බන්ධ ප්‍රචණ්ඩක්‍රියා වැලැක්වීමට උත්සාහ දරන්නේ. තවත් සුලු කොටසක් ඊට සහය දක්වති. වැඩි කොටසක් කරන්නේ ඕවා නොදැක්කා සේ සිටීමය.
වෙලාව: උදෑසන 8ට පමණ
ස්ථානය:බොරැල්ල මංසන්ධියේ ශ්‍රී රම්‍යා හෝටලය
සිද්ධිය:
මා කඩයට ඇතුලුවන විට පිණ්ඩපාතේ වඩින ස්වාමීන්වහන්සේ නමක් පිණ්ඩපාතය බලාපොරොත්තුවෙන් කඩය ඉදිරිපස සිටි අතර, මා ඇතුලුවෙත්ම කඩේ ලියන මහත්තයා බත් පාර්සලයක් රැගෙන හිමියන් අභිමුවට ගියේය. දානය පිලිගත් උන්වහන්සේ ඊට කළගුණසැලකීමක් මෙන් තමන් වහන්සේ ලඟ තිබූ පිරිත් නූල් පන්දුවකින් පිරිත් නූලක් රැගෙන ලියන මහත්මයාගේ අතේ බඳිනු පෙනුනි. මේ අතර කඩේ කැෂියර් එකේ සිටි කඩ හිමියා වෙනත් සේවකයකුට මෙසේ කීය
“කෝ මේ ලියන මහත්තය එන්නෙ නැද්ද මංද, ගිහින් බලපං අර ලොරිය පොඩ්ඩක්“
කඩ හිමියා විසින් කඩයට පැමිණි යම්කිසි භාණ්ඩ බෙදාහරින ලොරියක් නවත්වාගැනීමට ලියන මහත්තයාට කලින් පවරා තිබූ බව මට පසක් විය. ගෝලයා නැවත පැමිණියේ ලොරිය ගොස් ඇතැයි පවසමිනි. එවිටම ලියන මහත්තයාද කඩය ඇතුලට පැමිණියේය.
“මොකක්ද ලියන මහත්තයා මෙච්චර වෙලා කලේ, අර ලොරියත් ගියා“
“හාමුදුරුවො එන්න දුන්නෙ නෑ නේ, පිරිත් නූලක් බඳින්න ගත්තනේ“
“මොන රෙද්දක් අස්සෙ රිංගන්න එනවද මංද මේ හාමුදුරුවොත් උදේ පාන්දර, බලනව ඉතින් අර ලොරිය යන්න ගියානෙ, ඕවයින් වෙන පාඩු හාමුදුරුවො අල්ලල දෙනවයැ“
එහිමියන් පිටුපස ගොස් මේ සිද්ධිය කියා නැවත එබඳු තැන් වලට පිණ්ඩපාතය නොවඩින ලෙස කීමට මට සිත් විය. නමුත් මා මගේ ආහාර පාර්සලය රැගෙන කඩයෙන් පිටතට එන විට උන්වහන්සේ පෙනෙන්නට සිටියේ නැත.
හිතේ සතුටෙන් නොදෙන, මෙවන් දානමාන පින්කම්වල අර්ථය කුමක්ද?
කොළඹ-ගාල්ල මහාමාර්ගයේ හෙවත් A2 පාරේ යන වාහන නවත්තලා පඬුරු දාන තැන් සාමාන්‍යයෙන් දෙකක් තියෙනවා. එකක් කළුතර බෝධිය. අනික සීනිගම දෙවොල් දේවාලය.
රාත්‍රී 10, 11 පහුවෙලා සීනිගම දේවාලය ඉදිරිපිට වාහනය නවත්තලා බැහැලා පඬුරු දාන්න යන අයව පිහි පෙන්නලා බය කරලා මංකොල්ල කන පිරිසක් එතැන ඉන්න බව පහුගිය දවසක මට ආරංචි උනා. පොඩ්ඩක් සොයලා බැලුවාම කතාව ඇත්ත බවත් දැනගන්න ලැබුනා.
ඉතිං මට ඇතිවෙච්ච ප්‍රශ්නය තමයි, තමන්ට පඬුරක් දාලා තමන්ගෙන් පිහිට පතන්න එන බැතිමතුන්ට තමන්ගේ ඇස් ඉදිරිපිටදීම කරදරයක් වෙන්න ඉඩදෙනවනං, ඔවුන් රැකගන්න බැරිනම්, මොකක්ද ඒ දෙවියන්ගෙන් ඇති පලේ කියන එක, එහෙම දෙවියෙකුට පඬුරු දාලා පිහිට පතලා වැඩක් තියේද කියන එක. දෙවියන්ගේ ඇල්ම බැල්ම ලැබෙන්නේ අර මංකොල්ලකාරයන්ටද දන්නෙත් නැහැ, මොකද උන් දෙවියන්ගේ බල සීමාව වන ඒ අසල්වාසී ගම්වැසියන් වෙන්න පුලුවන් නිසා. එහෙමනං ඉතිං සොරුන්ට උදවුකරන දෙවියෙක්ගෙන් වැඩක්ම නෑ නොවැ!
කෙටියෙන් කියන්න තියෙන්නේ කරුණු දෙකයි. එක, දෙවියන්ගේ තරම දැන්වත් තේරුම් ගන්න. දෙක, රෑ බෝවෙලා ගාලු පාරේ යනවනං සීනිගම දේවාලේ ඉදිරිපිට නවත්තලා පඬුරු දාන්න හිතන්න එපා. ඒක නිකරුනේ කරදරයකට අතවැනීමක් වෙන්න පුලුවන්.
උදේ පාන්දර බුකියට ගොඩවූ කල්හි යමෙක් Hangover චිත්‍රපටියේ Flo-Rida සමග Kesha ගයන Right Round ගීතය ගැන යමක් පලකර තිබුනි. ඒ දුටු මට මතක් වූයේ ලඟදී නිකුත් වූ එම චිත්‍රපටියේ දෙවැනි කොටස (Hangover Part II) සඳහාද ගීත නිර්මාණය වී ඇතුවා විය හැකි බැවින් ඒ පිලිබඳව සොයාබලා ගීත ඩවුන්ලෝඩ් කල යුතු බවකි. ඒ සඳහා මා මුලින්ම ගියේ Hangover Part II සඳහා වූ විකිපීඩියා පිටුවටයි. එහි soundtrack යටතේ මෙම චිත්‍රපටය සඳහාද Flo-Rida ගැයූ Turn Around (5, 4, 3, 2, 1) ගීතය ඇස ගැටුනි. මා ඊලඟට ගියේ ඒ සම්බන්ධයෙන් වූ විකිපීඩියා පිටුවටයි. Turn Around (5, 4, 3, 2, 1) යනු Flo-Rida ගේ පැරණි ගීතයක් බවත්, Hangover 2 චිත්‍රපටය වෙනුවෙන් ඔහු Pitbull සමග Turn Around, Part 2 යනුවෙන් ගීතයක් නිර්මාණය කරඇති බවත් මට ඉන් දැනගතහැකිවිය.
මීලඟට මා කලේ සුපුරුදු පරිදි mediafire.com අඩවියෙන් මෙම ගීතය සොයා ඩවුන්ලෝඩ් කරගැනීමයි. ගීතයට සවන්දෙන විට එහි කියැවුනු “MC” කියන වචනය පිලිබඳ මගේ අවධානය යොමුවූයේ එය බොහෝ hiphop හා RnB ගීතවල අඩංගු වීම නිසාය. විකිපිඩියා හි එය සොයාබැලීමෙන් MC යනු Master of Ceremonies යන්නට කෙටි වදනක් බව දැනගත හැකිවිය. එම ලිපිය තවදුරටත් කියවා බැලීමේදී සාම්ප්‍රදායික රාජාණ්ඩු පවතින රටවල් වල ඔටුනු පැලඳවීම වැනි රාජකීය උත්සව පෙලගැස්වීම සඳහා Master of the Ceremonies යනුවෙන් විශේෂ නිලධාරියෙකු සිටි වග දැනගත හැකි විය. එම ලිපියේ තිබුනු ඔටුනු පැලඳවීම හෙවත් coronation යන වදන ක්ලික් කිරීමෙන් මට ඒ සම්බන්ධ විකි පිටුවට යාමට හැකි විය. ඔටුනු පැලඳවීමේ උත්සවය සම්බන්ධයෙන් යම් දෙයක් ඉගෙනගත් මා එම පිටුවේ අග කොටසේ දුටුවේ විවිධ මහාද්වීප වල ඔටුනු පැලඳවීම් ගැන වෙනස් ලිපි තිබෙන බවයි. රාජාණ්ඩු පාලන බොහොමයක් තිබූ යුරෝපයේ ඔටුනු පැලඳවීම් ගැන සොයාබලන්නට සිතූ මා ඊලඟට ක්ලික් කරේ යුරෝපීය රජපවුල් වල ඔටුනු පැලඳවීම් ගැන එම පිටුවේ තිබූ ලින්ක් එකයි. එමගින් මට Coronations in Europe පිටුවට යා හැකි විය.
එම පිටුවේ තිබූ විස්තර වලටත් වඩා මා සිත් ගත්තේ පිටුවේ ඉහලින්ම තිබු රුසියාවේ දෙවැනි නිකොලායි සාර් රජුගේ ඔටුනු පැලඳවීම පිලිබඳ සිතුවමටයි. එම සිතුවමේ ටයිටලයේ තිබූ ලින්ක් එකක් ක්ලික් කිරීමෙන් මට දෙවැනි නිකොලායි සාර් රජු සම්බන්ධ විකි පිටුවට යා හැකි විය. සාර් රජු සම්බන්ධයෙන් සාමාන්‍ය දැනීමක් මට එම ලිපිය තුලින් ලබාගත හැකි විය. රුසියානු විප්ලවයෙන් අනතුරුව සිහසුනෙන් පහ කරනු ලැබූ සාර් රජු හා පවුල (මෙහෙසිය, දියණියන් සිව් දෙනා හා පුත්‍රයා) මධ්‍යම රුසියාවේ නගරයක නිවාස අඩස්සියේ තැබූ බවත් පසුව 1918 දී විප්ලවවාදීන් විසින් සාර් රජපවුල කුරිරු ලෙස ඝාතනය කරනු ලැබූ බවත් මා ඉගෙනගතිමි. ඉන්පසු මා ගියේ සාර්ගේ පුත්‍රයා වූ ඇලෙක්සෙයි කුමරු සම්බන්ධ පිටුවටයි. රුසියානු බස අනුව මීලඟට සාර් වීමට සිටින යන අර්ථයෙන් හේ සාරෙවිච් යනුවෙන් හැඳින්වෙන බවත්, හේ රුධිරය කැටිගැසීම ප්‍රමාද වීමේ රෝගයෙන් පෙලුනු බවත්, රස්පුටින් සාර් රජපවුලට සම්බන්ධ වන්නේ කුමරා සුවකිරීමට ඔහුට හැකිවීමෙන් පසුව බවත් මා ඉගෙනගතිමි.
ඇලෙක්සෙයි කුමරු රුධිරය කැටිගැසීම ප්‍රමාද වීමේ රෝගයෙන්, එනම් හිමොෆිලියාවෙන් පෙලීමට හේතුව ඔහු මව් පාර්ශ්වයෙන් බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා රැජිනට නෑදෑකම් කීම බවත් මා ඉගෙනගතිමි. වික්ටෝරියා රැජිනගෙන් ආරම්භවූ මෙය යුරෝපයේ බොහොමයක් රජපවුල් වෙත පැතිරී ගොස් ඇත. ඊට හේතුව යුරෝපයේ රජපවුල් බොහොමයක් විවාහයන් නිසා ඥාතීන් බවට පත්ව තිබීමයි.
ඉන්පසු මා කියැවූයේ ඇලෙක්සෙයි කුමරාගේ සොයුරියන් දෙදෙනෙකු වූ මාරියා කුමරියත්, ඇනස්ටාසියා කුමරියත් සම්බන්ධ විකිපිඩියා පිටු ය. ඔවුන්ට යොවුන් වියේදීම (පිලිවෙලින් අවු 19දී හා අවු 17දී) තමන් නොකල වරදකට ජීවිතයෙන් වන්දිගෙවීමට සිදුවූ ඉවත්, හිසට වෙඩිතබා බයිනෙත්තු වලින් ඇන සිය පවුල සමගම මරාදමන ලද බවත්, නාඳුනන සොහොනක වැලලීමට ප්‍රථම තුවක්කු බඳින් ගසා මුහුණු විරූපී කරන ලද බවත් ඉගෙනගත්තෙමි. 1979 දී සොයාගනු ලැබූ නාඳුනන මළසිරුරු ශේෂයන් පිරික්සීමේදී එය සාර් රජපවුලේ සාමාජිකයන් බව හඳුනාගනු ලැබූ බවත්, එහෙත් එහි ඔටුන්නහිමි ඇලෙක්සෙයි කුමරාගේ හා මාරියා කුමරියගේ සිරුරු නොතිබූ බවත්, ඔවුන් දෙදෙනාගේ සිරුරු කොටස් වෙනත් ස්ථානයකදී සොයාගන්නේ 2007දී බවත්, ඔවුන් දෙදෙනාගේ සිරුරු පමණක් වෙනත් ස්ථානයකට ගියේ මන්ද යන්න අබිරහසක් බවත් මා උගත්තෙමි. එමෙන්ම මාරියා හා ඇනස්ටාසියා නොමළ බවත් ඔවුන්ගේ පසුකාලීන ජීවිතය සම්බන්ධ ප්‍රවාද රැසක් ඇති බවත් උගත්තෙමි.
අන්තර්ජාලයේ එක් ප්‍රධාන සංකල්පයක් වන Navigation මගින් සින්දුවකින් පටන් ගෙන අන්තිමේ ලෝක ඉතිහාසයේ එක් වැදගත් සිදුවීමක් දක්වා ගමනක් ගියේ මෙන්න මෙහෙමයි. ලෝක ව්‍යාප්ත ජාලයේ (world wide web) විස්මය මේක තමයි. මුලු අන්තර්ජාලයම එකකට එකක් සම්බන්ධයි. ඒ වගේම ලබාගන්න පුලුවන් තොරතුරු වල නිමක් නැහැ. තමන් ආස දෙයක් නම් දිගින් දිගට හාරාඅවුස්සන්න පුලුවන්. මෙය කියවන ඔබ ඇතැමෙකුට සාර් ගේ විස්තර වලින් වැඩක් නැති උනත් ලෝක ඉතිහාසයේ සිදුවීම් ආසාවෙන් කියවන මට එය රසවත්. අන්තර්ජාලය නොතිබුනානම් කෙනෙකුට මා මෙසේ පැයකින් දැනගත් කරුණු ටික කිසිදාක එකවර දැනගැනීමට නොහැකි වෙනවා විතරක් නෙමෙයි, මේ ටික පුස්තකාලයක තිබුනානම් පොත්වලින් සොයාබලා කියවීමට දින ගණනාවක් ගතවේවි. ඒ වගේම සීමා බාධක වැටකඩුලු දාලා තොරතුරු නවත්තන්න බැරි බවත් අවසානයේ මතක් කර දෙන්න ඕන.








සැලකිය යුතුයි
